• Sat. Jan 28th, 2023

පසුගිය රජය ඇද දැමූ ආර්ථික අර්බුදය දැන් විඳීමට සිදුවෙලා (Video)

BySandun

Aug 3, 2016

වේදිකාවල සුරංගනා කතා කියමින් මහ‍පාරේ ඇවිද ගියද පසුගිය රජය රට ඇද දැමූ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵල දැන් මහජනතාවට විඳීමට සිදුව ඇති බව ජනපතිවරයා පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කෙළේ ඊයේ (02) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක උළෙල අමතමිනි. තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව මේ වන විට රුපියල් මිලියන 9000ක ණය බරකින් පෙළෙන බැවින් දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සහ සියලු මහජනයා මේ ආර්ථික අර්බුදය තේරුම්ගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවය.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලින් මේ වන විට මෙරට ආර්ථිකයට ලැබෙන්නා වූ දායකත්වය 8% – 10% අතර මට්ටමේ පවතින බව ද එම මට්ටම 20% ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකිවේ නම් රටේ ජාතික ආර්ථිකය මීට වඩා ශක්තිමත් මට්ටමකට ගෙනඒමට හැකි වන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කෙළේය.

ණය බරකින් පෙලුනත් රජය විසින් මහජනතාව ‍වෙත ලබාදෙන සහනාධාර කප්පාදු නොකරන බව කියාසිටි ජනාධිපතිවරයා සහනාධාර සඳහා වැය වන මුදල් සොයා ගැනීමට නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියත වර්ධනයක් ඇති විය යුතු බව ද කියා සිටියේය.

maithripalaමහජනතාවට බරක් නොවන ආකාරයට රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා මූල්‍ය විනය පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපති ඒ සඳහා රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය එකට යමින් නව ගමනක් ආරම්භ කළ යුතු බව ද අවධාරණය කළේය.

මෑත කාලයේදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ව ලින් රාජ්‍ය ආර්ථිකයට ලැබුණු දායකත්වය පිළිබඳ සතුටු විය නොහැකි බවත් ශ්‍රී ලංකාව වටා ඇති මහා සමුද්‍රයෙන් සහ මෙරට අනෙකුත් සම්පත් වලින් අප නිසි ප්‍රයෝජන ගන්නවාද යන ප්‍රශ්නය මතුවී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කෙළේය.

මෙරට තිබෙන සම්පත් භාවිතයෙන් ආසියානු කලාපයේ ඉහළ මට්ටමේ රටක් බවට පත්වීමේ මෙතෙක් ඉටු නොවූ සිහිනය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් ගැටලු වලින් ඔබ්බට ගොස් ඒවාට විසඳුම් සෙවීම සහ වචනයට සීමා නොවී ක්‍රියාත්මක වීම යන කරුණු පිළිබඳව ද මෙම සමුළුවේ දී අවධානය යොමු කෙරිණ.

‘අවධානය ක්‍රියාත්මක වීම ඉටුකිරීම’ තේමාව යටතේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය 17 වන වරටත් සංවිධානය කර තිබූ මෙම ආර්ථික සමුළුව ඊයේ (02) සහ අද (03) දෙදින තුළ පැවැත්වීමට නියමිතය.

මුදල් ඇමැති රවී කරුණානායක, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ද ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සමන්ත රණතුංග ඇතුළු එහි සාමාජිකයින් ද දෙස් විදෙස් ව්‍යාපාරික ප්‍රජාව ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *