• Thu. Feb 2nd, 2023

හයිබ්‍රිඩ් අධිකරණය ගැන තීරණය කළයුත්තේ ශ්‍රී ලංකා රජයයි – මානව හිමිකම් කොමසාරිස්‌

BySandun

Feb 10, 2016

 

said al husenශ්‍රී ලංකාවට එල්ල වී ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා ගැන පරීක්‍ෂා කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන් සහ හයිබ්‍රිඩ් අධිකරණයක්‌ අවශ්‍ය බවට තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකා රජය යෑයි මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසෙන් මහතා පැවසීය. ඊයේ (9 දා) සවස කොළඹ එක්‌සත් ජාතීන්ගේ පරිශ්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ජිනීවා යෝජනාවේ විදේශ විනිසුරුවන් අවශ්‍ය බව සඳහන් වෙනවා. එහෙත් ඒ ගැන ශ්‍රී ලංකා රජය පියවර ගත යුතුයි. ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය සිදු කළේ මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන පරීක්‍ෂණයක්‌ මිස යුද අපරාධ ගැන සෙවීමේ පරීක්‍ෂණයක්‌ නොවෙයි යෑයි මානව හිමිකම් කොමසාරිස්‌වරයා සඳහන් කළේය.

විනාඩි 25 ක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාව පිළිබඳ කරුණු දැක්‌වූ හෙතෙම තමා මෙම මාධ්‍ය සාකච්ඡාවට පැමිණියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බවද කීවේය.

ශ්‍රී ලංකාවේ තත්ත්වය දැන් යහපත් අතට හැරී ඇතැයි පැවසූ ඒ මහතා ආරක්‍ෂක අංශ ප්‍රතිසංස්‌කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ උතුරු නැගෙනහිර ආරක්‍ෂක හමුදා අඩු කළ යුතු බවද කීය.

සෙයිද් රාද් හුසේන් මහතා මෙසේද කීවේය.

ශ්‍රී ලංකාවේ විශිෂ්ට විනිසුරුවන්, නීතිවේදීන් හා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සිටියා. නමුත් ගතවූ කාලයේ මේ අධිකරණ අංශ දේශපාලනීයකරණය වුණා. අපරාධවලට නිසි දඬුවම් ලැබුණේ නැහැ. කලහකාරීන් අධිකරණ ශාලාවට කඩාවැදුණා.

රජය මානව හිමිකම් ආරක්‍ෂා කිරීමට ප්‍රතිඥ දී ඇති බව සඳහන් කළ මානව හිමිකම් කොමසාරිස්‌වරයා සංහිඳියා ක්‍රියාමාර්ගය ඇතිකිරීම සඳහා පත්කළ විශේෂ කාර්ය බළකාය නිසි ලෙස සැලසුම් කර නැති බවට චෝදනා කළේය.

උතුරේ හමුදාව විසින් අල්ලාගෙන ඇති ඉඩම් නිදහස්‌ කළ යුතු බවද තවදුරටත් පැවසූ මානව හිමිකම් කොමසාරිස්‌වරයා තමා සෑම ජන කොට්‌ඨාසයක්‌ම හමුවී සාකච්ඡා කළ බව කීවේය.

මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට අදාළ ජිනීවා යෝජනාව ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය අවතක්‌සේරුවකට ලක්‌ කිරීමට නොවන බවද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය නැඟූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්‌වූ මානව හිමිකම් කොමසාරිස්‌වරයා රට ප්‍රකෘති තත්ත්වයට පත්වන අවස්‌ථාවේ ඊට එරෙහිව කටයුතු කිරීමට අන්තවාදී ප්‍රවාහයකට ඉඩ නොදිය යුතු බවද කියා සිටියේය.

මෙහිදී මානව හිමිකම් කොමසාරිස්‌ වෙත ඉදිරිපත් වූ බටහිර අරමුදල් මත යෑපෙන මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධව කටයුතු කළේ අරමුදල් සපයන රටවල අවශ්‍යතාව මතදැයි යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ඒ මහතා තමා මානව හිමිකම් උල්ලංඝනය කරන රටවල් ගැන වාර්තා ඉදිරිපත් කරන බව පැවසීය.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී ඇත්නම් ඒ ගැන තීන්දු කළ යුත්තේ අධිකරණයක්‌ මගින් බවද මානව හිමිකම් කොමසාරිස්‌වරයා තවදුරටත් සඳහන් කළේය.

පසුගිය කාලයේ පැවැති සුදු වෑන් සංස්‌කෘතිය හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන දැන් අසන්නට නැතැයි ද මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට සහාය දක්‌වන බවද හෙතෙම පැවසීය.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන අවස්‌ථාවේ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ උතුරේ මුස්‌ලිම් ජන සමූහයක්‌ විසින් විරෝධතාවක්‌ පවත්වනු ලැබූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *