• Mon. Feb 6th, 2023

Maithripala sirisena
රජයේ, ත්‍රිවිධ හමුදාවේ, ආරක්ෂක අංශවල සහ මුළු මහත් ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාවෙන් පැමිණෙන ප්‍රශ්න විසඳීමට රජයක් ලෙස සාමුහිකව මුහුණ දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරමින් ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කරන බවට හැට අටවැනි ජාතික නිදහස් දිනයේ දී, ප්‍රධාන මහජන සේවකයා, සේනාධිනායකයා, ජනාධිපතිවරයා ලෙස මුළු මහත් ජාතියට ඒ පිළිබඳ ප්‍රතිඥා දෙන බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ ගාලූ මුවදොර පිටියේ දී මහත් අභිමානවත් අයුරින් පැවැති හැටඅට වැනි (68) නිදහස් දින සැමරුම් උත්සවයට එක්වෙමිනි. නිදහස් අරගලයෙන් පසු රම්‍ය දේශයක් ගොඩනැඟිම සඳහා කැපවූ විරෝදාර රණවිරුවන්ට දේශමාමකයන්ට ගෞරව අභිමාන දැක්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මැති ඇමැතිවරුන් ප්‍රධාන විශාල පිරිසක් ගාලු මුවදොරට එක් රොක්ව සිටියහ .

ජනාධිපතිවරයා වෙත කාලතුවක්කු රෙජිමය විසින් ආචාර වෙඩිමුර 21ක් පිරිනැමුවේ උත්සවයට මහත් අභිමානයක් එක් කරමිනි.

අනතුරුව විචිත්‍රවත් වූ යුද නාවික, ගුවන් හමුදා පොලිස් සිවිල් ආරක්ෂක බළකා පෙළපාළි ආරම්භ විය .

ත්‍රිවිධ හමුදා හොරණෑ වාදනයත් සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජයන්ත සිරිසේන මහත්මිය උත්සව අවස්ථාවට එක් වූහ.

මඟුල් බෙර වාදනය සහ සක් පිඹීම මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික කොඩිය එසවීය .අනතුරුව ජාතික ගීය සිංහලෙන් හා දෙමළෙන් ගායනා කෙරිණි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින් ජනාධිපතිවරයා විශේෂ පීටිකාව කරා කැඳවා ගෙන යෑමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාව ජනාධිපතිවරයා වෙත උත්තමාචාරය පිරී නැමීය .ජාතික කොඩිය මෙන්ම ගුවන්, යුද නාවික, පොලිස් කොඩි රැගත් හෙලිකොප්ටර් යානා අහස් ගැබ සිසාරා ඔබ මොබ සක්මන් කළහ.

මගී ගුවන් යානා ඇන්ටෙනෝ, කෆීර්, ආදී නොයෙක් යානා ගුවන් ගැබ සිසාරා පියාසර කළේය . සේනාධි සුනඛයා ප්‍රධාන සටන් සුනඛ බලඇණිය පෙළපාළියේ ගමන් කළේය .

ගුවන සිසාරා ප්‍රහාරක යානා ගමන් ගනිද් දී නාවික යාත්‍රා පෙළක් සමුද්‍රයේ යාත්‍රා කළේය .

අනතුරුව දෙදහස් පන්සියක් ඉපැරණි සංස්කෘතියක් සභ්‍යත්වයක් හා පෞඩත්වයකට උරුමකම් කියන හැට අටවැනි සමරු උළෙල මහත් අභිමානවත් අයුරින් නිමාවට පත්විය .

වැඩිදුරටත් ජනාධිපතිවරයා මෙසේද කීය.

අපි සියලූදෙනා එක්වී අද නිදහස් දින සමරු උළෙල ඉතා අභිමානවත් සහ උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබනවා. වසර 68කට පෙර බ්‍රිතාන්‍ය පාලනයෙන්, යටත් විජිතවාදයෙන් අප නිදහස ලබා ගැනීමෙන් පසුව වසරක් පාසා පවත්වන ජාතික නිදහස් සමරු උළෙලේ අද (04) 68 වන අවස්ථාව සමරනු ලබනවා.

