මහින්ද රාජපක්ෂ මහතා යුද අධිකරණයෙන් හා විදුලි පුටුවෙන් බේරා ගැනීමට කටයුතු කළේ වර්තමාන රජය බවත්, ඒ සඳහා පසුගිය වසරේ ජනවාරි 8 වැනිදා සහ අගෝස්තු 17 වැනිදා ජනතාව විසින් සහාය ලබාදී ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.
ජනාධිපති මෛත්‍රිපාල සිස්රිසේන මහතා මේ බව සඳහන් කළේ 13 දා වැලිස්කන්ද ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘතියක් විවෘත කිරීමෙන් පසු පැවැති ජනහමුවකදීය. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.
මේ ප්‍රදේශයේ ජීවත්වෙන්නේ සැප සම්පත් තිබෙන අය නොවේ. ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය අධ්‍යාපන ඇතුලු ජීවත්වීමේ පොදු පහසුකම් රැසක් ඉටුකිරීමට අපි සැලසුම් යොදා තිබෙනවා. මේ නිසා තමයි ජනතාව ජනවාරි 8 වැනිදා සහ අගෝස්තු 17 වැනිදා මේ වෙනස සිදුකළේ. පසුගිය සතියේ මානව හිමිකම් කොමසාරිස් ලංකාවට ඇවිත් උතුරෙත්. දකුණෙත්, කන්ද උඩරටත් සංචාරය කළා. ඔහු මට කීවා ශ්‍රී ලංකාව ලෝකයේ ලස්සනම රටක් බවට පත්වෙලා කියලා. මේ ලස්සන රටේ ගැටුම් ඇතිකරගන්න හොඳ නැහැ. ඔබ හොඳින් මේ අවුරුද්දක කාලය රට පාලනය කරලා තියෙනවා කිව්වා.
ඔබේ රජය කරන මේ වැඩපිළිවෙළ ගැන ඉතාම සතුටු වෙනවා කිව්වා. ඔබේ ආණ්ඩුවට කිසිදු බලපෑමක්, තර්ජනයක් කරන්නෙ නැහැ. ඒ සඳහා මාගේ සහය ඔබේ රටට ලබාදෙනවා කියලයි එතුමා මා සමඟ කිව්වේ.
මේ පිළිබඳ දේශපාලන ප්‍රතිවාදින් නොයෙක් ආකාරයේ දේවල් කියනවා. මම දැක්කා හිටපු ජනාධිපති කියලා තිබුණා මානව හිමිකම් කොමසාරිස් ලංකාවට ඇවිත් ගියාම ඒ යෝජනාවලට අපි එකඟවීම 1815 ඉංග්‍රීසීන් රට පාවා දුන්නට වඩා දෙයක් කියලා. 1815 ගිවිසුම එතුමා කියවලද මේ කියන්නේ මම දන්නෙ නැහැ. හැබැයි අපි බලයට එන්න කලින් හිටපු ජනාධිපතිතුමා මොනවද කිව්වේ. එතුමා කිව්වා, එයාවයි, යුද්ධය කරපු අයවයි ගෙනියනවා කියලා විදුලි පුටුවට, යුද අධිකරණයට.
විදුලි පුටුවට ගෙනියනවෝ කියලා කෑගැහුවා. මෛත්‍රිපාල බලයට පත්වුණොත් එයාව විදුලි පුටුවට ගෙනියනවා කියලා. මම බොහොම පැහැදිලිව කියනවා ඒගොල්ලෝ විදුලි පුටුවෙන් බේරාගත්තෙත් අපි කියලා. ජනවාරි 8 දා මේ ජනතාව දුන් පරිවර්තනය නිසා. ඒ පරිවර්තනයේ අපි විතරක් නොවෙයි ලෝක ප්‍රජාව ඉතා හොඳින් දන්නවා. සෑම කෙනෙකුගෙන්ම ආශිර්වාදය ලැබෙනවා. යුද්ධ ඇතිවෙන්න හේතු අපි මොනවාද කියලා හඳුනාගෙනයි කටයුතු කරන්නේ.
මෙම අවස්ථාවට පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා, අමාත්‍ය රවුෆඅ හකීම්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ යන මහත්වරු හා දෙස් විදෙස් ආයෝජකයෝද මහවැලි අධ්‍යාපන හා ජල සම්පාදන යන ක්ෂේත්රවල නිලධාරීහු එක්ව සිටියහ.