විවාදයට තුඩු දී ඇති වත්මන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය යම් හෙයකින් දීර්ඝ කරනු නොලැබුවහොත් මීළඟ මහ බැංකු අධිපති ලෙස පත්කිරීම සඳහා ආර්ථික විද්‍යාඥයන් දෙදෙනකුගේ නම් යෝජනා වී තිබෙන බව වාර්තා වෙයි.
ඉන් පළමුවැන්නා වන්නේ ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතාය. හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයකු වන ඒ මහතාට 2015 ජනවාරි 8 දේශපාලන වෙනසෙන් පසු මහ බැංකු අධිපති ධුරය භාරගන්නා ලෙස ඇරියුම් කරනු ලැබූවත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. පසුගිය කාලය පුරාම මහ බැංකුවේ කටයුතු හා රටේ මූල්‍ය තත්ත්වය ගැන විවේචනාත්මක අදහස් දැක්වූ විජේවර්ධන මහතා මූල්‍ය ක්ෂේත්රයේ නිපුණයකු ලෙස සැලකෙයි.
මහ බැංකු අධිපති ධුරය සඳහා නම් යෝජනා වී ඇති අනෙක් තැනැත්තා මහාචාර්ය ලලිත් සමරකෝන්ය. ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ඇමරිකාවේ මිනසෝටා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධුරයක් දරන ඔහු ලෝක බැංකුවේ හා ආසියානු සංවර්ධන බැංකුවේ ලංකාවේ කටයුතු පිළිබඳ උපදේශකයකු ලෙසද කටයුතු කරයි. ආසියානු සංවර්ධන බැංකුව යටතේ ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය සඳහා පසුබිම් වාර්තාවක් සැපයීමට මහාචාර්ය සමරකෝන් මේ දිනවල දිවයිනට පැමිණ සිටියි.
මීටත් අමතරව ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකුගේ නමද මහ බැංකු අධිපති ධුරය සම්බන්ධයෙන් කියැවෙයි. ආර්ථික කටයුතු සම්බන්ධ ඉහළ දැනුමක් හා ජනප්‍රියතාවක් හිමිකරගෙන සිටින මේ නියෝජ්‍ය ඇමතිවරයා අවස්ථාව ලදහොත් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී මහ බැංකු අධිපති ධුරය භාරගැනීමට සූදානම්ව සිටින බවද රාවයට වාර්තා වෙයි. මේ අතර, අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීම තාවකාලිකව නතර කර එම තනතුරේ වැඩ බැලීම සඳහා අයකු පත්කිරීමට ආණ්ඩුවේ සූදානමක් ඇතැ’යිද වෙනත් ආරංචි මාර්ග කියයි. ඔහුගේ පාලන කාලය තුළ සිදුවූවායැ’යි කියන අක්‍රමිකතා පිළිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව මේ වනවිට පරීක්ෂණයක් පවත්වන අතර එහි නිර්දේශ නිකුත් වූ පසු ඒ ගැන සලකා බලා මහේන්ද්‍රන් මහතා නැවත එම ධුරයට පත්කිරීම පිළිබඳ තීරණය ගැනීමට ආණ්ඩුවේ සූදානමක් පවතින බවද එම ආරංචි මාර්ග කියයි.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බැවින් ඔහුට ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති ධුරය දැරීමට සුදුසුකම් නැති බවට වූ ආඥාවක් ඉල්ලා මේ වනවිට කැෆේ සංවිධානය අභියාචනාධිකරණයට පෙත්සමක්ද ඉදිරිපත් කර ඇත.
රාවය