වසර 1948 සිට 2016 දක්වා නිදහස පිළිබඳ කතා කිරීමේ දී ආර්ථික, දේශපාලන, සමාජයීය, සංස්කෘතික වශයෙන් අපේ රට ලෝකය පුළුල් වෙනස්වීම් සහ පරිවර්තන රාශියකට බඳුන් වී තිබෙනවා.

වසර 1948 ලබාගත් නිදහස අර්ථකථනය කළහොත්, එය නිර්වචනය කළහොත් 1948 අපේ රටේ ජනතාව බලාපොරොත්තු වූ නිදහසත් වසර හැටඅටකට පසුව අද දින අපි බලාපොරොත්තු වන නිදහසත් අතර පුළුල් වෙනස්කම් තිබෙන බව මා විශ්වාස කරනවා.

වසර 1948 නැතහොත් 50 දශකයේ උපන් දරුවෙක් මම හඳුන්වන්නේ සංස්කෘතික දරුවෙක් ලෙසයි. 2016 මේ කාල සීමාව 21 වන ශත වර්ෂයේ මුල් අවස්ථාවයි. අද උපදින දරුවන් අපි දකින්නේ තාක්ෂණික දරුවන් ලෙසයි. එසේනම් 50 දශකයේ ඉපදුණු සංස්කෘතික දරුවාත් 21 වන සියවසේ මුල් භාගයේ නැත්නම් අද දවසේ උපදින තාක්ෂණික දරුවාත් එක් කරමින් ජාතිය ගොඩනැඟීමේ කාර්යයට රට ගොඩනැඟීමේ කාර්යය අප සාමුහික ප්‍රයත්නයකින් කළ යුතුයැයි මා විශ්වාස කරනවා.

ආදරණීය දරුවනි, මවුපියනි, මිත්‍රවරුනි, යටත් විජිතවාදයෙන් නිදහස ලබා ගැනීම සඳහා එදා සටන් කළ ජාතික විරුවන් පිළිබඳ කතා කරන විට ඒ ජාතික වීරවරුන් අතරේ සිංහල, දෙමළ, මුස්ලිම් යන නිදහස් අරගලයේ සමකාලීන නායකයින් රාශියක් සහෝදරත්වයෙන් එකමුතුවෙන්, මිත්‍රශිලීව එක මතයකින් රටට නිදහස ළඟා කර ගැනීම සඳහා සටන් කළා. අනතුරුව නිදහස ලබාගත් බව අපි සෑම කෙනෙක්ම ඉතාම පැහැදිළිව දන්නවා.

වසර 1505 සිට විදේශීය ආක්‍රමණිකයන් අපේ රට ආක්‍රමණය කළා. වසර 1505 සිට 1948 දක්වා අවුරුදු හාරසීය ගණනක කාල සීමාවක අපි විදේශීය ආක්‍රමණිකයන්ට යටත්වී සිටි යුගයේ දී අපේ බොහෝ දේ විනාශ වුණා. අපේ කියන අපේකම බි දී ගියා. අපේ සංස්කෘතික සෝදාපාළුවකට ලක් වුණා. බරපතළ ආර්ථික විනාශ ඇතිවුණා. පෙර රජ දවස ගොඩනඟා තිබූ මහා වැව් අමුණු සමඟ සශ්‍රීකත්වය සහ සමෘද්ධියෙන් පිරී තිබූ අපේ උතුම් ශ්‍රී ලංකාව වසර හාරසිය ගානක් යටත් විජිතයක්ව තිබිය දී අපට තිබු බොහෝ දේ විනාශ වුණා.

1505 සිට වසර හාරසීය ගාණක් සිදුවුණු විනාශ වීම් මැද සටන් කළ අපේ වීරවරයන් සිය සුසුම, දහදිය, කදුළ ලේ පරිත්‍යාග කරමින් අවුරුදු ගණනක සටනකින් පසුව 1948 නිදහස ලබා ගත්තා. අප යටත් විජිතවාදයෙන් නිදහස් වුවත් අවුරුදු හාරසීයක් ගානක් අපේ රට ආක්‍රමණය කළ, පාලනය කළ විදේශිකයන් මේ රටේ ඇතිකළ ප්‍රශ්න, නිර්මාණය කළ ප්‍රශ්න අපට නැවත භාර දී ආපසු ගියා.

විශේෂයෙන්ම 30, 40 දශකයේ ඒ වීරවරයින් ගෙන ගිය සටනේ දී ආගම්, ජාති, කුලවාදයෙන් තොරව සියලූදෙනා එක්ව කළ සටනින් ලැබූ ජයග්‍රහණයෙන් පසුව අපේ රට ගොඩනැඟීමේ කාර්යයේ දී අද වන විට වසර 68ක් ගෙවී ගොස් තිබෙනවා. අපේ රට ආක්‍රමණය කළ පිරිස් අපට භාර දී තිබූ ප්‍රන අප විසඳා තිබෙනවාද යන ප්‍රශ්නය අප සෑම කෙනෙක්ම අපේ හෘද සාක්ෂියෙන් විමසිය යුතු වෙනවා.

බොහෝ වෙලාවට බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම භෞතික සම්පත් සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වයක් දී තිබෙනවා. ආර්ථිකය ගොඩනැඟිම සඳහා ප්‍රමුඛත්වය දුන්නා. එහෙත් ජාතීන් අතර එකමුතුව, සංහිඳියාව, සහෝදරත්වය, මිත්‍රශීලිභාවය ඇති කිරීම සඳහා කළ යුතු කාර්යයන් අප විසින් සිදු කළා නම් 80 දශකයේ මුල් භාගයේ ආරම්භ වී 26 වසරක් ගෙවුණු ම්ලේච්ඡ ත්‍රස්තවාදී යුද්ධයට අපට මුහුණදීමට සිදුනොවනු ඇතැයි මම විශ්වාස කරනවා.

ඒ නිසා රටක සංවර්ධනය තුළ ආර්ථික සංවර්ධනය, භෞතික සම්පත් සංවර්ධනය ඉතා ප්‍රමුඛ කාර්යයක් වෙනවා. රටේ ජීවත්වන ජනතාවගේ සංස්කෘතික ලක්ෂණ, ආගමික ලක්ෂණ, භාෂාමය ලක්ෂණ ඒ සියල්ල පාලකයන් විසින් තේරුම් ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක් බව මම දැඩි ලෙස විශ්වාස කරනවා.

අද අපේ රටේ පමණක් නොව මුළු මහත් ලෝකයම ගත් විට ලෝකයේ ඉහළම සංවර්ධනයක් තිබෙන රටවල රාජ්‍ය පාලකයන් මුහුණ දෙන අභියෝගයක් සහ ප්‍රශ්නයක් මා දකිනවා. ඒ තමයි අධි තාක්ෂණික යුගයේ අන්තර්ජාලයත් සමඟ සිටින නව පරපුර මුළු මහත් පොදු ජනතාව සැමවිටම සිය සිතුම් පැතුම්, සිය ආකල්ප, සිය අධිෂ්ඨානයන් සහ සිය පරමාර්ථ සඳහා පාලකයන්ට වඩා සෑමවිටම ඉදිරියෙන් සිටිනවා. එය තාක්ෂණික ලෝකයේ මම පෙර කී පරිදි 30 දශකයේ 40, 50 දශකයේ සංස්කෘතික දරුවාගේ සහ අද 21 වන සියවසේ මේ 2016 අද දවසේ උපදින තාක්ෂණික දරුවා අතරේ තිබෙන ප්‍රධානම වෙනස්කම් තුළ අපි විසින් පැහැදිලිව තේරුම්ගත යුතු දෙයක්.

ඒ නිසා අධි තාක්ෂණික ලෝකයේ ජීවත්වන ජනතාව, නව පරපුර නව ආකල්ප, නව සිතුම් පැතුම් සමඟ ගමන් කරද් දී බොහෝ විට සියලූ අංශවලින් පරිවර්තනයට ලක්වෙනවා. ඒ පරිවර්තනයන්ට ලක්වීමේ දී සියලූ විෂය ක්ෂේත්‍රවල විප්ලවීය වෙනස්කම් දකිනවා. විප්ලවීය සංකල්ප ඇති වෙනවා. නව සිතුම් පැතුම් ඇති වෙනවා. ඒ තුළ අප විසින් තේරුම්ගත යුතු බොහෝ දේ තිබෙනවා. ඒ පර්වර්තනයන්ට ඔරොත්තු දෙන ආකාරයට අපි සෑම කෙනෙක්ම සාමුහිකත්වයෙන් අපේ රාජ්‍ය පාලනය ගෙන යාම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා අපේ රට වශයෙන් ගත් විට ඒ තිබෙන තත්ත්ව සියල්ල සැලකිල්ලට ගනිමින් මා පෙර කී පරිදි නිදහසේ අර්ථය පිළිබඳ නව මානයකින්, නව අර්ථයකින් බැලීම ඉතා අත්‍යවශ්‍යයි යැයි මා විශ්වාස කරනවා. අද ලෝකය තුළ නිර්වචන විදිහට විග්‍රහ කිරීමේ දී නිදහස කියන වචනය තමයි විග්‍රහ කිරීමට තිබෙන අසීරුම, සංකීර්ණතම වචනය කියා මම විශ්වාස කරනවා.

නිදහස කියන වචනය පුළුල් ලෙස විහි දී ගිය වචනයක් බවට පත්වී තිබෙනවා. නිදහස කියන වචනය පුළුල් අර්ථකතන රාශියක් දෙනු ලබනවා. නිදහස කියන වචනය නව අධි තාක්ෂණයත් සමඟ බොහෝ විහි දී ගොස් තිබෙනවා. අපේ හර පද්ධතීන්, අපේ ශිෂ්ටාචාරයේ උරුමකම් සමඟ නව ලෝකය සහ නව සංකල්ප දෙස බැලීමේ දී නිදහස කියන ඉතාම පුළුල් වූ සංකීර්ණ වූ වචනය පාලකයන් සහ සියලූදෙනා බරපතළ අභියෝගයක් ලෙස දකින කාර්යයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.

අද අපි ජීවත්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ යුගයකයි. අපි පැහැදිලි ලෙසම තේරුම්ගත යුතු කරුණු කාරණා කිහිපයක් තිබෙනවා. අද අප සිටින්නේ රජවරු රජකම් කරන පාලනයක නොවේ.

මේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීමේ දී නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ කාර්යය සැමවිටම රජයත්, ජනතාවත් විසින් ඉටු කරනවා. රටක ත්‍රිවිධ හමුදාව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා සැමවිටම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ කැපවී සිටිනවා.

අවුරුදු 26කට වැඩි කාලයක් පැවැති ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද්ධය පරාජය කළා. රටේ නිදහස සහ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ අපේ ගෞරවනීය ශ්‍රේෂ්ඨ රණවිරුවන්, ජීවිත පරිත්‍යාග කළ, ආබාධිත වූ, අත පය අහිමි වූ, අද සිය වගකීම් නිසි අයුරින් ඉටු කරන්නා වූ ඒ සෑම කෙනෙකුටම මුළු මහත් ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි යන්න මම දැඩි අවධාරණය කරනවා.

ජීවිත පරිත්‍යාගයෙන් ඒ ම්ලේච්ඡ ත්‍රස්තවාදය, බෙදුම්වාදය පරාජය කර රටට නිදහස සහ සාමය ලබා ගැනීමට අපේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශ සියල්ල, රාජ්‍ය සේවය මුළු මහත් පොදු ජනතාව, දේශපාලන නායකත්වයන් ඒ සෑම කෙනෙක්ම කළා වූ කැපවීම, පරිත්‍යාගශිලි භාවය සහ ජයග්‍රහණය පිළිබඳ තිබූ ආත්ම ධෛර්යය, ආත්ම විශ්වාසය සහ අධිෂ්ඨානය ගෞරවයෙන් සිහිපත් කිරීම ඉතාම අවශ්‍යයි. මේ අවස්ථාව වන විට අද දවසේ අපි මුහුණ දෙන ප්‍රශ්නවල දී දේශපාලන ප්‍රතිසංස්කරණ, සමාජ, ආර්ථික ප්‍රතිසංස්කරණ මේ කියන කරුණුවලට අපි මූලිකත්වය ලබා දී තිබෙනවා. බොහෝ විට මා මීට පෙර බොහෝ අවස්ථාවල ප්‍රකාශ කර ඇති පරිදි 26 වසරකට වැඩි කාලයක ම්ලේච්ඡ ත්‍රස්තවාදී යුද්ධය අවසන් වීමෙන් පසුව පශ්චාත් යුදමය ශ්‍රී ලංකාව ගත් විට එහෙම නැත්නම් යුද්ධය අවසන් වීමෙන් පසු කාලසීමාව තුළ මුල් අවස්ථාව අපි සිහිපත් කළහොත් 2009 මැයි මාසයේ 19, 20 වැනි දින සහ ඉන් පසුව පශ්චාත් යුද සමයක කළයුතු කාර්යයන්, ඒ වගේම පශ්චාත් ගැටුම්කාරී යුගය තුළ තිබූ කාර්යය අප විසින් ඉටු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව හරහා අපට යෝජනා මාලාවක් ඉදිරිපත් වුණා. .

2009 මැයි 19, 20 දිනවලින් පසුව පශ්චාත් යුද සමයක කළයුතු කාර්යයන් අප විසින් ඉටු කර තිබුණානම් විශේෂයෙන්ම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව හරහා අපට ඉදිරිපත් වූ යෝජනා එවන් ආකාරයෙන් ඉදිරිපත් නොවනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ නිසා අපි අද වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගත් විට 2009 මැයි 19, 20 න් පසු කාලය තුළ කළයුතු කාර්යයන් වන ජාතික සමගිය, සංහිඳියාව සඳහා සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලූදෙනාගේ සමඟිය සඳහා අපට කළ නොහැකි වූ කාර්යය ඉටු කිරීම සඳහායි. රටේ ජනතාව මේ ප්‍රශ්න විසඳීම සඳහා 2015 ජනවාරි 08 වැනිදා පැවැති මැතිවරණයෙන් මා වෙත සහ අපේ ආණ්ඩුව සඳහා බලයක් ලබා දුන්නා.

2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේ තිබූ කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා 1948 යටත් විජිත පාලනයෙන් නිදහස ලැබීමෙන් පසුව අපට ඔවුන් භාර දී ගිය ප්‍රශ්න වසර 68 කට පසුව විසඳිම සඳහා අපට ඉතිරිවී ඇති බව සැලකිල්ලට ගැනීම අත්‍යවශ්‍යයි. එසේනම් 2009 මැයි 19, 20න් පසුව කළයුතු කාර්යයන් මේ රටේ ජනතාව 2015 ජනවාරි 09 වැනිදායින් පසුව අපේ රජයට භාරදීමෙන් පසුව ඒ ප්‍රශ්න අප විසින් විසඳීම අත්‍යවශ්‍යයි යන්න ඔබ අප සෑම කෙනෙක්ම අවිවාදයෙන් පිළිගන්නා බව මම විශ්වාස කරනවා.

අපිට පසුව නිදහස ලබාගත් ලෝකයේ බොහෝ රටවල් සිය රට තුළ ජාතීන්ගේ සමඟිය සංහිඳියාව, ආගමික සමඟිය, භාෂාමය සමඟිය ඒ සියල්ල තුළ පුළුල් සංහිඳියා පිළිවෙත ශක්තිමත් කරමින් දේශපාලන සහ සමාජ ප්‍රතිසංස්කරණ කළ නිසා ඔවුන් අද ප්‍රබල ජාතීන් ලෙස දියුණුවෙමින් ඉදිරියට ගොස් තිබෙනවා.

ඒ නිසා අපි අපට මේ ලැබී ඇති අවස්ථාව අප විසින් විශේෂයෙන් ඉටු කළයුතු අවස්ථාවක්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව හරහා අපට ඇවිත් ඇති යෝජනා සම්බන්ධයෙන් වැරදි අර්ථකථන දෙනවා. මා ඉතා පැහැදිලිව කියනවා එම යෝජනා සඳහා අපි මුහුණ දෙන්නේ අපේ රාජ්‍යයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහායි., අපේ රටේ ජනතාවගේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහාත් අපේ ආරක්ෂක හමුදාවල ගෞරවය ආරක්ෂා කිරීම සඳහාත් ලෝකයේ පිළිගත් හමුදාවක් බවට අපේ ත්‍රිවිධ හමුදාව පත් කර ගැනීම සඳහාත් ක්‍රියාකරනවා. එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ සියලූ ජාත්‍යන්තර සංවිධාන සහ සියලූ රාජ්‍ය අපේ රට ගෞරවයෙන් පිළිගැනීම සඳහා ඒ යෝජනාවලට අපි මුහුණ දී ඉතාම ඉවසීමෙන්, සංයමයෙන්, හික්මීමෙන් අපි ඒ සඳහා ක්‍රියා කරනවා යන්න පැහැදිලිව සඳහන් කළ යුතුයි.

ඇතැම් දේශපාලන ප්‍රතිවාදීන්, බලය පිළිබඳ ක්ෂණික බලාපොරොත්තු තිබෙන අය මේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී රජය අනුගමනය කරන ක්‍රියා පිළිවෙත් සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන බොහෝ අර්ථකථන දෙනු ලබනවා.

ඒ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් මේ රට තුළ තහවුරු වන්නේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව කියන එක ඉතා පැහැදිලිව සඳහන් කරනවා.

විශේෂයෙන්ම ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ සිත් නොසන්සුන් කරන ආකාරයට නොයෙකුත් ආකාරයේ වැරදි මත, අදහස් මේ සම්බන්ධයෙන් දේශපාලන ප්‍රතිවාදින් සහ නොයෙක් අන්තවාදී අදහස් දරන අය ක්‍රියාත්මක කරන බව පෙනී යනවා.

රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින්, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරමින් රට තුළ ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කරන්නේ රජයේ ගෞරවය, ත්‍රිවිධ හමුදාවේ ගෞරවය ආරක්ෂක අංශවල ගෞරවය සහ මුළු මහත් ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරගෙන එම ප්‍රශ්න විසඳීමටයි.

ඒ නිසා අද වන් දිනයක ඒ පිළිබඳ අපි අපේ සිත්හි ධාරණය කරගත යුතු වෙනවා. අභිමානවත් ජාතියක් ලෙස, අභිමානවත් රාජ්‍යයක් ලෙස ලෝක සිතියමේ සටහන් කරන්න අපි සෑම කෙනෙක්ම ක්‍රියාකිරීම අවශ්‍යතාවක්. මුළු මහත් ජනතාවම ඒ සඳහා සැදි පැහැදි, අධිෂ්ඨානශීලිව කටයුතු කරනු ඇති බව මා විශ්වාස කරනවා.

පසුගිය වසර තුළ අපේ නව රජය විදිහට ලබාගත් ජයග්‍රහණවල දී මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ආරක්ෂා කරමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම මේ රටේ පොදු මහජනතාව මේ යුගය තුළ ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක් කියන එක මා ඉතා පැහැදිලිව සඳහන් කරනවා. ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම ඔස්සේ වසර 40 කට වැඩි කාලයක් මේ රටේ ජනතාව ඉල්ලා සිටි මැතිවරණ කොමිසන් සභා පිහිටුවනු ලැබුවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණ, රාජ්‍ය සේවය, පොලිසිය, මානව හිමිකම්, විගණන කටයුතු මෙවැනි ආයතන රාශියක් සඳහා ස්වාධින කොමිසන් සභා පිහිටුවා මේ රටේ ජනතාවගේ අභිමානවත් අයිතිය සුරක්ෂිත කිරීමට කටයුතු කළා.

ගෙවී ගිය වසරක කාල සීමාව තුළ දූෂණය, වංචාව, නාස්තිය අවම කිරීම සඳහා අපි රජයක් ලෙස ගත් ක්‍රියාමාර්ගවල සාර්ථක ප්‍රතිඵල තිබෙන බව මම පැහැදිලිව සඳහන් කරනවා. 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අපි පාර්ලිමේන්තුව ශක්තිමත් කළ බව ඔබ කවුරුත් පිළිගන්නා දෙයක්. රාජ්‍ය සේවය දේශපාලනීකරණයෙන් නිදහස් කර ගැනීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ ස්වාධින කොමිසන් සභා පැහැදිලිව ඉදිරියේ දී ක්‍රියා කරන බව මම මෙහි දී සඳහන් කරනවා.

මේ සියලූ නිදහස ලබාදීමේ දී විශේෂයෙන් නිදහස් මාධ්‍ය සම්බන්ධයෙන් අපි අනුගමනය කළ ප්‍රතිපත්තියේ දී මේ රටේ නිදහස් මාධ්‍යයට පුළුල් නිදහසක් අපි ලබා දී තිබෙනවා. ඒ නිදහස අද උච්ඡතම අවස්ථාවට පැමිණ තිබෙනවා. අපි මේ නිදහස ලබා දුන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන උගතුන්ට, බුද්ධිමතුන්ට, ප්‍රඥාවන්තයින්ට, මානවවාදින්ට විනයක්, හික්මීමක් ඇතිව සිය මාධ්‍ය හැසිරවීම සඳහා යන්න මම පැහැදිලිව ප්‍රකාශ කරනවා.

එසේ ලබාදුන් නිදහස ඒ පරමාර්ථයන්ගෙන් තොරව භාවිත කරන්නේනම් නම් ඒ ලබා දී ඇති නිදහස අනාගතයේ දී අපෙන් පසුව එන අය විසින් යම්කිසි දවසක අහිමි කරන්න ඉඩ තිබෙනවා. ඒ නිසා ඒ නිදහස ආරක්ෂා කර ගැනීමේ වගකීම සියලූ මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදින් සතුව තිබෙන බව මෙහි දී මා ඉතාමත් ගෞරවයෙන් සඳහන් කරනවා.

ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වූ රටක් ගොඩනැඟිමට, ශාස්ත්‍රීය දියුණුව ඇති කිරීමට, නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට, නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට, මන්ද පෝෂණයෙන් තොර රටක් ගොඩනැඟීමට නව අධි තාක්ෂණය සමඟ නව පරපුර බද්ධ කරමින් මේ තරඟකාරී ලෝකයේ ජාත්‍යන්තරව ඉදිරියට යන්නට, දේශිය කර්මාන්ත, දේශිය ආහාර නිෂ්පාදනය ආදී සියල්ල වැඩිදියුණු කරමින් විදේශීය වෙළෙඳ පොළ සඳහා අපේ දේශීය නිෂ්පාදන යොමු කිරීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තිය අපි දැඩි ලෙස ක්‍රියාත්මක කරනවා.

නිදහසින් පසුව වසර 68 කාල සීමාව තුළ අපේ සාගර සම්පත රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා කොතෙක් දුරට ප්‍රයෝජනයට ගෙන ඇතිද යන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. ලෝකයේ සංවර්ධනය වූ රටවල සාගර සම්පත ප්‍රයෝජනයට ගැනීමේ දී අපේ රට දියුණු කිරීම සඳහා සියයට එකක ප්‍රමාණයක්වත් සාගර සම්පත ප්‍රයෝජනයට නොගෙන ඇති බව පෙනී යනවා.

ඒ නිසා අධිතාක්ෂණික ලෝකයේ දූපත් රාජ්‍යයක් ලෙස අපට තිබෙන මේ මහා සාගර සම්පත තුළින් අපේ ආර්ථිකය දියුණු කරන්නට, ශිල්පීය ඥානය තුළින් සාර්ථක ප්‍රතිඵල නෙළන්නට අපට හැකියාව තිබෙනවා.

අද වැනි භාග්‍යවන්ත වූ දවසක 1948 නිදහස ලබාගැනීම සඳහා සටන් කළ දේශපේ‍්‍රමී ශ්‍රේෂ්ඨ උතුම් නායකයන් ගෞරවයෙන් සිහිපත් කරමින් 26 වසරක මිලේච්ඡ ත්‍රස්තවාදය අවසන් කර ජීවිත පරිත්‍යාගයෙන් රටට සාමය ලබාදුන් අපේ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට ගෞරවය පුද කරමින් අද දවසේ අපේ කාර්යය, හෙට දවස වෙනුවෙන් කැපවීමෙන් සාමුහිකත්වයෙන් ඉටු කරමින් පටු දේශපාලන බේදවලින් තොරව, පටු අදහස්වලින් තොරව, බලය ලබා ගැනීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ගවලට අවතීර්ණවීම වැනි අනුවණකම්වලින් මි දී සාමුහිකත්වයෙන් කටයුතු කරමින් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමු යැයි ඉල්ලීම මම කරනවා. මේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ලබා දී ඇති සියලූ අයිතීන් භුක්ති විදීමේ දී බුද්ධිමත්ව, ප්‍රඥාවන්තව, ඉවසීමෙන් සහ තම ඥානයෙන් ඒ කාර්ය සඳහා කැපවන ලෙස විශේෂයෙන්ම දේශපාලන ප්‍රතිවාදින්ට මා මෙහි දී සඳහන් කරනවා.

ලෝකයේ ප්‍රබුද්ධ වූ විශිෂ්ට රාජ්‍යයක් ලෙස මගේ උතුම් දේශය පත් කරන්න, එළැඹෙන දශකයන් සඳහා අපේ හෙට දවස සූදානම් කරන්නට ඔබ අප සෑම කෙනෙක්ම, සාමුහිකත්වයෙන් බැඳී, මිත්‍රත්වයෙන් එක්වී සහෝදරත්වයෙන් යුතුව කටයුතු කරමු යයි ගෞරවනීය ලෙස ආයාචනය කරනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අග්‍රවිනිශ්චකාර කේ. ශ්‍රි පවන් මහතා සහ එම මහත්මිය, ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා සහ මහත්මිය ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නිමල් ලන්සා සහ එම මහත්මිය, බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා සහ මහත්මිය, බස්නාහිර ආණ්ඩුකාර කේ. සී ලෝගේෂ්වරන් සහ එම මහත්මිය, ජනාධිපති ලේකම් පී .බී .අබේකෝන් මහතා සහ එම මහත්මිය, පොලිස්පති එන් .කේ ඉලංගකෝන් මහතා සහ එම මහත්මිය රාජ්‍ය ආරක්ෂක ලේකම් බී .එම් .යූ. බී බස්නායක මහතා සහ එම මහත්මිය, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන බුලත්සිංහල මහතා සහ එම මහත්මිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා සහ එම මහත්මිය, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා සහ මහත්මිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයා චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා සහ එම මහත්මිය, ඇතුළු අතිවිශාල පිරිසක් මේ උත්සව අවස්ථාවට එක්වූහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *