වැට් බදු සංශෝධන පනත සම්බන්ධව ශේර්ෂ්ඨාධිකරණයට නැවත නඩුවක් ගොනු කිරීම හේතුවෙන් ශේර්ෂ්ඨාධිකරණය විසින් කැඳවීමක් කරන තෙක් එම සංශෝධන පනත නියමිත පරිදි මේ මස 20 වැනි දිනට ඉදිරිපත් කිරීමට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
සංශෝධනය ඉදිරිපත් කරන තෙක් තිබෙන කාලසීමාවේදී වැට් බදු සංශෝධන පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වන බවත් ජනතාවගේ ජන ජීවිතයට දැඩි ලෙස පීඩා සිදුවන අංශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමු කරන බවත් ඊයේ (14දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
මේ අනුව පෞද්ගලික රෝහල් අය කරගනු ලැබූ වැට් බදු නැවත ජනතාව වෙත ලබා දීමට ඉදිරියේ අවශ්‍ය වැඩපිළිවෙළක් කඩිනමින් ඉදිරිපත් කරන බවත් ඉදිරියේදී භාණ්ඩ මිලදී ගැනීමෙන් පසු පාරිභෝගිකයාට ලැබෙන ලදුපතේ මිලදී ගත් භාණ්ඩය සහ අය කරනු ලබන වැට් බද්ද සඳහන් වන පරිදි වෙළෙඳසල් මඟින් ලදුපත් නිකුත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කෙළේය.
මල්ෂා නානායක්කාර