ලෝක වෙළෙඳපළේ තෙල් මිල ඉතා ශීඝ්ර ලෙස පහළ බැසීමේ තත්ත්වය හමුවේ පෙට්රල් ලීටරයක් රුපියල් පනස් දෙකකටත්, ඩීසල් ලීටරයක් රුපියල් හතළිස් දෙකකටත් ලබාදීමට රජයට හැකියාව ඇති බව ජවිපෙ පවසයි.
සියලු බදු සහ ලාභ ඇතුළත්ව එම මුදලට පෙට්රල් හා ඩීසල් ලබාදිය හැකි වුවත් යහපාලන රජය පෙට්රල් ලීටරයකින් රුපියල් හැට පහකුත් ඩීසල් ලීටරයකින් පනස් තුනකුත් ජනතාවගෙන් ගසාකමින් සිටින බවට එම පක්ෂයේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා චෝදනා කළේය.
පෙට්රල් හා ඩීසල් ලීටරයකින් මෙතරම් ලාභයක් හා බදු අයකර ජනතාව සූරා කෑමට රජයට ඇති සාදාචාර අයිතිය කුමක්දැයි ප්රශ්න කළ ටිල්වින් සිල්වා මහතා තෙල් මිල අඩුකර මුළු රටේම ජීවන බර අඩුකළ හැකි මහඟු අවස්ථාවෙන් රජය වහා ප්රයෝජනයක් ගත යුතු බව ද අවධාරණය කළේය.
රජය අනුගමනය කරන ජනතා විරෝධී ප්රතිපත්තිය වහා වෙනස් කළ යුතු බවත් එය එසේ නොවුනොත් සියලු ජනතාව එක්කර ගනිමින් රජයට එරෙහිව පාරට බැසීමට සූදානම් බවත් ටිල්වින් සිල්වා මහතා කීවේය.