• Tue. Feb 7th, 2023

රාජපක්ෂ පවුලේ ආදායම කෝටි 2යි. සී එස් එන් ආයෝජනය කෝටි 34 යි..!

rajapaksa family

සමඟි පෙරමුණු ආණ්ඩුව අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පිහිටුවන විට ඊට සහාය දුන් මහින්ද රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට විරුද්ධ වීම විහිළුවක් යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද පැවැසීය.

‘‘එෆ් සී අයි ඩි ය නඩු අහන තැනක් නොවෙයි. හැබැයි එහෙම අවස්ථා තිබුණා. ඔබට මතක ඇති 1971 කැරැල්ල. ඒ කාලේ අධිකරණ තිබුණා. එහෙත් කැරැල්ලට සම්බන්ධ අයට එරෙහිව නඩු අහන්න සමඟි පෙරමුණු ආණ්ඩුව අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පිහිටවූවා.

රූපවාහිනි ආයතනයක් පිහිටුවන්න අවුරුදු විසි පහක තරුණයෙකුට මෙතරම් මුදලක් ලැබුණේ කොහොමද කියා සිවිල් සමාජය විසමනවා.. දැන් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන විට එලොව පොල් පෙනිලා, සීනිගම දේවාලේට ගිහින් පොල් ගහනවා.

දැන් තියෙන්නේ පොල් ගහන්න නෙමෙයි. මේ මුදල් ලැබුණේ කොහොමද කියා කියන්නයි. එවිට උසාවියට පුළුවන් තීරණයක් ගන්න. දේවලවල ගිහින් දූෂණ වංචා වහන්න බැහැ. සීනිගම තියෙන්නේ මා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ. අපේ කතාවක් විශ්වාසයක් තියෙනවා, හොරෙන් කඩා ගහන පොල්වලට වස් වදිනවා කියලා.

අද එෆ්.සී.අයි.ඩි ය පරීක්ෂණ පවත්වන්නේ යෝෂිත රාජපක්ෂ මහතාට අදාළ රූපවාහිනි ආයතනය ආරම්භ කරන්නේ මිලියන 340ක් ලැබුණේ කොහොමද කියලා. ඒ වගේම අද අනාවරණය වෙලා තියෙනවා තංගල්ල ‘බීච්‘ හෝටලය මිලදී ගන්න මුදල් වශයෙන් මිලියන 157ක මුදලක් ලැබී තියෙනවා කියා. ‘‘

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ –

” මහින්ද රාජපක්ෂ පවුල් නිල ආදායම කොපමණ දැයි මම හොයලා බැලූවා. ඔහු පාර්ලිමේන්තුවට ඇවිත් තියන්නේ 1970 දී. 1970 පස්වැනි මාසේ 27 වැනිදා ඉඳන් 1972 පස්වැනි මාසේ 22 වෙනිදා වෙනකන් මාස 23 ක් මසකට රුපියල් 600 බැගින් 13, 800ක් ලබාගෙන තිඛෙනවා. ඔහු 1972 පළමු පාර්ලිමේන්තුවේ මාස 52ක් කටයුතු කරලා තියෙනවා. ඔහු එතකොට මසකට රුපියල් 1000ක වැටුප් ලබාගෙන තිඛෙනවා. පළමු පාර්ලිමේන්තුවේදී ඔහු ලබපු සම්පූර්ණ වැටුප 52,000යි. මේ ආකාරයෙන් දෙවැනි පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමෙන් ඔහු ලබපු සම්පූර්ණ වැටපු අට ලක්ෂ හැට හයදහස් පන්සිය පනහයි. තුන්වැනි පාර්ලිමේන්තුවේ එකතුව දහතුන් ලක්ෂ තිස් පන්දහස් හාරසිය හැත්තෑ පහක් ලබාගෙන තිඛෙනවා. සිව්වැනි පාර්ලිමේන්තුවේ ඔහු මාස 12ක් කටයුතු කරලා තියෙනවා. ඒ කාලයේ ඔහු ලබපු වැටුප්වල එකතුව හාර ලක්ෂ තිස්තුන් දහස් දෙසීයයි. පස්වැනි පාර්ලිමේන්තුවේ නව ලක්ෂ තිස් අට දහස් හය සියයි. හයවැනි පාර්ලිමේන්තුවේ හය ලක්ෂ අසූ පන් දහස් පන්සීයයි. 2005 වසරේ සිට 2014 දක්වා කාලයේදී ඔහු ජනපතිවරයෙක් ලෙස ලබපු වැටුප් වල එකතුව මිලියන නවයකුත් දෙලක්ෂ විස් පන් දහසක් ලබාගෙන තිඛෙනවා. 1970 සිට මහින්ද රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ ආදායම කෝටි 1.35 කි.

නාමල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයා මාස 61ක් වැටුප් ලබාගෙන තිඛෙනවා. ඒ කාලයේදී ඔහු ලබපු වැටුප්වල ආදායම මිලියන හතරකුත් එක් ලක්ෂ හාර දහස් තුන්සිය අසූ පහයි. යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බැඳිලා තියෙන්නේ 2006 ඔක්තෝබර් මාසයේදී. නාවික හමුදාවේ ලූතිනන් වරයෙක් ලෙස වැටුපක් ලැබුවත්, 28,435 බැගින් 112ක්. එහි එකතුව තිස් එක් ලක්ෂ අසූ හතර දහස් හත්සිය විස්සයි. එහෙම බැලූවාම රාජපක්ෂ පවුලේ සම්පූර්ණ නිල ආදායම මිලියන විස්සකුත් අට ලක්ෂ තිස් නම දහස් හයසිය තිහයි. මිලියන විස්සක (කෝටි දෙකක) නිල ආදායමක් තිබුණු රාජපක්ෂ පවුලේ යෝෂිත රාජපක්ෂ මහතා සී.එස්.එන් නාලිකාව ආරම්භ කරන්න මිලියන 340ක් වැය කළේ කොහොම ද? ඒ සම්බන්ධයෙන් තමයි, අද පරීක්ෂණ සිදු වෙන්නේ. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *