• Thu. Feb 2nd, 2023

ජර්මනියෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 14ක්.

german sri lanka tour

ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 14ක මූල්‍යාධාර ලබාදීමට ජර්මනිය එකඟතාව පළ කර තිබේ.

ජර්මනියේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට රජයේ නායකයින් අතර ඊයේ පැවති සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස මෙම ආධාර ලබාදීමට එකඟතාව පළ වී ඇති බව සඳහන්ය.

මේ පිළිබඳ ජර්මනියේ බර්ලින් නුවර සිට තොරතුරු ගෙන එන අද දෙරණ විශේෂ නියෝජිත ෂෙහාන් බරණගේ මහතා කියා සිටියේ’ජර්මන්-ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගිතා සැලැස්ම’යටතේ මෙම ආධාර මුදල ලැබෙන බවයි.

එම මුදලින් යුරෝ මිලියන 6ක මුදලක් විල්පත්තු වනෝද්‍යානයේ සංවර්ධන කටයුතු සඳහාද,උතුරු-නැගෙනහිර නිපුණතා සංවර්ධනයට යුරෝ මිලියන 4ක්ද,සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සංවර්ධනයට යුරෝ මිලියන 2.4ක්ද,පළාත්පාලන ආයතනවල නියෝජිතයින් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දැනුම හා අත්දැකීම් හුවමාරුවට යු.මි 0.6ක්ද වෙන්කර ඇති බව අප විශේෂ නියෝජිතයා සඳහන් කරයි.

එසේම තවත් යුරෝ මිලියනයක මුදලක් විශේෂ ව්‍යාපෘතික මුදලක් ලෙස ඉදිරියේදී ලැබීමට නියිමත බව කියැවෙයි.

ජනාධිපතිවරයාගේ ජර්මානු සංචාරයේ අවසන් දිනය වන අද දහවල් ජනාධීපතිවරයා ව්‍යාපාරික හමුවකට සහභාගී වීමට නියමිත අතර ඒ සඳහා ජර්මානු ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් 250 ක පිරිසක් සහභාගිවන බව හා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින් 35 දෙනෙකු පමණ සහභාගිවන බව සඳහන්ය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ ආයෝජකයින් දිරිමත් කිරීමත් ඔවුනොවුන් හඳුනාගනිමින් ඉඩප්‍රස්ථා විවරකර ගැනීමත් මෙම හමුවේ අරමුණු වන බවයි.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජර්මානු ජනාධිපතිවරයා අතර නිළ හමුව ඊයේ පස්වරුවේ සිදුවු අතර බර්ලින් නුවර පිහිටි බ්ලේවියු මන්දිරයේදී එම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

දශක 05කට වැඩි කාලයක සිට ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳාහා ජර්මානු රජය ලබාදෙන දායකත්වය පිළීබඳ එහිදී ස්තූතිය පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙරට අතර මිත්‍රත්වය වැඩිදියුණු කරගැනීමට කටයුතු කරන බවද පවසා තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව තහවුරු කරමින් ඉදිරියට යන ශ්‍රී ලංකාවට ජර්මානු රජයේ ඉහළම දායකතවය ලබාදෙන බවයි ජර්මානු ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *