• Thu. Feb 2nd, 2023

පදිංචි නිවස උකසට තබා පියා දුන් මුදලින් සාග් ගිය දියණිය දිනපු හැටි.

තාත්තා කිව්වා පුතේ මම ගෙදර උකස් තියලා ඔයාට සල්ලි අරන් දෙන්නම් ඔයා තරගයට යන්න කියලා..
ඉන්දීය ක‍්‍රීඩිකාව පැදපු බයික් එක ලක්ෂ 27 ක්.. මම පැද්දෙ 75,000 ක බයික් එකක්…

පදිංචිව සිටින නිවෙස උකසට තබා දකුණු ආසියා ක‍්‍රීඩා උළෙලට සහභාගි වී රිදී පදක්කමක් ලබා ගන්නට අනුරාධපුර මිහින්තලය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන උදේශනී නිරංජනී කුමාරසිංහ සමත්වුණා. ඇය මෙම දස්කම දක්වමින් රිදී පදක්කම දිනා ගත්තේ සාග් තරගාවලියේ කාන්තා පාපැදි තරගයෙන්.
සාග් ක‍්‍රීඩා උළෙල සඳහා ඉන්දියාව බලා යාමට පිටත්ව යන්නට අවශ්‍ය පෞද්ගලික වියදම් සඳහා අවශ්‍ය මුදල් උපයා ගැනීමට තරම් වත්කමක් නොමැති වූ ඇයට ඇගේ පියා විසින් ඔවුන් පදිංචිව සිටි නිවස උකස් කර රුපියල් විසිදහසක මුදලක් ලබා දී තිබුණා. කෙසේ වෙතත් තමන් පදිංචි නිවස උකස් කළ පියාට එහි නිසි ප‍්‍රතිඵලය ලබා දෙන්නට මෙම දියණිය සමත් වීම නිසා ඇගේ පියා ඉන්නෙ දැඩි ලෙස ප‍්‍රීතියෙන්.

සාග් ක‍්‍රීඩා උළෙලේ රේසින් පාපැදි අංශයෙන් පැවැති තරගයේදී කිලෝමීටර 40 ක දුරින් යුතු ඉසව්වේ දෙවැනියා ලෙස තරගය නිම කරමින් ශ‍්‍රී ලංකා මාතාවට රිදී පදක්කමක් හිමිකරදීමට උදේශනී සමත් වුණා. කෙසේ වෙත්ත තමන් ලබා ගත් ජයග‍්‍රහණය පිළිබඳ කතාව ඇය පුවත්පතකට මෙසේ පවසා තිබුණා.

මගේ අම්මා මිය ගිහිල්ලා දැනට අවුරුදු 11ක් පමණ වෙනවා. මාව බලාගන්නේ, මාගේ කටයුතු සියල්ලට දිරිය ලබාදෙන්නේ මගේ ආදරණීය තත්තා. මා 2014 වර්ෂයේදී මිහින්තලය පැවැති බක්මහ උළෙලේ පාපැදි තරගාවලියට සහභාගි වෙලා ප‍්‍රථම ස්ථානය ලබා ගත්තා. මා ඉගෙනුම ලැබූ මිහින්තලය මහා විද්‍යාලයේ ක‍්‍රීඩා භාර ගුරුවරයා වන අජිත් සේනාධීර මහතා මා පාපැදි අංශයට යොමු කරන්න බෙහෙවින් කැප කිරීම් කළා. ඒ අනුව පැවැති තරග කිහිපයකටම සහභාගි වී රන් පදක්කම් 13ක් ඇතුළු පදක්කම් 21ක් මේ වන විට ජයග‍්‍රහණය කර තිබෙනවා.

2014 වර්ෂයේ කොරියාවේ පැවැති තරගයකට සහභාගි වී දෙවැනි ස්ථානය ලබා ගත්තා. කොරියාවේ තරගයට ගියෙත් තාත්තා කුඹුර උකස් කරලා දීපු මුදල් අරගෙන. මෙවරත් තරගයට සහභාගි වෙන්න අවස්ථාව උදාවුණාට පහසුකම් හෝ මුදල් මට තිබුණේ නැහැ. එහෙත් තාත්තා කිව්වා පුතේ මම ගෙදර උකස් තියලා ඔයාට සල්ලි අරන් දෙන්නම් ඔයා තරගයට යන්න කියලා. මම ලොකු අධිෂ්ඨානයකින් තරගයට සහභාගි වුණේ. ඉන්දියාවේ ක‍්‍රීඩිකාව තරගයට පාවිච්චි කරපු පාපැදියේ වටිනාකම ලංකාවේ මුදලින් ලක්ෂ 27ක් විතර වෙනවා.

ඒත් මම පැද්දේ මගේ පාපැදි සමාජය වන දීප්ති ක‍්‍රීඩා සමාජය ලබාදුන් රුපියල් 75,000ක් පමණ වටිනා පාපැදියක්. ඒකෙත් සමහර කොටස් වෙන වෙන අයගේ පාපැදිවලින් ඉල්ලා ගත්ත කොටස්. එහෙත් සියලූ‍ අභියෝගයන්ට මා මුහුණ දෙමින් තරගාවලියේ දෙවැනියා ලෙස තරගය අවසන් කළා. හොඳ පාපැදියක් ගන්න ලක්ෂ හයහමාරක් විතර ඕන. ඒක ඉතිං හැමදාම හීනයක් තමයි. වෙනත් අවශ්‍යතාවලට අවශ්‍ය මුදලූ‍ත් උපයා ගන්නේ හරිම අමාරුවෙන්. හැමදාම ඒ – 9 මාර්ගයේ පුහුණුවීම් කරනවා.

හැකි පමණින් පාපැදි අංශයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ගුවන් හමුදා පාපැදි සවාරිය ආරම්භ වෙනවා. ඒකටත් තරග කරලා ස්ථානයක් ලබා ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉදිරියට යන්න තියෙන එකම බාධකය මුදල් නැතිකම තමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *