• Tue. Feb 7th, 2023

බ්ලූ මවුන්ටන් සමාගමෙන් ජාත්‍යන්තරයට ගිය වෛද්‍ය ව්‍යවසායකයා.

BySandun

Jul 16, 2016

තාරුණ්‍ය කෙතරම් විශිෂ්ට ද යන්න ප්‍රායෝගිකත්වයෙන්ම ඔප්පු කර පෙන්වූ ඔහු වෛද්‍ය හිරණ්‍ය හෙට්ටිආරච්චි ය. එහෙත් වැඩි දෙනෙකු ඔහු අමතන්නේ “හිරාන්” නමිනි. ඔහුගේ නාමයටත් වඩා අද ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ද ප්‍රකටව ඇත්තේ ඔහු විසින් බිහි කරන ලද බ්ලූ මවුන්ටන් සමාගමය. ශාඛා සමූහයකින් යුතු එය මහා පරිමාණ දේපල සංවර්ධන හා අධි සුඛෝපභෝගී මන්දිර ඉදිකිරීමේ සමාගමකි. ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ඉදි කෙරුණු ළඟදීම විවෘත කෙරෙන තරු හතේ අධි සුඛෝපභෝගී මන්දිර සමූහයේ හිමිකාරිත්වය සතු වන්නේ ද මේ බ්ලූ මවුන්ටන් සමාගමටය. ලොව නවීනතම තාක්ෂණය සහ ගෘහ නිර්මාණ ශිල්පී රිද්මයට අනුව ඉදිකෙරෙන නිර්මාණ රැසක නිමැවුම්කාරිත්වය දරන මේ බ්ලූ මවුන්න් යනු විදේශීය සමාගමක් නොවේ. එහි නිර්මාතෘවරයා වන්නේ මේ වෛද්‍ය හිරණ්‍ය හෙට්ටිආරච්චි ය. තාරුණ්‍යයේදීම ජීවිතය විශිෂ්ටත්වයට පත්කර ගත් ඔහුගේ ජීවිතයේ කතාවයි මේ.

565

● වෛද්‍යවරයකු වන ඔබගේ පරපුර ගැන මුලින්ම සඳහන් කළොත්?
මගේ උපන්ගම කඩවත. අපේ සීයා එච්.ජේ. ලෝගුස්. ඔහු ව්‍යාපාර සමූහයක් පවත්වාගෙන ගිය පළාතේ ප්‍රකට චරිතයක් වුණා. අප පදිංචිව සිටින මාවතට එදා විදුලිය පවා ලබා දීමට මුල් වුණේ සීයාගේ ධන පරිත්‍යාගයෙන්.

 
● ඒ ආභාෂය ඇතිවද ඔබ ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමු වුණේ.
සීයාගේ හදිසි අභාවයෙන් පසුව ඒ ව්‍යාපාරික කටයුතු පැවැරුණේ අපේ තාත්තා හටයි. හැබැයි තාන්තා ඉගෙන ගෙන තිබුණෙ ජීව විද්‍යා අංශයෙන්. එනිසා එම පසුබිම මත තාත්තා ව්‍යාපාර මෙහෙයවනවාට වඩා ඒවා බදු පදනම ආදී වශයෙන් වෙනත් අයට ලබාදී එම ව්‍යාපාර පවත්වාගෙන ගියා. මට ව්‍යාපාර කිරීමේ අරමුණක් එවකට තිබුණෙ නැහැ. අපේ අම්මා නීතිඥවරියක්. අම්මා හට මම ව්‍යාපාර කරනවාට කැමැත්තක් තිබුණෙ නැහැ. අම්මට අවශ්‍ය වුණේ මමයි මල්ලිලා දෙන්නයි විවිධ අංශවල වෘත්තීයවේදීන් වනවාටයි. ඒ වගේම අම්මා අපෙන් පොරොන්දුවක් ලබාගෙන තිබුණා.

 
● ඒ මොනවගේ පොරොන්දුවක්ද?
කවදාවත් දේශපාලනයට යන්න එපා කියා. ඒ වගේම කවදාවත් කාගේවත් සතයක්වත් වංචා කරන්න හෝ හොරකම් කරන්න හෝ එපා කියන එක. එවැනි පසුබිමක් යටතේ තමයි හැදී වැඩුණේ.

 

6
● පාසල් අධ්‍යාපනය ලැබුවේ.
කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරවීම මාපියන්ගෙ අරමුණ වුණත් පාසල් ගමන මට පටන් ගන්න වුණේ කොළඹ වෙස්ලි විදුහලින්. ඉන්පසුව පහ වසර ශිෂ්‍යත්වය සමත් වී කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට ඇතුළත් වුණා.
එහිදී ගරු විදුහල්පති වූ ආර්.අයි.ටී. අලස් සර් යටතේ දේශ හිතෛෂී ආගම දහමට ළැදි පරමාදර්ශී ආභාෂය ලබා ගත හැකි වුණා.

 
● ළමා කාලය ගෙවුණේ කොහොමද? ඒ කාලයේ දී දැනුණු හැඟුණු දේ මොනවගේද?
ළමා කාලයේ දී මම හරිම වාසනාවන්ත වුණා. අපි ජීවත්වූ පරිසරයේ පොල්ගස් සහ විවිධ ගස් වර්ග තිබුණා. නිවාඩු කාලයට අපි අපේ වතුවලට ගියාම ඒවයේ තිබෙන ගස් වර්ග ගැන තාත්තා අපට කියා දුන්නා. පරිසරයේ සුන්දරත්වය වගේම කුරුල්ලන් ගැනත් සතුන් ගැනත් තාත්තා කියා දුන්නා. වතුවල සේවය කළ අයගේ දරුවන් සමග එක්ව සෙල්ලම් කරන්න වගේම ඔවුන් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න ඉඩ හැරියා. සහතිකෙන්ම එය අතිශය සුන්දර ළමා අවදියක් වුණා. අත්දැකීම් සම්භාරයක් ලද අවදියක් කිව්වොත් හරි. හැබැයි අම්මා නීතිඥවරියක වූ නිසා දැඩි නීති රීති පද්ධතියක් පනවා තිබුණා.

 
● මොනවද ඒ කාලයේ දී ඔබට තිබුණු අරමුණු?
ළමා කාලයේ දී විශේෂ අරමුණු තිබුණෙ නැහැ. නමුත් බොහෝ දේ ගැන අත්හදා බැලීමේ පරීක්ෂණ කිරීමේ නිර්මාණ කිරීමේ නිගමන කිරීමේ පිපාසයක් තිබුණා. එක එක කාලයට එක එක ආසාවන් තිබුණා. මල් ගැන පරීක්ෂණ කළා. තව කාලයක් ඉබ්බන් ගැන සොයන්න උනන්දු වුණා. තව කාලයක ඇන්ටනා ගැන උනන්දුවෙන් ඒවා නිර්මාණය කරන්න උත්සාහ කළා. එතකොට ඔභඛ සේවයවත් පටන්ගෙන තිබුණෙ නැහැ. තවත් කාලයකට පසුව පැරබොලික් ඇන්ටෙනා හදන්නත් ඉගෙන ගන්න ඕනෑ වුණා. රුසියාවේ චැනල් වගේම “දූරදර්ශන්” පවා අල්ලා ගන්න ඒ නිසා පුළුවන් වුණා. තව කාලයක දී නයිට් රයිඩර් පරිපථ හැදුවා. අපේ වත්තෙ පොල් හොරු කඩනවා. හොරු අල්ලන්න සංඥා ක්‍රමයක් හදා ගත්තා. මේ වගේ බොහෝ දේ කළා. යම් යම් දේ හදා ගන්න තාත්තා මුදලින් උදව් එහෙමත් කළා. හැබැයි අම්මාට හොරෙන්. නිර්මාණ වැඩ කරද්දී අපේ වත්තෙ හිටපු සේවක යුවළකගෙ පුතා ඒවා නිර්මාණයට මා එක්ක එකතු වුණා. එයාගෙ නම රුවන්. අදටත් අපි එක්ක එයා සේවය කරනවා.

