• Thu. Feb 2nd, 2023

ගුරු අත්පොත් නැතිව දරු දැරියන් ලක්ෂ ගාණක් අමාරුවේ..!

chilren

මේ වසරේ පළමු ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට අදාලව ගුරු අත්පොත් නොලැබීමෙන් සහ ගුරුවරුන් පුහුණු නොකිරීම හේතුවෙන් ලක්ෂ තුනකට වඩා දරුවන් පිරිසක් අසීරුතාවයට පත්ව ඇතැයි ගුරු සංගමයක් පවසයි.

2016 වසරේ සිට පළමු ශේණියට නව විෂය නිර්දේශයක් හඳුන්වා දී ඇති අතර එම නව විෂය නිර්දේශයට අදාළ අත්පොතක් ගුරුවරුන්ට මේ දක්වා ලැබී නොමැති සේම පළමු ශේණියට ඉගැන්වීම් කටයුතුවල යෙදෙන ගුරුවරු නව විෂය නිර්දේශයට අනුව පුහුණු නොකිරීමෙන් බරපතල ව්‍යාකූලතාවයක් අධ්‍යාපන පද්ධතිය තුළ නිර්මාණය වී ඇති බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය පවසන්නේ.

එම ව්‍යාකූලතාවය හේතුවෙන් මෙවර පාසල්වල පළමු ශේණියට ඇතුළත් වූ දරු දැරියන් ලක්ෂ 3 කට වැඩි පිරිසක් බරපතල අපහසුතාවකට පත්ව ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් පවසා තිබේ.

නව විෂය නිර්දේශයක් 2016 සිට ක්‍රීයාත්මක වන්නේ නම් 2015 දෙසැම්බර් වන විට ඒ සඳහා අවශ්‍ය පෙළ පොත්, විෂය නිර්දේශය, ගුරු අත්පොත් ලබා දී තිබිය යුතු බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අවධාරණය කරන්නේ මේ වන විට ඉගැන්වීම් කටයුතු සිදු වන්නේ ඊට අවශ්‍ය කිසිදු කටයුත්තක් සිදු නොවී තිබෙන තත්වයක් තුළ බැවින් මෙය පළමු ශ්‍රේණියෙන් විධිමත් අධ්‍යාපනය ආරම්භ කරන දරුවන්ගේ අනාගතයට අහිතකර ලෙස දැඩි බලපෑමක් ඇති වන බවයි.

සැලසුම් විරහිත භාවය

අධ්‍යාපන පද්ධතියේ සිදුවන බරපතල වෙනස්කමක සැලසුම් විරහිත භාවය පිළිබඳව වහාම සොයා බලන ලෙසත්, මේ වන විට මතුව ඇති මෙම අර්බුදයට කඩිනම් විසඳුමක් සලසන ලෙසත් ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යවරයාගෙන්, අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති අතර, මෙම තත්වය පිළිබඳව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිවරයා හා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව ද ලිඛිතව දැනුවත් කර ඇති බවද එම සංගමය පවසයි.

මේ පිළිබඳව සොයා බලා මෙම අර්බුදකාරී තත්වය විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලංකා ගුරු සංගමය වැඩිදුරටත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *