• Thu. Feb 2nd, 2023

mahinda and maithri

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන සටන පණ ගැන්වීම සඳහා දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයක් අද (12) පෙරවරුවේ බත්තරමුල්ල ජයන්තිපුර, නෙලුම් මාවතේදී විවෘත කරයි.

මෙම කාර්යාලය විවාත කිරීමේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වමින් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් මෙහෙයවීම හා අදාළ සම්බන්ධීකරණ කටයුතු කිරීම බව වාර්තා වේ.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයකුට ලැබෙන වරප්‍රසාද යටතේ මහින්ද රාජපක්ෂ මහතාට නිල නිවසක් හෝ කාර්යාලයක් මෙතෙක් ලැබී නොමැත. ඔහුගේ දේශපාලන කටයුතු වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාමය ජනතාව හමුවීමේ මධ්‍යස්ථානයක් ලෙස පසුගිය කාලයේදී යොදා ගෙන තිබූ අතර එම විහාරස්ථානය දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම අත්හිටුවන ලෙසට නියෝගයක් ලබා දෙන්නැයි අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබීමත් රාජපක්ෂ මහතාට ජනතාව මුණ ගැසීමට ස්ථීර ස්ථානයක් නොමැති වීමත් ඉදිරි දේශපාලන කටයුතු සංවිධානාත්මකව ගෙන යෑමටත් මෙසේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කරන බව රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්ය මණ්ඩලයේ ප්‍ර‍කාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති නිල නිවෙසේදී අද (12) පස්වරු 2.00ට පැවැත්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සහ නායකත්වය විවේචනය කරන්නන්ට සහ ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභා තීන්දු උල්ලංඝනය කරමින් කටයුතු කරන්නන්ට එරෙහිව විනය පියවර ගැනීම පිළිබඳ දැඩි තීන්දුවකට එළැඹීමට මෙම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවා ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය මණ්ඩලය විසින් විනය පරීක්ෂණ පවත්වා වාර්තා ලබා දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ සමස්ත ලංකා කාරක සභිකයන් 08දෙනකු පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීම පිළිබඳ මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී දැඩි තීරණයක් ගනු ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *