වන සත්ව හා වෘක්ෂලතා අණපනත් උල්ලංඝනය කරමින් අලි පැටව් විකිණීමේ සහ සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට ලක් වූ උඩුවේ ධම්මාලෝක, කොළොන්නාවේ සුමංගල යන හිමිවරුන් මෙන්ම, විනිසුරු තිලින ගමගේ මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉහළ දේශපාලන බලපෑම් එල්ල වී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ නිසා අලිජාවාරමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් පවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැතැයි එම ආරංචි මාර්ග පවසයි.
ඇලන්මැතිනියාරාම විහාරවාසී උඩුවේ ධම්මාලෝක හිමියන් තමා සන්තකයේ තබාගෙන සිටි අලි පැටියා පිළිබඳව අධිකරණයට කරුණු වාර්තාකර තිබුණේ එම අලිපැටියා කිසියම් පුද්ලයකු විසින් විහාරස්ථානයේ ගේට්ටුව අසල දමා ගොස් තිබිය දී තමා සොයාගත් බවයි.
දෙව්රම් වෙහෙර විහාරවාසී කොළොන්නාවේ සුමංගල හිමියන් අලි පැටවුන් අට දෙනකු විවිධ පුද්ගලයන්ගේ නමින් විකුණා ඇති අතර සොයාගත් අලිපැටවුන් පිළිබඳ විමර්ශනය කිරීමේ දී අදාළ අලි පැටවුන් සුමංගල හිමියන්ගෙන් මිල දී ගත් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන ඇත.
විනිසුරු තිලින ගමගේ මහතාගේ අලි පැටවාට මුල් අයිතිකරුවෙක් නැතැයි හෙළිව තිබේ.
මාස ගණනාවක් තිස්සේ කරන ලද විමර්ශන දැන් අවසන් කෙරී ඇති අතර නීතිවිරෝධී ලෙස අලි පැටවුන් 16 දෙනකු විවිධ පුද්ගලයන් සන්තකයේ තබාගෙන සිටින බවත් ඔවුන් පිළිබඳව සියලූ තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් දැනගන්නට ඇත.