මගේ දැක්මට අනුව නිදහසින් පසු යුගයේදී බොහෝ විට දේශපාලනය සඳහා තුරුම්පුවක් ලෙසයි ආර්ථිකය භාවිත කෙරුණේ. මා මෙය කිසියම් රජයකට හෝ පක්ෂයකට කරන චෝදනාවක් නොවෙයි..නිදහසින් පසු යුගයේ බොහෝ විට මෙය සිදුවුණා.” යයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසිය.
අද (04) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැවති උත්සවයේදී එසේ පැවසු කුමාරස්වාමි මහතා, ශ්‍රී ලංකාව ඉහළ ස්ථානයකට ඔසවා තැබීම සඳහා තමන් මෙම ධුරයේ නොබියව සහ අවංකව කටයුතු කරන බව අවධාරණය කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව විදිහට අපේ කාර්යය වන්නේ දේශපාලනය හොඳින් කිරීමටනම් පළමුව හොඳ ආර්ථිකයක් ඇතිකළ යුතු බව දේශපාලඥයන්ට පෙන්වා දීම යයි ද හෙතෙම කියා සිටියේය.
”ආර්ථිකයේ කෘතිම පිම්බීම් ඇති කිරීම වැනි වැරදි ආර්ථික උපායමාර්ගවලින් අප වැලකිය යුතුයි. තාක්ෂණික නිවැරැදි අරමුණ කරාම එල්ල වුණු තීරණ අප ගත යුතු වනවා. එයින් අදහස් වන්නේ නැහැ රජය විවේචනය කළ යුතු බව. ඒක අපේ කාර්යයක් නෙවෙයි. ඒත් අප ස්වාධීනව ක්‍රියා කළ යුතුයි”.
හෙතෙම පැවසිය.
ජනපති හා ඇගමැති කිවූ රහසක් :
ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ලැබුනු මගපෙන්වීම් පිළිබඳවද ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙහිදී සිහිපත් කළේය.
“මම ජනාධිපතිවරයා මුණ ගැසුනු වේලාවේ ඔහු මට එක දෙයක් කිවුවා. ඔහු කිවුවා ඔබේ රාජකාරිය කෙලින් ඉටු කරන්න. කිසිවෙකුට බිය වෙන්න එපා. මගේ ඕනෑකමත් ජනාධිපතිවරයා ලබාදුන් මෙම උපදේශය අනුව රාජකාරී කිරීමටයි.
මම අග්‍රාමාත්‍යවරයාත් මුණ ගැසුනා. ශ්‍රී ලංකාව ගෙන යායුතු ස්ථානය පිළිබඳ ඔහුගේ දැක්ම ඔහු මට එදා පැහැදිලි ලෙස විස්තර කළා. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවට විශාල වැඩ කොටසක් පැවරී තිබෙනවා. අප අසමත් වුණොත් අපට පැවරී ඇති ඒ වගකීම් අප නිසිලෙසම ඉටු නොකලොත් වෙනත් කිසිවක් ඉටු කිරීමටද හැකි වන්නේ නැහැ. ඉතින් අපේ වගකීම පැවරී ඇති වැඩ කොටස ඉතාම හොදින් ඉටු කිරීමයි”.
දේශපාලනය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර පැවතිය යුතු සම්බන්ධය පිළිබඳවද මෙහිදී අදහස් පළ කළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීනව කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නේය.
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වන අධිපතිවරයාය. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසු එම ධුරය සඳහා ඔහු පත් කෙරින.