වලංගු බලපත්‍රයක් නොමැති අලි පැටියකු සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව කිරුලපන ඇලන්මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන් සැකකරුවකු ලෙස නම් කරන ලෙසත් උන්වහන්සේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය සුදුසු පියවර ගන්නා ලෙසත් නීතිපතිවරයා උපදෙස් දී ඇති බව රහස් පොලිසිය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.
උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව වනජීවි ආඥා පනත යටතේ නඩුවක් ගොනු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්කි ඇති බව සඳහන් කරන නීතිපතිවරයා මේ පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගෙන ධම්මාලෝක හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට වහාම පියවර ගන්නා ලෙසට උපදෙස් දී ඇති බව රහස් පොලිසිය තවදුරටත් දන්වා සිටියේය.
මේ අලි පැටියාගේ වටිනාකම රුපියල් ලක්ෂ 59ක් ලෙසට ඇස්තමේන්තු කර තිබේ.
අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා හමුවේ මෙම පැමිණිල්ල ඊයේ (12) යළි කැඳවු අවස්ථාවේදී රහස් පොලිසිය නීතිපතිවරයාගේ උපදෙස් සහිත ලිපිය අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
පසුගිය වසරේ ජනවාරි 28 දින ඇලන්මැතිනියාරාමයේ සිටියදී වයස අවුරුදු දෙක හමාරක් වයසැති මෙම අලි පැටවා වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙයට පෙර උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රකාශයක් සටහන් කර ගත් අතර රක්ෂිත වනාන්තරයේ සිටි ඇත් පැටවා අල්ලා ගෙන වලංගු බලපත්‍රයක් නොමැතිව ළඟ තබා ගැනීම පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වන බව රහස් පොලිසිය තවදුරටත් දන්වා සිටියේය.