 
● ඒ බොහෝ ක්‍රියාකාරකම් යටතේ ඉගෙනීම හරියට කළා ද?
ඇත්ත වශයෙන්ම කිව්වොත් මට පළමුවැනි පංතියට යන්න ලැබුණෙ නැහැ. මාව රෝයල් එකට දාන්න හිටපු නිසා එය මග හැරී තිබුණා. වෙස්ලි විද්‍යාලයට ඇතුළත් වුණේ දෙවැනි වසරේ සිටයි. නමුත් කිසිදු අඩුවක් නොකර පළමු පංතියේ වැඩ ඔක්කොම අම්මා ගෙදරදී කළා. දෙක වසරට ගියාම දාහට ලියන්න කියන්න අවශ්‍ය නම් මම ලක්ෂය දක්වා එය කළා. රචනාව පේලි දහයක් නම් මම එය පොතක් තරමට කළා. ටීචර්ස්ලා මාව ගෙනිහින් අනෙක් ටීචර්ස්ලාට පෙන්නුවා. බලන්නකෝ මේ ළමයා ගැන තමයි අපි කිව්වෙ කියලා. බැලින්නම් මේකට හේතුව එක වසරට වුණත් අම්මා හතර වසර දක්වා තරමට මට උගන්වලා තිබීමයි. අම්මා ආදරේට වැඩි මාත්‍රාව මට දීලා. අම්මගෙ ආදරය නිසාම එය පත්තියන් වෙලා. මේ නිසා පාසලේ දී ගුරුවරු අතර වඩා පිළිගැනීමට ලක්වූ නිසාම නිතරම පංතියේ නායකත්වය ගන්න වගේම පළවැනියා වීමේ අදහස නිරන්තරයෙන් ඇති වුණා. මාව නිතරම ආදර්ශයට ගත් නිසා මම ඉගෙනීමට තදබල ලෙස ඇබ්බැහි වුණා.

 
● මොන වගේ තනතුරකට යනවාය කියන අදහසද ඇතිවුණේ?
ඇන්ටෙනා එහෙම හදලා තවත් පරීක්ෂණ එහෙම කරල තිබුණ නිසා ඉංජිනේරුවකු වෙන්න හිතුවා. නමුත් දෙක තුන වසරවලදී ලොකු හිතක් තිබුණෙ නැහැ. ඒත් ඉගෙනීම කියන දේට දැඩි ලෙස ඇබ්බැහි වී සිටීම නිසාත් ගුරුවරුන්ගෙන් නිතර පැසසුම් ලැබූ නිසාත් පංතියේ පළමුවැනියා වීම වගේම නිතර නායකත්වය කෙරෙහි උනන්දු වුණා. බෞද්ධ දර්ශනයත් කුඩා කල සිටම ජීවිතයට සමීපව තිබීම නිසා මිනිසුන්ට උදව් කිරීමේ නොතිත් ආසාව හිතට දැනුණා. නමුත් පුංචි වයසට එය එතරම් තේරුණේ නැහැ. වෛද්‍යවරයකු කියන්නෙ දෙවියකු වගේ කෙනෙක් යන ආකල්පය නිසා ගෙදරිනුත් ඒ ගැන කියා තිබුණ නිසා පසුකාලීනව වෛද්‍යවරයකු වීම අරමුණ වුණා.

 
● ඩී.එස්. එකෙන් සමාජගත වුණේ මොන විදියටද?
සාමාන්‍ය පෙළ ඩී. 8 ගැනීමෙන් පසුව උසස් පෙළ ඒ හතර ප්‍රධාන අරමුණ වුණා. ඒ හතර ගත්ත සිසුන් පාසල පිළිගත්තෙ ට්‍රම්පට් එහෙම ගහලා වීරයන් ලෙසයි. ඒ ගරු බුහුමන ලබන්න ඇත්නම් කියන සිහිනය තිබුණා. ඒ විතරක් නෙවෙයි ලංකාවෙන්ම පළමුවැනියා වීමේ අරමුණත් තිබුණා.

 
● නිතරම පළමුවැනියා කියනදේ ඔබගේ හිතට ආවේ කොහොමද?
තව කෙනෙක් අබිබවා පැරදවීමට වඩා ඉහළින්ම ඉදිරිපත්වීමේ ආසාව තිබුණෙ. කුඩා කල සිටම අධ්‍යාපනයෙන් ඉහළ ලකුණු ලැබීම නිසාත් මාපිය ගුරුවරුන්ගේ ඇගැයීමට නිතර පත්වූ නිසාත් එය ආත්මය හා බද්ධවී තිබුණා. වෙස්ලි එකෙන් ඩී.එස්. එකට ගියාමත් ලැබුණු ප්‍රතිචාර නිසා මම කැපී පෙනුණ චරිතයක් වුණා.

 

09_PAGE_4_T

● උසස් පෙළ ඒ හතර අරගෙන ලංකාවේ පළමුවැනියා වීමේ සිහිනය ඉටුකර ගත හැකි වුණාද?
උසස් පෙළට විටෙක මම පාඩම් කළේ අමුතු විදියකටයි. භෞතික විද්‍යාව ගැන අසම්මතයකට හිතන අතරේ ජීව විද්‍යා විෂයයන් කට පාඩම් කළා. නමුත් එය උපරිමයට කරන්න ගිය නිසා සිලබස් එක ආවරණය කරන්න බැරි වුණා. අවසන ලංකාවේ ප්‍රථමයා වෙන්න හිතපු මට ලකුණු හතරක් විතර අඩුවූ නිසා වෛද්‍ය විද්‍යාලයට යන්නත් බැරි වුණා. පංතියේ පළමුවැනියා වූ මට එහෙම වුණාට. ඊට පහළ අගයන් ගත් ශිෂ්‍යයන් කැම්පස් තේරුණා. ඒක මොන අවමානයක්ද කියලා මට හිතුණා.

 
● ගෙදර අය මොනවද කිව්වේ.
අපෙ අම්මා ශ්‍රේෂ්ඨ චරිතයක්. ඕනෑම කෙනෙක් වැටෙනවා. ඒත් වැටිලා ඉක්මනට නැගිටින කෙනා තමයි දිනන්නෙ කියලා අම්මා කියාදී තිබුණා. මාත් කොහොම හරි හිත හදා ගත්තා. වැටුණෙ නැහැ. හැබැයි ඉතින් ලැජ්ජාව හිත ඇතුළෙ තිබුණා.

 
● ඊළඟට මොනවද කළේ?
දෙවැනි සැරේ ඒ ලෙවල් කරලා ලංකාවෙන්ම පළමුවැනියා වූ කෙනෙක් ඉන්නවද කියලා හොයලා බැලුවා. ඒත් කවුරුවත් හිටියෙ නැහැ. ඔන්න මට ලංකාවෙන්ම පළමුවැනියා වෙන්න තවත් අවස්ථාවක් කියලා හිතුවා. එහෙම හිතාගෙන විභාගයට මුහුණ දුන්නා. ඒත් කොළඹින් 26 වැනි තැනට තේරී ඒ 3 සහ බී 1 සමග කොළඹ වෛද්‍ය විද්‍යාලයට තේරුණා. ලංකාවෙ හොඳම 100 අතර සිටි නිසා ශිෂ්‍යත්වයකුත් ලැබුණා.

 
● පොතට විතරමද ඔබ ඒ දක්වා ජීවිතය කැප කරලා තිබුණෙ.
අපොයි නැහැ. පාසලේදී ටෙනිස්, බැඞ්මින්ටන් එහෙම කළා. නමුත් අපේ පාසලේ ස්වභාවය වුණේ ඉගෙන ගන්න අය ඉහළටම ඉගෙන ගැනීම සහ ක්‍රීඩා කළ අය ජාතික තලයටම යාමයි. අධ්‍යාපනය නිසා ක්‍රීඩාවට වැඩි කාලයක් යෙදවීමට බැරි වුණා. අධ්‍යාපනය කියනදේ ජීවිතයේ රිද්මය වුණා.

 
● වෛද්‍ය විද්‍යාලයේ දී කටයුතු කළේ මොන විදියටද?
වෛද්‍ය විද්‍යාලයට තේරීමෙන් පසුව වසර එකහමාරක විතර කාලයක් අපට බලා සිටීමට සිදුවුණා. ඒ කාලය එළැඹෙන තෙක් සමහර යාළුවො විවිධ රැකියා කරන්න පටන්  ගත්තා. මාත් සිස්ටම් එකක් හදාගෙන ව්‍යාපාරයක් පටන් ගෙන එයින් මහපරිමාණයෙන් ගෙදරට උදව් කරන්න ඕනෑ කියලත් හිතුවා. ඒත් අපට තැන්පතු ලෙස දාලා තිබුණු සල්ලි අම්මා දෙන්න අකමැති වුණා. ඒ නිසා බිංදුවෙන් ආයෝජනය කරලා කළ හැකි දේ ගැන ඊළඟට විමසිලිමත් වුණා.

 
● එහෙම හිතලා මොනවද කළේ?
මේ කාලයේ දී පුද්ගලික මාධ්‍ය ජාලයට ප්‍රවාහන පහසුකම් සැපයීමේ අවකාශය තිබුණා. මේ ආරංචිය දැන ගත්තාම මම මැනේජර් චරිතයට වයසින් මුහුකුරා ගිය කෙනෙකුත් බඳවා ගෙන එම ආයතනයට ගියා. වාහන එකක්වත් තිබුණෙ නැහැ. ඒත් වාහන සොයන හැටි මම දැනගෙන හිටියා. අවුරුදු විසි දෙකක් විතර වෙච්ච මට මාස කීපයකින් රියැදුරු මහත්තුරු පනහක් හැටක් සිටින ආයතනයක් බවට මගේ ව්‍යාපාරය දියුණු කරගත හැකි වුණා. වාහන වගේම තෙල් ගැසීම සියල්ල වාහනය අයිති අය සතු වුණා. මට වාහනයෙන් කිලෝමීටරයට රුපියල් දෙකක් විතර ලැබුණා. පසුව මහජන බැංකුව ඇතුළු තවත් ආයතනවලට මේවා සපයන්න පටන් ගත්තා. ඒ වැඬේදී ඇත්තටම සංකල්පය තමයි වැදගත් වුණේ.

 
● මේ වන විට ප්‍රේමයක් එහෙම තිබුණෙ නැද්ද?
තාරුණ්‍යයට ප්‍රේමය සමීප දෙයක් බව සැබෑව. ඒත් උසස් පෙළට ලියන තෙක් ප්‍රේමයක පැටලෙන්නෙ නැහැ කියන ප්‍රතිපත්තිය දැරුවා. කවදාහරි මම විවාහ වෙන්නෙත් හොඳම කෙනා එක්කයි කියලා විශ්වාස කළා. කාලය ගෙවී ගොස් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූ සමයේ එක්තරා දිනෙක අපට අවශ්‍ය පොත් මිලදි ගැනීමක් ගැන මගේ මිතුරකු පවසා සිටියා. විශාල මුදලක් වැය වෙන නමුත් වට්ටමකට ඒවා ලබා ගැනීමට එක් ශිෂ්‍යාවක කටයුතු කර තිබුණා. මේ පොත් වැඩෙන් පසුව මට මේ වෛද්‍ය ශිෂ්‍යාව ගැන හිතක් ඇතිවූ බව මගේ යටි සිත මිමිණුවා. කාලය තවදුරටත් ගෙවී යද්දී අපි අතර ඇති යාළුකම තව එක පියවරක් ඉස්සරහට අරන් යන්න පුළුවන්ද කියලා මට ඇයගෙන් අහන්න හිතුණා. කාලය ගෙවී යද්දී කාලයට තවත් ඉඩදී නොසිට ඒ අදහස මම ඇයට යොමු කළා. ඇයගෙන් ඊට ලැබුණෙ සුබවාදී පිළිතුරක්. ඒ මිත්‍රත්වයට එහා ගිය යාළුකම වසර දහයක් දක්වා අඛණ්ඩව පැවතුණා. මම ජීවිතයට හොයන හොඳම කෙනා ඇයම බව ඒ ගෙවී ගිය කාලයේදී පසක් වුණා. මම මගේ ජීවිතයට හොයන්නෙ හොඳම කෙනා බව ඇයට කිව්වා. ඇත්තටම ඇයට කිට්ටු කරන්න තවත් කවුරුවත් නැතැයි විශ්වාස කළා. ඒ සිතිවිල්ල වඩාත් නිවැරදියි. ඇය තමයි මගේ බිරිඳ වුණේ. ඇයත් වෛද්‍යවරියක්.

 
● වෛද්‍ය ජීවිතය පටන් ගත්තෙ කොහොමද?
වෛද්‍යවරයකු ලෙස එළියට ගියේ රටේ හොඳම වෛද්‍යවරයා වගේම හොඳම ව්‍යවසායකයකු වනවා කියා හිතාගෙනයි. මාව යොමු වුණේ ද සොයිසා රෝහලේ නාරි හා ප්‍රසව අංශයේ මහාචාර්ය වාට්ටුවකටයි. ඉතා බැරෑරුම් සහගත දේ සිදුවණ වාට්ටුවක්. සීසර් සැත්කම් කිරීම ගැන හොඳට දැන ගැනීමට කාලයක් ගත වුණා. පසුව එය හොඳින් කරන්න පටන් ගත්තා. එය ඉතා අගනා සේවයක් හා වගකීමක් ලෙස හිතාගෙන දිවා රාත්‍රී නොබලා සේවය කළා. ලෙඩුන්ට අවශ්‍ය අවස්ථාවලදී මගේ දුරකථනයෙන් ඇමතුම් පවා ලබා දුන්නා. මට හරියට කෑමටවත් වෙලාවක් තිබුණෙ නැහැ. ඊට වඩා ජීවිත ලොකු වුණා. අන්තිමට කිලෝ 9 ක් විතර බර අඩු වුණා. මහාචාර්ය රන්දෙනි හමුවී මේ ගැන කීවාම “පුතා ඔයාට මේ වාට්ටුවෙ සිට මේ කැප කිරීම කරන්න පුළුවන් නම් අනාගතයේ ඕනෑම දෙයක් ජයගන්න පුළුවන් වේවි” කිව්වා. මම එය කළා. මම වයසින් බාල වුණත් රෝහලෙන් පිටව යන විට සමහර මිනිස්සු මට වැඳලා ගියේ. වෛද්‍ය වෘත්තියේ උපරිමය කරන්න උත්සාහ කළා. ඒක ඔවුනට දැනෙන්න ඇති.

 
● ඒ විදියට හිත හොඳ දොස්තර කෙනෙක් වූ ඔබ බ්ලූ මවුන්ටන් සමාගම පටන් ගත්තෙ කොහොමද?
මුලින් මම කළ ප්‍රවාහන ව්‍යාපාරයට අනුබද්ධව ඉඩමක් දෙකක් මිලදී ගෙන ඒවා අරන් දාලා තිබුණා. හොඳම ව්‍යවසායකයා වීමේ සිහිනය යටි හිතේ තිබුණා. එයින් කිසි විටෙකත් ඈත් වුණේ නැහැ. කඩවත තිබූ ඉඩමක් මුලින්ම මට විකුණන්න පුළුවන් වුණා. නමගිය සමාගමකටවත් බැරිවූ දේ කළාම මට ලොකු ගැම්මක් ආවේ. ඔය විදියට යද්දි තමයි බ්ලූ මවුන්ටන් ආයතනය පටන් ගන්න අත්තිවාරම වැටුණෙ. මගේ හිතවතෙකු වූ චන්දිත හා මිතුරියක වූ රිද්මා සහ මගේ බිරිඳ මුල්වී අපි මෙය පටන් ගත්තෙ 2010 ජනවාරි 1 වැනිදා.

 
● බ්ලූ මවුන්ටන් කියන නම යොදා ගත්තෙ කොහොමද? 
නම යොදා ගැනීමේ සිට මේ කිසි දෙයක් අහම්බයක් නොවෙයි. ආකෘතිය සහ යා යුතු ඉලක්කය ගැනත් මම සැලසුම් ආරම්භ කර තිබුණෙ. ඒ අතරේ ඵඊ් එකත් කළා. ඒකත් න්‍යාය විතරයි. ප්‍රායෝගික නැහැ. මම ප්‍රායෝගිකත්වය සොයා වෙහෙසුණා. ව්‍යාපාර ක්‍රමවේද සම්බන්ධයෙන් නව සොයාගැනීම් කිරීමටත් වෙහෙසුණා. මගේ ආත්මයේ තිබූ සියල්ල ඊට මුසු කළ බව කියන්න පුළුවනි. දවසක් මම හිතවත් කීප දෙනෙකු වෙත නම් කීපයක් ඉදිරිපත් කළා. මට අවශ්‍ය වුණේ ජාත්‍යන්තරයට යන නමක්. වැඩි දෙනා කැමැති වුණේ මේ නමටයි. බ්ලූ නැත්නම් නිල් යනු නිල් පාට විතරක් නෙවෙයි. සිංහලයේ බොහෝ අරුත් ඊට තිබෙනවා. මෙය අපේ අන්තර්ජාතික ගමනට හොඳට පෑහුණා.

 
● 2010 ඒ විදියට පටන් ගත්ත බ්ලූ මවුන්ටන් ඉතා කෙටි කාලයක දී ජාත්‍යන්තරය දක්වා ගිය රහස මොකක්ද?
යෝධ බෝංචි ඇටයක් පැළ කළොත් ප්‍රතිඵලය මොකක්ද? අපි පැළ කළේ යෝධ බීජයක්. පටන් ගත්ත දවසෙම මම කිව්වෙ මේක ලංකාවේ අංක එක කරමු කියලයි. ඉන්පසු ජාත්‍යන්තරයට යමු කියලයි. රටේ ආර්ථික අවපාතයක් තිබුණු කාලයකදී තමයි අපි සමාගම ආරම්භ කළේ. එහිදිත් න්‍යායන් අනුගමනය කරමින් ඉතා අඩු ලාභයක් තබාගෙන දේපළ අලෙවිය සිදුවුණා. ඉඩමක් අරගෙන එය නිකම්ම කොටස් කර අලෙවි කළේ නැහැ. අපි ඒ ඉඩම් සංවර්ධනය කළා. කවුරුන් හෝ ඉඩමක් මිලදී ගන්නෙ නිවසක් හදාගෙන ජීවිත කාලයටම ජීවත්වීමේ අරමුණින්. ඒ හැරත් ඒ වෙනුවෙන් මුදල් හොයා ගන්නෙත් අමාරුවෙන්. ඒ නිසා ඒ මිනිසුන්ගෙ ජීවිතවලට වටිනාකමක් දීම අපේ පරමාර්ථය වුණා. අපි ඉඩම් සංවර්ධනය කරලා හරියට කානු බැඳලා සමහර ඉඩම්වල පිහිනුම් තටාක මෙන්ම ඇවිදීමේ මං තීරු පවා තැනුවා. කෝටියක් ලාභ බලාපොරොත්තුව මිනිසුන්ට අහිතකර දේ අපි කළේ නැහැ. සම්මා ආජීව පරමාර්ථය කොට හෘද සාක්ෂියට එකඟව තමයි සියල්ල කළේ.

 
● ඕස්ටේ්‍රලියාව වගේ රටක වීසා ගැනීම පවා ශ්‍රී ලාංකිකයන්ට අසීරු කරුණක්. එවැනි පසුබිමක බ්ලූ මවුන්ටන් එරටදී මේ ව්‍යාපාරය ආරම්භ කළේ කොහොමද?
ඕස්ටේ්‍රලියාව යනු අපේ ව්‍යාපාර කටයුතුවලට එක් සන්ධිස්ථානයක් විතරයි. ලෝකයේ අනෙකුත් දියුණු සියලු රටවලට අපේ ව්‍යාපාරය ව්‍යාප්ත වේවි. ලංකාවේ අප නැහැ බැහැ කියන සංකල්පයේ සිටිය යුතු නැහැ. සුදු ජාතිකයන්ට පුළුවන් නම් ඇයි අපට බැරි. නමුත් අපේ බොහෝ විට තිබෙන්නෙ යටත් විජිතවාදී මානසිකත්වයක්. සුදු හම අපට වඩා දක්ෂයි කියන වහල් මානසිකත්වය බොහෝ දෙනාට තිබෙන්නෙ. නිදහස් දිනය කියලා සමරන එකටත් මම නම් අකමැතියි. මොකද එයින් නැවත නැවතත් සිහි ගැන්වෙන්නෙ අපි යටත් වෙලා සිටි වහල් මානසිකත්වයයි. සංකල්ප සහ ඉලක්ක මෙන්ම අරමුණු ඇත්නම් අපේ රට ලෝකයට වඩාත් සමීප කළ හැකියි. එයින් රටට රටේ ජනතාවට සේවයක් සැපයීම මගේ ඒකායන පරමාර්ථයයි.

 
● මෙවැනි දේ කිරීමෙන් ඔබට අවශ්‍ය වන්නේ තවත් බිල්ගේට්ස් කෙනෙක් වීමට ද?
බිල්ගේට්ස් ලෝක ධනවතා විය හැකියි. නමුත් ප්‍රශ්නය තිබෙන්නෙ ඔහු සතුටින් ද යන්නයි. ධනවත් බව ලෞකික සැපතක් විතරයි. හෘද සාක්ෂියට අනුව නියම සතුට දැනෙන්න නම් මිනිසුන්ට රටට යහපත් දෙයක් කළ යුතුමයි. මිනිසුන්ට උදව් කරලා ලබන සතුට තරම් හදවතට දැනෙන තවත් දෙයක් නැහැ.

 
● සැබැවින්ම මේ හැකියාව ඔබ පෙර ආත්මයෙන් ගෙන එන දෙයක් කියලද විශ්වාස කරන්නෙ?
මා විශ්වාස කරන විදියට කර්මය පහෙන් එකක් විතරයි. උට්ඨාන වීර්යය වැනි දේ මගින් කර්මය පවා වෙනස් කර ගත හැකියි. විශේෂයෙන්ම ව්‍යාපාරවලදී ඉලක්ක අවශ්‍යයි. එහිදී ලද දෙයින් සතුටු වීම යන්න ගැන හිතුවොත් ඊළඟට ප්‍රගමනයක් සිදු වෙන්නෙ නැහැ. මම තනියම නෙවෙයි මේ ව්‍යාපාරය ගොඩ නංවන්නෙ. අපේ කණ්ඩායම එක්කයි මේ කණ්ඩායම නිරෝගීව සිටිය යුතුයි. එමෙන්ම මානසිකව නිරවුල්ව සිටිය යුතුයි. විටෙක අප සීල භාවනාවේ යෙදෙන අවස්ථා ද තිබෙනවා. හැබැයි පසුදා සිට අපි අපේ ව්‍යාපාර කටයුතුවල යෙදෙන්නෙ අනාගත ඉලක්ක සපුරා ගැනීමටයි. ඒ වෙනුවෙන් ලෝකයේ බලසම්පන්න සමාගම් අනුගමනය කරන ක්‍රමෝපායයන් තාක්ෂණය සහ සම්බන්ධීකරණයන් සියල්ල සිදුවෙනවා.

 
● ඔබ තාරුණ්‍යයේදීම ජීවිතය ජය ගත්තාය කියලා හිතනවද?
ජීවිතය මහා ගංගාවක් නම්, එහි කොටසක්වත් තවම පීනලා නැහැ. මං තවම මහා දෙයක් කරලා නැහැ. මේක ලෝක කුසලානයට යන ගමනක් නම් කුසලානය ලබා ගැනීම සඳහා අපට තව කඩඉම් රැසක් පසු කළ යුතුව තිබෙනවා.

 
● ඔබ ඇත්තටම කවුද?
ගැඹුරින් බලන්න ගියොත් ඒක ටිකක් සංකීර්ණ වේවි. මම මේ ගෙවන්නෙ ලෞකික ජීවිතයයි. සුබවාදීව ජීවිතය දිහා බලන්න පුළුවනි. සමහර විට ජීවිතයේ නරක දේත් වෙන්න පුළුවනි. නමුත් ඒ නිසා ජීවිතයට සුබ වෙන්නත් පුළුවන්. වයසට ගිහින් නෙවෙයි, ජීවිතය තාරුණ්‍යයේදීම අත්විඳිය යුතු දෙයක්. නිරෝගී බව රැකගෙන මගේ රට ලෝකයට ගෙන යාම තමයි ප්‍රධාන ඉලක්කය වෙන්නෙ. අනාගත ඉලක්කය කරා යාමට අපි කායිකව සහ මානසිකව සැහැල්ලු විය යුතුයි.

 
● වෛද්‍යවරයකුට එහා ගිය මහාචාර්ය දැනුමක් ඔබට තිබෙන්නෙ කිව්වොත්?
ජීවිතයේ මම නිතරම ඉගෙන ගන්න කෙනෙක්. ඒකට මම ආසයි. වචනයෙන් පණ්ඩිතයෙකු නොවී භාවිතයේ දී වඩා ප්‍රායෝගික වීමට මම කැමැතියි. තව කෙනෙකුට කළ නොහැකි දෙයක් කරලා වඩාත් ප්‍රායෝගික වීම තමයි මගේ පරමාර්ථය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *