2009, 2012, 2013 , 2014 මානව හිමිකම් කවුන්සිලයේදී අපට විරුද්ධ වූ ජර්මනිය හා ඔස්ට්‍රියාව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉතා උණුසුම් අයුරින් උත්තමාචාර සහිතව පිළිගත් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.
වත්මන් ආණ්ඩුවේ වෙනස මෙය බවත්, කලින් විරුද්ධ වූ අය දැන් අප හා මිතුරුව සිටින්නේ මෙලෙස බවත්, ඇමතිවරයා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ජනපතිගේ යුරෝපා සංචාරය ගැන මාධ්‍ය දැනුවත් කිරීමට එය පැවැති අතර ඊට රවී කරුණානායක මෙන්ම දයා ගමගේ යන ඇමතිවරුන්ද එක්ව සිටියහ.
එහිදී මහින්ද සමරසිංහ මහතා පැවසුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජර්මන් චාන්සල්වරිය සමග පැය එක හමාරක් පමණ සාකච්ඡා කළ බවයි.
එහිදී ඇය ශ්‍රී ලංකාවට උපකාර කරන ආකාරය ගැන කතා කළ බවත්, එහිදී ජනාධිපතිවරයා ජී. එස්. පී ප්ලස් සහනය ලබා ගැනීමට ජර්මනියේ සහය ඉල්ලා සිටි බවත්, ඇමතිවරයා පැවසීය.
එසේම ජනපතිගේ ඔස්ට්‍රියා සංචාරයේදී ද එරට ජනපති ඇතුළු ප්‍රධාන පෙළේ නියෝජිතයින් හමුවී මෙරට සංවර්ධනය සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙස කළ සාකච්ඡා සාර්ථක වූ බවද හෙතෙම කියා සිටියේය.
එම සාකච්ඡා සියල්ල සිදුවූයේ රටට වාසිදායක ලෙස බවත්, ජර්මනිය වැනි යුරෝපා සංගමයේ වැඩිම අපනයන ඇති රටක සහය හිමිවීම ඉතා වැදගත් බවත්, අමාත්‍යවරයා පැවසීය.
මාධ්‍ය හමුව ඇමතු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ජර්මනියේ හා ඔස්ට්‍රියාවේ සිටින විවිධ ආයෝජකයන්ට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කළ බවයි.
එම සාකච්ඡා වලදී මත්තල ගුවන් තොටුපළ තවදුරටත් ප්‍රයෝජනයට ගත හැකි පරිදි දියුණු කිරීම ගැනද අවධානය යොමු වූ බව ඇමතිවරයා කීවේය.
එසේම ණය ගන්නවාට වඩා ආයෝජන ගෙන ඒම වැදගත් බවද කියා සිටි අමාත්‍යවරයා සියයට 6 – 7 පොලියට වඩා සියයට 0.01 ණය අවුරුදු 30, 40කින් ගෙවීමට ගැනීමට හැකි පරිදි පැවැති සාකච්ඡා සාර්ථක වූ බව හෙතෙම කීවේය.