• Mon. Feb 6th, 2023

ranil and maithri

වත්මන් ජාතික ආණ්ඩුව තුළින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා රට පෙරට ගෙනයාමට හතරවන විප්ලවය ආරම්භ කර ඇති බවත් එය සාර්ථක කර ගැනීම සඳහා සියලුදෙනා අත්වැල් බැඳ ගත යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ තාක්ෂණ දරුවන්ට බංකොළොත් දේශපාලනඥයන්ගේ ජාතිවාදය වැඩක් නෑ. දෙයියන්ගෙ රටේ සිටත් හොරකම් කළ පුද්ගලයන්ට පොල් හොරකමත් ගැටලුවක්දැයි අගමැතිවරයා ප්‍රශ්න කර සිටියේය.

2030- 2035 කාලයේ දී මේ රට උසස් අදායම් ඇති ආර්ථිකයකට හිමිකම් කියන රටක් බවට පත් කිරීම වත්මන් රජයේ අරමුණ බව ද අගමැතිවරයා කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නියෝජිත හමුව අමතමිණි. මෙය කුලියාපිටිය කුරුදැල්පොතදී පැවැත්විණ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරය, අපේ ජාතික දිනයේ දී පැවැත්වූ පෙළපාලියත්, සංදර්ශනයත් අලුත් යුගයක සංකේතයක් බවට පත්වුණා. එම සංකේතය තමයි අප ඉදිරියට ගෙන යන්නෙ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කතාවෙන් ද එය පැහැදිලි වුණා. එතුමා කීවා සංස්කෘතික දරුවන් පිළිබඳත් තාක්ෂණික දරුවන් ගැනත්. එය අප හඳුනාගත යුතුයි. මේ රටේ දරුවන් සඳහා හොඳ අනාගතයක් හදන්නයි මේ ජාතික ආණ්ඩුව කටයුතු කරන්නෙ. මේ ජාතික ආණ්ඩුවේ ජනාධිපතිතුමා සහ අගමැති හැටියට මම ඉපදුනේ නිදහස් ශ්‍රී ලංකාවේ. මීට පෙර සිටි සමහරක් නායකයන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේයි ඉපදුනේ. ඒ නිසා අප යටත් විජිත යුගයක් දන්නේ නැහැ. අප ඉපදෙන විට මේ රට නිදහස් රටක්. අප නිදහස් අධ්‍යාපනයෙන් දැනුම ලබා ගත්තා. රජයේ පාසැල්වලට ගියා. සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලැබුවා.

ජනාධිපතිතුමාට සහ මට අවශ්‍ය මේ රට දියුණු රටක් බවට පත් කරන්න. රට ඉදිරියට ගෙනියන්න. මෙහි සිටින තාක්ෂණ දරුවන්ට හොඳ අනාගතයක් ඇති කරන්නේ කෙසේද කියායි අප සෑම විටම කල්පනා කරන්නෙ.

මේ රටේ විප්ලව තුනක් පසුගිය කාලයේ ඇති වුණා. එකක් තමයි ඩී. එස් සේනානායක මැතිතුමා රටට නිදහස ලබා දීම. එස්.ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමා ගෙන ආ සමාජ විප්ලවය දෙවන විප්ලවය වශයෙන් හඳුන්වන්න පුළුවන්. තුන්වන විප්ලවය තමයි ජේ. ආර් ජයවර්ධන මැතිතුමා ගෙන ආ නවීකරණ විප්ලවය. මේ සියල්ල නිසා අප රට ඉදිරියට ගියා. මේ ජාතික ආණ්ඩුවෙන් ඒ විප්ලව තුනම නියෝජනය වෙනවා. එක විප්ලවයකින් අපට නිදහස ලැබුණා. තව විප්ලවයකින් සංස්කෘතික දරුවන් පැමිණියා. තුන්වන විප්ලවයෙන් තාක්ෂණික දරුවන් නිර්මාණය වීමට මඟ පෑදුණා.

මම අධ්‍යාපන ඇමැතිවරයා ලෙස මේ රටේ පාසැල්වලට රූපවාහිනී අධ්‍යාපනය ලබල දුන්නා. පරිගණක අධ්‍යාපනය ආරම්භ කළා. අද ලෝකයේ ඇතිවෙලා තිබෙන, ඇතිවෙමින් තිබෙන දේශපාලන, ආර්ථික විපර්යාසය නිසා ලෝකය ගෝලීය ආර්ථිකයක් කරා යන අවස්ථාවේ, තාක්ෂණය පදනම් කරගනිමින් ඉදිරියට යන අවස්ථාවේදීයි මේ ජාතික ආණ්ඩුව තුළින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා හතරවන විප්ලවය ඇතිකරන්නෙ. රටේ දුප්පත්කම නැතිකරන්න, තරුණ කරුණියන්ට රැකියා ලක්ෂ දහයක් බිහි කරන්න, ජනතාවගේ ආදායම වැඩි කරන්න, 2030- 2035 අතරදී උසස් අදායම් ඇති ආර්ථිකයකට හිමිකම් කියන රටක් බවට පත් කිරීමටයි අප කටයුතු කරන්නෙ. මේක තමයි අප ආරම්භ කර තිබෙන විප්ලවය. මෙය අපට තනිවම කරන්න බැහැ. මේ සඳහා සියලුදෙනාම අත්වැල් බැදගත යුතුයි. තරුණ, තරුණියන් අද අපෙන් ඉල්ලා සිටින්නෙ ඔවුන්ව ඉදිරියට රැගෙන යන ලෙසයි.

ගිය අවුරුද්දේදී අපගේ දේශපාලන ප්‍රශ්න විසදා ගැනීමට සිදුවුණා. මේ වන විට ජාත්‍යන්තරයේ තිබෙන ගැටලු විසදාගනිමින් සිටිනවා. අද අප ආර්ථික සංවර්ධන කාර්යය ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන වැඩසටහන් අප ඉදිරිපත් කරනවා. ආර්ථික සංවර්ධනයේදී විවධ රටවල සහයෝගය අපට ලැබෙනවා. විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අයොජකයන් හමුවෙලා තිබෙනවා. මේවා නිවැරැදිව ක්‍රියාත්මක කරන්නයි ජාතික ආණ්ඩුව පිහිටුවලා තිබෙන්නෙ. ඒ නිසා අප ගමන් කරන ප්‍රතිපත්තියෙන් ඈත් වෙන්නෙ නැහැ.

මේ රටේ තරුණ, තරුණියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඕනෙ. අපට වඩා වෙනස් පරපුරක් පැමිණෙමින් තිබෙනවා. අප පාසැල් ගිය කාලයේ අපේ ගෙදරත් ටැලිෆෝන් එකක් තිබුණා. අද සෑම පුද්ගලයකු ළඟම ජංගම දුරකතන තිබෙනවා. ඊ මේල්වලින් තොරතුරු හුවමාරු කරගන්නවා. එදාට වඩා ලෝකය අද වෙනස්. ඒ කාලෙ අපට රූපවාහිනී යන්ත්‍ර තිබුණේ නැහැ. අද හැම තැනම තිබෙනවා. මේකයි නවීකරණ විප්ලවයේ ප්‍රතිඵල. ඒ නිසා ඉදිරියේදී රට වෙනුවෙන් කළ යුතු කාර්යයන් පිළිබඳ අපට විශේෂ වගකීමක් තිබෙනවා.

අද වයඹ පළාත ගැනත් කතා කරනවා. වයඹට අධිවේගී මාර්ගය පැමිණෙන විට කුරුණෑගල ප්‍රදේශයේ ඇතිවන දියුණුව කොහොමද. මීරිගම, දිවුලපිටිය, කුලියාපිටිය ප්‍රදේශයන්හි ආර්ථික කලාප ඇතිවෙනවා. අපනයන ධීවර වරායවල් ඇතිකරනවා. සංචාරක ව්‍යාපාරය ඉදිරියේදී මීට වඩා තවත් දියුණු කරනවා. වයඹ ප්‍රදේශයත් මෙයට ඇතුළත්. අපනයන කෘෂිකර්මයට අප යා යුතුයි. වී වගාව අද තිබෙන තත්ත්වයට වඩා තරඟකාරීව සිදුවිය යුතුයි. මේවා තුළින් තරුණ පිරිසට රැකියා ලැබෙනවා.

මේ ආණ්ඩුවේ ප්‍රධානම පක්ෂය එක්සත් ජාතික පක්ෂයි. විවිධ පක්ෂ රටේ සංවර්ධනයට කැප වී සිටිනවා. එහෙත් සංවර්ධන කටයුත්තේ දී එක්සත් ජාතික පක්ෂයට විශේෂ වගකීමක් පැවරෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අපත් ගමට යන්න ඕනෙ. අප අපගේ පක්ෂය තවතවත් ශක්තිමත් කරගන්න ඕනෙ. ගමට ගොසින් තාක්ෂණ දරුවාට හතරවන විප්ලවය ගැන කිව යුතුයි. අපේ පක්ෂයට ශක්තිය ලබා දුන් පුද්ගලයන්ව අපගේ පැරැණි සාමාජිකයන්ව රැකබලා ගත යුතුයි. මේවර අපගේ පක්ෂය හදන්නෙ අනාගතය පිළිබඳ විමසිලිමත්ව තක්ෂණ දරුවන් වෙනුවෙන්. ඩී. එස් සේනානානයක මැතිතුමා එදා මේ පක්ෂය හැදුවා. පසුව ඩඩ්ලි සේනානායක, ජේ. ආර් ජයවර්ධන මහත්වරුන් මේ පක්ෂය හැදුවා. අද අප නැවතත් බලයට ඇවිල්ල තිබෙනවා. ජාතික ආණ්ඩුවක් ඇති කරල තිබෙනවා. බොරුවට කෑ ගහල වැඩක් නැහැ. සඳුදා දවසේ අපේ පක්ෂයේ අනුමැතිය අරගෙන සිරිකොත ප්‍රතිසංවිධානය කරනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ප්‍රතිසංවිධානය කරලා පක්ෂය ඇතුළේ අලුත් වැඩසටහනක් ගෙන යනවා. පක්ෂය තුළ කටයුතු කිරීමටත් කොටසක් අවශ්‍යයි. ජනාධිපතිතුමාත් අප වගේ සිතමින් සියලුදෙනා සමග ඉදිරියට ගමන් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් රටේ සංවර්ධන සැලසුම් අඩපණ කරමින් බංකොලොත් දේශපාලනයට යාමට උත්සාහ කරන බව ද පෙනෙනවා.

මේ රටේ තාක්ෂණ දරුවන්ට බංකොළොත් දේශපාලනය ජාතිවාදය වැඩක් නැහැ. ජතිවාදීන් එදා බලය තිබෙන අවස්ථාවේ මාධ්‍ය අල්ලාගෙන තම කටයුතු සිදුකළා. ආණ්ඩුවේ ක්‍රියාකාරම්වලට එරෙහිව පොල් ගහනවා නම් පොල් ලක්ෂ දහයක්වත් ගහන්න ඕනෙ. එතකොට පොල් හිඟයක් ඇතිවෙනවා. එවිට පොල් මිල වැඩිවෙනවා. එවැනි තත්ත්වයක් වයඹ ජනතාවට හොඳයි. පොල් දහයක් පහළොවක් ගහල වැඩක් නැහැ. පොල් ගහන්න පොල් හොරකම් කරන්නත් එපා. එම කටයුත්තට අප කියන්නෙ පොල් ලක්ෂ දහයක් මිලදී ගන්න කියා. එයට අපත් සහයෝගය දෙන්නම්. දෙයියන්ගෙ රටින් හොරකම් කළ අයට පොල් හොරකම මොකක්ද. කතරගම ගොසින් පික් පොකට් ගහල පුජා වට්ටියට දමා ගන්නා මිනිසුන් ද පොල් ගහන අය අතර ඉන්නවා. ඔය බංකොළොත් කණ්ඩායම්වලට මේ ජාතික ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න ඉඩ දෙන්න බැහැ. මේ රටේ තරුණයෝ, යූ. ඇන්. පී වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා වෙන්න පුළුවන්. ජේ. වී.පී වෙන්න පුළුවන්, ටී. එන්. ඒ. වෙන්න පුළුවන්. පක්ෂයක නොසිටින්න පුළුවන්. ඒ සියලු තරුණ තරුණියන් සඳහා අප රැකියා ඇති කරනවා.

අප විදේශ වෙළඳ පොළවල් දිනා ගන්න ඕනෙ. බංකොළොත් දේශපාලය අතහැර සියලුදෙනාට එකට එකතුවන්න කියා මා ආරාධනා කරනවා.

වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය, ඇමැතිවරුන් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා , අකිල විරාජ් කාරියවසම්, එස්. බී නාවින්න, රංගේ බණ්ඩාර ඇතුළු මැති ඇමැතිවරුන්, දේශපාලනඥයන් රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *