ණය බරින් පිරී ඇති හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ වැනි ව්‍යාපෘති එම ණය සමගම භාර ගැනීමට චීන සමාගම් කැමැත්තෙන් සිටින බවත්, චීන සමාගම් වෙනුවෙන් එම ප්‍රදේශයේ අක්කර දහසක් වෙන් කළ බවද චීන කර්මාන්ත කලාපයක් බවට එම ප්‍රදේශය පත් කරන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10 දා) ප්‍රකාශ කළේය.
චීන නිල සංචාරය නිමවා මෙරටට පැමිණි අගමැතිවරයා සිය සංචාරයේ ප්‍රගතිය දැනුම් දීම සඳහා අරලියගහ මැඳුරේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී එසේ කීවේය.
හම්බන්තොට වරාය දෙවැනි අදියර යටතේ අවශ්‍ය නම් පිරිපහදුවක් ගෙන ඒමත් මත්තල ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමත් කළ යුතු බව කී අගමැතිවරයා, ශ්‍රී ලංකාවේ අයට එය කළ නොහැකි බවද චීන සමාගම් මේවා භාර ගැනීමට කැමැති බවද කීවේය.
එම සමාගම් ගුවන් යානා සහ නැව් ගෙන ඒමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව අගමැතිවරයා කීය.
චීන ණය උගුලේ ප්‍රතිඵල :
ණය බර ඉතා අධික බව කී අගමැතිවරයා, මෙම ණය ගෙවනවා නම් දරුවන්ගේ දරුවන්ටද ජීවිත කාලයම ඒ සඳහා ගත වනු ඇතැයි ප්‍රකාශ කළේය.
ණය සමග මෙම ඇතැම් ආයතන භාර ගැනීමට චීන සමාගම් කැමැති බැවින් ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇතැයිද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
පසුගිය රාජපක්ෂ සමයේ දී සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් සිදු කරන ලද ආදායම් නූපදින අර්ථ ශුන්‍ය මහා පරිමාණ ව්‍යාපෘති හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට ගොදුරු වී ඇති ණය උගුලෙන් ගැලවීම සඳහා එම ව්‍යාපෘති එම ණය හිමියන් වෙතටම පවරා දීමේ සූදානමක් පවතින බව සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබිණ.
ජාතික ආරක්ෂාව ?
මෙලෙස ණය වත්කම් ලෙස පැවරීම ලෝකයේ පිළිගත් ක්‍රමවේදයක් වුවත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් හා ජාත්‍යන්තර වරායක් ලෝකයේ කිසිදු රටක් විසින් තවත් රටකට පැවරීමක් ගැන අසන්නට නොලැබෙන බවද පෙන්වා දී තිබු එම පුවත්පත, වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබිණ.
”විශේෂයෙන්ම එය රටක ජාතික ආරක්ෂාව කෙරෙහි බරපතළ ලෙස බලපානු ලැබිය හැකිය.
පසුගිය සමයේ දී ඇවන්ගාර්ඞ් පාවෙන අවි ගබඩාව තුළ විදේශ අවි ආයුධ තබාගෙන තිබීම ද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලූ ඇති කරන බව ආණ්ඩුවේ ප්‍රධානීන් විසින් පෙන්වා දෙනු ලැබීය.
එම තත්ත්වය තුළ ගුවන් තොටුපොළක් හා වරායක් විදේශ රටකට පැවරීම කිසිසේත් සුළුවෙන් තැකිය හැකි නොවේ. ”
(slmirror)