• Tue. Feb 7th, 2023

පොදු විපක්ෂය යනු දූෂණ සෙවීම වලක්වා ගැනීමේ දේශපාලන එකතුවක්.

BySandun

Feb 17, 2016

UPFA MPs protest outside parliament

මීට පෙර මා පෙන්නා දුන් ආකාරයට මේ දූෂණ හා වංචාවන් දේශපාලන ග්‍රහණයට නතු වී ඇති හෙයින් සහ ජාතික ආණ්ඩුවේ ද පැරණි පාලක කුලකයේ පිරිස් සිටීම, පරික්ෂණ වලට සෑහෙන බලපෑමක් වන දෙයක් බව අමුතුවෙන් සඳහන් කරන්නට අවශ්‍ය නැත. නමුත් කොතෙක් දුරට ඒකට උඩින් පනින්නට පුළුවන්ද කියන එක තීරණය වන්නේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර ඇති සම්බන්ධතාවය වර්ධනය වීම සහ ඒ දෙදෙනාතුළ දූෂණයන්ට එරෙහිව තියෙන කැපවීම මත ය. දූෂණ සෙවීමට විරුද්ධව ලොකුම අරගලය දැනට කරන්නේ, ඒකාබද්ධ විපක්ෂය විසිනි. ඒකාබද්ධ විපක්ෂය කියන මේ අයගේ නම් ටික ගතහොත්, ඒ අය සියල්ලන්ටම විරුද්ධව බරපතල චෝදනා තිබේ.

මා හිතන්නේ පොදු විපක්ෂය නිර්මාණය වන්නේ මේ දූෂණවලට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහිව කරණ අරගලයක් ලෙසට ය. මේ විරෝධය ජාතිවාදි ස්වරූපයකින් එන්නේ වී නමුත් ඒක තමයි තීරණාත්මක සාධකය. දූෂණයට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්න විට ඒකට එරෙහිව මොකක් හරි සටන් පාඨයක් ගන්නා බව පැහැදිළිව පෙනෙන්නට ඇත. පිටරටින් තාක්ෂණික දැනුම ලබාගන්න විට විදේශ කුමණ්ත්‍රණයක් කියන්නට පුළුවන. යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා විට ඔන්න හමුදා නිළධාරියෙක් අල්ලනවා වැනි කථා ගොතති. එවැනි දේ කියන්නට හොඳ වාතාවරණයකුත් තිබේ. මක්නිසා ද යත් එසේ පැවසූ පලියට එදාමෙන් ඔවුන්ව පැහැරගෙන යෑමට අද සුදුවැන් සංස්කෘතිය නැත. වෙනත් ආකාරයකට පවසන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදි වට පිටාවක් අද ඇති නිසා ඔවුනට ආරක්ෂාවකුත් තිබේ.

මම හිතන ආකාරයට මේ කරන්නේ මානසික මෙහෙයුමකි. මේවගේ ලොකු මතයක් ගොඩනැගූ විට මේ පරික්ෂණ කරන නිලධාරීන් ඒකට බිය වී විමර්ෂණය නොකරාවි යන අදහසක ඔවුන් සිටින බව පෙනේ. මෙවැනි මතයක් ගොඩනැගූ විට, මේ දූෂණ පිළිබඳ වැඩකරන නීති නිළධාරින්, විනිශ්චයකාරවරුන්, ඒ පිළිබඳ කිසිවක් කරන්නේ නැත යන මතයක් ඒ අය තුළ තිබෙනවා වෙන්නට පුලුවන. ඒ වගේම ඒ අය තව දෙයක් මේ මගින් ගොඩනගන්නට උත්සාහ දරති. මේ විමර්ෂණ හරියට කරන්නේ නම් මහින්ද රාජපක්ෂගේ කාලයට පමණක් සීමා වන්නේ නැත. මේ ආණ්ඩුව තුළ සිටින අය ගැන ද යම්කිසි අවස්ථාවක විමර්ෂණ සිදුවන්නට පුළුවන. මේ ආණ්ඩුව ඇතුලේ සිටින අයට එරෙහිව විමර්ෂණයන් පටන් ගත්තාම ඔවුන්ට නගින්නට තිබෙන වේදිකාව තමයි පොදු විපක්ෂය දීර්ග කාලින ලෙස මේ හදන්නේ. පසුගිය දිනවල පත්තරවල තිබුණු දේ වලින් පැහැදිළිව පෙනෙනවා, මේ ආණ්ඩුව තුළ සිටින දූෂිතයින් දෙපැත්තේ පය තියාගෙන සිටින බව. ඒ අය ඉන්නේ, විමර්ෂණයන් දැඩිවුවහොත් අනික් පැතක්තට යන්නට බලාගෙන ය. දේශපාලන නායකත්වයට ඒ තෙරපුම ඔවුහූ අනිවාර්යයෙන්ම දෙති. සමහර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු එෆ්සීඅයිඩී ය එපා කියනවිට විටම අපිට ඒක පැහැදිළිවේ.

මෙහි දී සිවිල් සමාජයට විශාල වැඩ කොටසක් තිබේ. සිවිල් සමාජයට දැන් නිදා සිටීමට වේලාවක් නැත. සමහර කාරණා සම්බන්ධයෙන් සිවිල් සමාජයට ආණ්ඩුව සමග යන්නත්, සමහර කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව සමග නොයන්නට ද පුළුවන. මම හිතන්නේ පිටිපස්සට කකුල නොගන්නා ලෙස සිවිල් සමාජය රජයට තෙරපුමක් දී තිබේ. මේ දක්වා සිවිල් සමාජය ආණ්ඩුවට යහදැක්මක් ලබා දී ඇතැයි කියන්නට පුලුවන. විශේෂයෙන්ම අගමැතිතුමා සහ ජනාධිපතිතුමා යන දෙදෙනාම එයට සාර්ථකව ප්‍රතිචාර ලබා දී තිබේ. අනික් එක සිවිල් සමාජය, මේ විමර්ශනයන් කරන පුද්ගලයින් ආරක්ෂාකළ යුතු ය. නොයෙකුත් කටකථා, බොරු ප්‍රචාර යන්නට පුළුවන් මේ විමර්ශනය කරන නිළධාරින්ට සහ ආයතන වලට විරුද්ධව. ඒ ආයතන ආරක්ෂා කරන්නට රජයට තනිවම කළ නොහැක. පරික්ෂණ නවත්වන්නට විරුද්ධ පාර්ශවයෙන් එන දේශපාලන තෙරපුම නවත්වන්න රජයකට අපහසු ය. දැන් ලෝකය පුරාම දුෂණ විරෝධී විමර්ෂණ සිදුකරන විට ඒ ආයතන ආරක්ෂා කරන්නේ සාමාන්‍ය ජනතාව ය. සාමාන්‍ය ජනතාව එය ආරක්ෂා කරන්නේ නැතිනම් වෙන කවුරුවත් ඒවා ආරක්ෂා කරන්නේ නැත. අනික් අතට මේ සම්බන්ධයෙන් දේශපාලන කථාකාවක් ද තිබේ. එහි සමාජමය කාර්යභාරය කෙරෙන්නේ සිවිල් සංවිධාන විසිනි. මේ පරික්ෂණ කෙරෙන ආකාරය පිළිබඳව ද සිවිල් සමාජයට දැනුමක් තිබීම අවශ්‍ය වේ.

උදාහරණයක් ලෙස ගතහොත්, අවුරුද්දක්, අවුරුදු එකහමාරක් ගතවී ඇතත් මේ අය අත්අඩංගුවට නොගන්නේ මන්දැයි යන ප්‍රහ්නය මතුවන්නට හැක. අනික් පැත්තෙන් දැන් ඇල්ලුවාද යනාදි ලෙස මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම ඔච්චම් කරති. මේක තමයි දේශපාලන සංවාදය. මේ දේශපාලන සංවාදය යථාර්ථවාදි තලයකට ගෙනෙන්නට අවබෝධයක් තිබිය යුතු ය. ඒ අවබෝධය දූෂිතයින්ට තිබේ. ඔවුන් පසුපස ලුහුබඳින බව ඔවුහූ දනිති. නමුත් දේශපාලන තලයට එය එන්නේ නැත. මොකද්ද කෙරෙන්නේ යන්න පොලීසියත් දනිති. මෙහිදි දූෂිතයින් මෙන්ම පොලීසිය ද දැණුවත් ය. ඒ පරික්ෂණය කොතරම් අමාරුද යන්න දන්නේ ද පොලීසිය පමණි. උදාහරණයක් ලෙස මූල්‍ය විමර්ෂණයක දී කෙනෙක් එක්වර ගෙනත් ප්‍රශ්න කළ නොහැක. බැංකු වාර්තා ගතයුතු ය. බැංකු වාර්තා පොලීසියට ගන්නට බෑ අධිකරණ නියෝගයකින් තොරව. වෙනත් රටක අයෙකු සමග ටෙලිපොන් එකකින් කළ සංවාදයක් වෙන්නට පුලුවන. එහෙම නැත්නම් පිටරට ගණුදෙනු වෙන්නට පුලුවන්. ඒවායින් සමහර දේ මෙහේ සිට අපිට බලන්නට නොහැක. ඒ සඳහා තියෙන ජාත්‍යාන්තර ගිවිසුම්වලට අනුවයි කටයුතු කරන්නට සිදු වන්නේ. ඒ පියවර අනුව තමයි ඒවා ගන්නට පුළුවන් වෙන්නේ.

ඒවාට යන දීර්ග කාලය පිලිබඳව අවබෝධයක් සිවිල් සමාජයට තිබිය යුතු වේ. සිවිල් ජනතාවට ඒ ගැන අවබෝධයක් තිබුණු නිසා තමයි මුල දී සැකයක් ඇතිව නමුත් යමක් සිද්ධ වන්නේය යන නිගමනයට පැමිණියේ. යම් කාලයක් යන්නට හේතුව ලෙස මිනිස්සුන්ට පෙනෙන්නට පුලුවන් මේක යටගහන්න මේ යන්නේ කියලා. ඇත්ත වශයෙන්ම කාලයක් යනවා ද යන්න තීරණය වෙන්නේ විමර්ෂණයක සාර්ථකත්වය මත ය. සමහර විට විමර්ශනය කළ පසු මාස 6ක් 7ක් කරලා සාක්ෂි නැති නිසා, විමර්ෂණ නතර කරන්නට සිදුවේ. ඒ වගේම සමහර විමර්ශනවලට අවශ්‍ය නියෝග ලබාදෙන්නේ පොලීසිය නොව නීතිපති ය. එහෙම තමයි වෙන්නට ඕනේ. දූෂණ විරෝධයට දේශපාලන කැමැත්තක් ඇත. ඒ කැමැත්ත තිබුණු පලියට දුෂණ මර්ධනය කරන්නට නොහැක. ඒක කරන්නට නම් මේ ආයතන ශක්තිමත් විය යුතු ය. මේ ආයතන ශක්තිමත් කිරීම සඳහා තෙරපුමක් දෙන්නට අවශ්‍ය ය. මා හිතන්නේ අනිකුත් සිවිල් සංවිධාන මෙයට කැපවීය යුතුව තිබේ.

මෙයට අමතරව නී්තිපති දෙපාර්තමේන්තුවට එෆ්සීඅයිඩිය නඩු තිහක පමණ ලිපිගොණු යවා දිර්ග කාලයක් එහි තිබූ නමුත් නඩු පිළිබඳ අභිචෝදනාපත්‍ර බාර නොදිම පිළිබඳ එම ආයතනයට චෝදනාවක් තිබුණි. මේ ක්ෂේත්‍රය පිළිබඳ වැඩකරන්නට, නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තරයේ පවා ඇත්ත වශයෙන්ම සිටින්නේ සීමිත නිතිඥ සංඛ්‍යාවකි. කල් යා හැකි නමුත් නිතිපතිවරයා විසින් ප්‍රශ්න කෙරෙන එක නතරකළ නොහැක. මේවා සාමාන්‍ය නඩු මෙන් නොව ඉතාම සංකීර්ණ නඩු ය. සංකීර්ණත්වය නිසාම කල්යනවා වෙන්නට පුළුවන. නමුත් මේ කරුණු පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව කථා නොකිරීම වැරදි ය.

දැන් එයාර් ලංකා එක ගැන පරික්ෂණ නිලධාරියා ලෙස මගේ වාර්තාව අදාල ආයතනයට මා ලබා දී තිබේ. ඒ වාර්තාවෙන් පසු ඊ ළගට කරන ඒවා තීරණය වන්නේ රජයෙන. මම දන්න ආකාරයට විමර්ෂණ ආයතනවලට දැන් එය යොමුකර ඇත. ඒ විමර්ශන ආයතන වලින් විමර්ශනය වෙමින් තිබෙන බව දන්නවා ඇරෙන්නට වෙන යමක් මම නොදනිමි. මක්නිසාද ඒ පිලිබඳ හොයන්නට මට හැකියාවක් නැත. කෙසේ නමුත් ඒක සිවිල් සමාජය සැලකිල්ලට ගත යුතු කාරණයකි.

හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධ සිරිලිය සවිය ගිණුම ගැන නොයෙකුත් කටකථා තිබේ. මම දන්නා ආකාරයට ඒකේ විමර්ෂණ කටයුතු දිගටම සිදුවේ. එයට තව මාස 6ක් පමණ යන්නට පුලුවන. මක්නිසාද යත් ඒ ගණුදෙණු පිළිබඳ විදේශ රටවලින් ද තොරතුරු ලබාගතයුතුව තිබේ.

– නීතිඥය ජේ. සී වැලිඅමුණ .

One thought on “පොදු විපක්ෂය යනු දූෂණ සෙවීම වලක්වා ගැනීමේ දේශපාලන එකතුවක්.”
  1. These rogues are truly abusing their parliamentary privileges. In actual fact they are forming a CULT to attract vulnerable and less informed people to see if they can take the nation for a ride again. The media should do the right thing and uncover the true face of these black magic snake oil traders.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *