• Thu. Feb 2nd, 2023

නැනෝ තාක්‌ෂණයේ තවම ඉස්‌මතු නො වූ අඳුරු පැත්ත

BySandun

Aug 11, 2016

ඔබේ හිසේ කෙස්‌ ගහක පළල නැනෝ මීටර්වලින් ගත් කල එය නැනෝ මීටර 50,000-80,000ක්‌ පමණ විය හැකි ය. ඒ අනුව නැනෝ මීටරයක්‌ යනු කෙබඳු දිග ප්‍රමාණයක්‌ දැයි ඔබට අදහසක්‌ ගත හැකි වනු ඇත. සැබැවින් ම නැනෝ මීටරයක්‌ යනු මීටරයකින් බිලියනයෙන් පංගුවක්‌ වන දිගකි. මේ පරිමාණයෙන් නිෂ්පාදනය කෙරෙන විවිධ අංශූන් “නැනෝ ද්‍රව්‍ය” ලෙස ව්‍යවහාර කෙරේ. වර්තමානයේ දී විවිධ අංශ වෙත මේ නැනෝ ද්‍රව්‍ය හා යෙදවුම් ව්‍යාප්ත වී ඇති අතර රූපලාවන්‍ය නිෂ්පාදන, ජලය, ආහාර පිසීමේ දී භාවිත වන නිෂ්පාදන, පෞද්ගලික සනීපාරක්‌ෂක ද්‍රව්‍ය, වායු සුගන්ධකාරක, තීන්ත, රෙදිපිළි, කුඩා දරුවන් සඳහා වන නිෂ්පාදන, ගෘහභාණ්‌ඩ, දන්තාලේප, තුවාල ආවරණ බැන්ඩේඡ්, කැතීටර, දුරකථන, සබන් ආදී විශාල භාණ්‌ඩ ප්‍රමාණයක්‌ ඒ අතර වෙයි. මේ භාණ්‌ඩ දැනටමත් පර්යේෂණ මට්‌ටමෙන් පිටතට විත්, වාණිජව නිෂ්පාදනය කෙරෙන අතර දැනටමත් ඔබ අප, භාවිත කරන භාණ්‌ඩ අතර නැනෝ යෙදවුම් පැවතිය හැකි ය. ශ්‍රී ලංකාවේ මේ නැනෝ තාක්‌ෂණය ආශ්‍රිත ව පර්යේෂණය කෙරෙන ප්‍රධානතම ආයතනය, ශ්‍රී ලංකා නැනෝ තාක්‌ෂණ ආයතනය (SLINTEC) වන අතර එය රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යවසායකි.

මේ ලිපියේ අරමුණ වන්නේ නැනෝ තාක්‌ෂණයේ ආහාර හා ආශ්‍රිත යෙදවුම් සහ එමඟින් අනාගතයේ දී හෝ ඇති වීමට ඉඩ තිබෙන අහිතකර සෞඛ්‍ය බලපෑම් පිළිබඳ විග්‍රහයක යෙදීමයි. නැනෝ තාක්‌ෂණ ආහාර පිළිබඳ විෂය ක්‍ෂේත්‍රය මේ වන විට පර්යේෂණ මට්‌ටම්වලින් ඔබ්බට විත්, වාණිජ වෙළෙඳපළට කලඑළි බැස ඇත. එක්‌ අතකින් මෙය නූතන සමාජයේ ප්‍රගමනයට දායක වන අතර ම මානව සෞඛ්‍යයට මෙමඟින් ඇති විය හැකි අවදානම තවමත් හොඳින් අධ්‍යයනය කර නොමැති සන්දර්භයක, ශ්‍රී ලංකාව වැනි රටක රජයේ හා පුරවැසියන් ගේ අවධානය මේ කෙරේ දැන් පටන් ම යොමු වීම වටියි. වස විසෙන් තොර ආහාර පවතින රටක්‌ කරා යන ගමනට මෙය ද සලකා බැලීම වැදගත් වනු ඇත.

nanotechnology-15-638ආහාර හා ආහාරමය සැපයුම් නිෂ්පාදනය කෙරෙන කෘෂි කර්මාන්තය තුළ නැනෝ තාක්‌ෂණය භාවිත වන ප්‍රධාන ආකාර 04කි.

1. ආහාර රසකාරක – වර්ණකාරක, ආහාරවල වයනය/පෙනුම ඉහළ නැංවුම්කාරක, ආහාර අවශෝෂණය ඉහළ නැංවුම්කාරක, පෝෂණ ගුණය වර්ධනකාරක

2. ආහාර ඇසුරුම් – පාරජම්බුල කිරණ පෙරණයට, වායුරෝධක තත්ත්ව ඇති කිරීමට නැනෝ – ක්‌ලේ යෙදවුම්, ප්‍රතික්‍ෂුද්‍රජීවී ද්‍රව්‍යයක්‌ ලෙස නැනෝ – සිල්වර්, ප්ලාස්‌ටික්‌ ඇසුරුම්, ජල ප්‍රතිරෝධී ආලේපන. උදා (- සැන්ඩ්විච් ඇසුරුම්, ආහාර කපන පුවරු (Cutting boards)

3. ඇසුරුම්වල සම්මත ශක්‌ති – බර අනුපාත (Strength to Weight ratio) හැඩගැස්‌වීමට කාබන් නැනෝ නළ.

4. පරිසරයට – පාංශූ ප්‍රතිකාරක, කෘමිනාශක, නැනෝ පොහොර

ආහාර ආශ්‍රිත බොහෝ නැනෝ යෙදවුම් උපයෝගි කරගනු ලබන්නේ ආහාර රසකාරක, නැනෝ ප්‍රතික්‍ෂද්‍රජීවී ද්‍රව්‍ය හරහා ආහාර පරිරක්‌ෂණය, ආහාර ඉසින, පෝෂණීය අතිරේක වැනි දැ, ඇලුමිනා (Alumina) සහ මියුලයිට්‌ (Mullite) වැනි නැනෝ ක්‌ලේ වර්ග, ආහාර විසුරුම්කාරක, කැටිගැසීම් වැළැක්‌වුම්කාරක, බීර හා පෙණ දමන වෙනත් පාන වර්ග, ඇසුරුම්වල අඩංගු කාබන් ඩයොක්‌සයිඩ් (CO2) වායුව නිදහස්‌ වීම වැළැක්‌වීම සඳහා වන ආස්‌තර ආදිය සඳහා ය. මීට අමතරව යකඩ, ටයිටේනියම් ඩයොක්‌සයිඩ්, සිල්වර්, සින්ක්‌ ඔක්‌සයිඩ්, කයිටොසෑන් (සීනි වර්ගයක්‌) වැනි දැහි නැනෝ අංශූ ද ආහාර කර්මාන්තය ආශ්‍රිත ව භාවිත කෙරේ.

නැනෝ අංශූවල පවතින අතිශය කුඩා බව නිසා ම ඇති විය හැකි, මේවායේ හානිකර බලපෑම් පිළබඳ පර්යේෂණ ලොව පුරා සිදු වෙමින් පවතී. මේ හා සම්බන්ධ ව පවතින ප්‍රබල අවදානම් පහත පරිදි සැකෙවින් දැක්‌විය හැකි ය. (එහෙත් මේ, දැනට බටහිsර කරන පර්යේෂණවලින් අනාවරණය කරගත් කරුණු පමණක්‌ වන අතර, සැබෑ ම හානිය තවමත් හරිහැටි තහවුරු කරගෙන නොමැත).

1. ආහාර හා ආහාර ඇසුරුම් ද්‍රව්‍යවල භාවිත කෙරෙන නැනෝ අංශූන් ශරීරයට අධිග්‍රහණය හෝ ශ්වසනය හරහා ඇතුළු වන අතර, පවතින ක්‍ෂුද්‍ර ප්‍රමාණය නිසා ම ඇට මිදුළු, වසා ගැටිති, ප්ලීහාව, මොළය, අක්‌මාව වැනි ශරීරයේ ඉතා සංවේදී ස්‌ථාන කරා ප්‍රවේශ විය හැකි ය.

2. සම විනිවිදන නැනෝ අංශුන් වසා නාළිකා හරහා ශරීරය පුරා පැතිරීමේ අවදානමක්‌ පවතී.

3. ආහාර හරහා ශරීරයට අවශෝෂණය වන හා ආශ්වාසය හරහා ඇතුළු වන නැනෝමීටර 1-100ත් අතර ප්‍රමාණයේ අංශූන්ට ඉතා පහසුවෙන් රුධිරය-මොළය අතර බාධකය හරහා මොළයට ඇතුළු විය හැකි ය. එසේ ම මේ ස්‌වාභාවික බාධකවලට හානි සිදු කළ හැකි විභවයක්‌ ද පවතී.

මූලික විද්‍යාත්මක අධ්‍යයනවලින් පෙනී ගොස්‌ ඇති කරුණක්‌ වන්නේ ආහාර හෝ ආහාර ඇසුරුම් ද්‍රව්‍යවල ඇති නැනෝ සිල්වර් වැනි අංශූන් මිනිස්‌ සෞඛ්‍යයට ඉතා අහිතකර විය හැකිs බවකි. පරිසර පද්ධති හරහා විෂ සහිත අංශූ ප්‍රවාහනය කරවීම මගින් නැනෝ ද්‍රව්‍යවලට පරිසරයට දැඩි හානියක්‌ සිදු කිරීමේ ශක්‍යතාවක්‌ ද පවතී. පොහොර, ශාක පෝෂක ද්‍රව්‍ය හෝ වගාවට යොදන ජලය හරහා කෙරෙන නැනෝ යෙදවුම් මගින් ශාකවල වර්ධනයට සෘජු ව ම බලපෑම් කෙරෙන බැවින්. ස්‌වාභාවික පාරිසරික තුල්‍යතාව බිඳවැටීමේ අවදානමක්‌ ද ඇති විය හැකි ය. මිනිස්‌ සිරුර ආශ්‍රිත ව පිළිකා හා ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි සිදු කිරීමට හා නැනෝ කර්මාන්aත ආශ්‍රිත ශ්‍රමිකයන්ට දිගුකාලීන ශාරීරික ගැටලු ඇති කරවීමට ද නැනෝ අංශූ සමත් විය හැකි ය. චීන පර්යේෂකයන්ට අනුව මුද්‍රණ කර්මන්තය ආශ්‍රිත ව භාවිත කෙරෙන නැනෝ ද්‍රව්‍ය ආශ්වාසය හරහා දැනටමත් චීනයේ ශ්‍රමික මරණ වාර්තා වී ඇත. ආහාර හා ආහාර ඇසුරුම් තාක්‌ෂණය ආශ්‍රිත ව භාවිත වන නැනෝ ද්‍රව්‍ය ආශ්වාසය හරහා ද ශරීරයට ප්‍රවේශ වීමේ ප්‍රවණතාව පවතී. සතුන් යොදාගනිමින් කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ නැනෝ ටයිටේනියම් ඔක්‌සයිඩ අංශූවලින් පිළිකා ඇති වීම ද, වැදෑමහ බාධකය හරහා නැනෝ අංශූ ගර්භණී මව ගෙන් කලලයට ඇතුළු වීම ද සිදු වන බවත්, Mesothelioma වැනි පෙනහළු හා උදරය ආශ්‍රිත පිළිකා ද හටගත හැකි බවත් ය.

මේ අතර ඇමෙරිකානු පරිසර ආරක්‌ෂණ ඒජන්සිය විසින් ”Biostorm” හා ”Nanostrike” නැමැති නැනෝ සිල්වර් ආශ්‍රිත නිෂ්පාදන යුගලය තහනම් කිරීමට ක්‍රියා කළේ 2015 අප්‍රේල් මසදී ය. ඒ ඇමෙරිකානු ආහාර සුරක්‌ෂිතතාව සඳහා වූ මධ්‍යස්‌ථානය (CFFS) විසින් සිදු කරන ලද පැමිණිල්ලක්‌ ප්‍රකාර ව ය. නැනෝ සිල්වර් නම් සුලබ ආහාරමය යෙදවුම අඩංගු වූ එම නිෂ්පාදන යුගලය රෝහල් හා මළල ක්‍රීඩා ක්‍ෂේත්‍රය ආශ්‍රිත ව භාවිත කෙරෙන්නකි. නැනෝ සිල්වර් යනු බොහෝ විට ප්‍රතික්‍ෂුද්‍ර ජීවී ද්‍රව්‍යයක්‌ ලෙස ක්‍රියා කරන්නක්‌ වන අතර, ප්‍රතික්‍ෂුද්‍රජීවී ද්‍රව්‍යයක්‌, සංඝටකයක්‌ ලෙස යම් නිෂ්පාදනයක අඩංගු නම් ඒ සඳහා එම ඒජන්සියේ පූර්ව අනුමැතිය ලබාගත යුතු ය යන පදනමේ පිහිටා, එකී නිෂ්පාදන යුගලය තහනම් කරන ලදී.

ඇමෙරිකා එක්‌සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කාබනික වැඩසටහන (USDA/NOP) 2015 මාර්තු මස දී කාබනික ආහාර නිෂ්පාදනයට නැනෝ තාක්‌ෂණය යොදාගැනීමට අවසර ලබා දුන්නේය. ඒ එරට බොහෝ දෙනා කාබනික නිෂ්පාදන සඳහා නැනෝ තාක්‌ෂණය අදාළ කරගැනීම තහනම් කිරීමට කළ ඉල්ලීම නො තකමිනි. “මූලික ව ම නැනෝ ද්‍රව්‍ය කියන්නේ කෘතිම ද්‍රව්‍යයි. ඒවා විෂ සහිතයි වගේ ම සාමාන්‍ය පරිසරයේ, නිර්මිත ලෙස නො පවතින දේවල්. ඒවා කාබනික දේවල් යෑයි කියන්නට බැහැ” ඒ ඇමෙරිකානු ආහාර සුරක්‌ෂිතතාව සඳහා වූ මධ්‍යස්‌ථානයේ (CFFS) ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති විශ්ලේෂක ඡේඩි හැන්සන් ගේ අදහස ය. නැනෝ ඉංජිනේරුමය ද්‍රව්‍යවල හැසිරීම පුරෝකථනය කළ නොහැකි ය. ඒවායේ අතිශය ක්‍ෂුද්‍ර ප්‍රමාණය, ඒවායේ චල්‍යතාව වැඩි කර අනන්‍ය රසායනික හා ජෛව විද්‍යාත්මක ලක්‌ෂණ ලබා දෙන බවත්. මේ නිසා ම අනපේක්‌ෂිත ප්‍රතිඵල ලබා දෙන බවත් ඇගේ අදහසයි.

කැනඩාව, ඕස්‌ටේ්‍රලියාව, ඔස්‌ටි්‍රයාව නැනෝ මීටර් 100ට අඩු නැනෝ ද්‍රව්‍ය, කාබනික ආහාර සඳහා යොදාගැනීම දැනටමත් තහනම් කොට තිබේ. එංගලන්තයෙහි එම සීමාව නැනෝ මීටර් 200 ය. 2014 අවසන සිට යුරෝපා සංගමය ද නැනෝ ද්‍රව්‍ය අඩංගු ආහාරවල ලේබලය මත එය පැහැදිලිව සටහන් කළ යුතු බවට වන නිතීයක්‌ පනවා ඇති බව ලන්ඩනයේ ගාඩියන් පුවත්පත් වාර්තාවක දැක්‌වේ. කෙසේ වෙතත් ඊට ආහාර සැකසුම් ක්‍රියාවලියේ දී විය හැකි නැනෝ යෙදවුම් ආවරණය නො වන බව එම පුවත් වාර්තාව වැඩිදුරටත් දක්‌වයි.

කෙසේ වුවත්, තවමත් හරිහැටි අධ්‍යයනයට ලක්‌ ව නොමැති මේ තාක්‌ෂණය වෙනුවෙන් Heinz, Nestle, Unilever, PepsiCo, Kraft වැනි සුවිශාල ආහාර ආශ්‍රිත බහුජාතික සමාගම් සිය ප්‍රාග්ධනය ආයෝජනය කරමින් ඇති බව CFFS ආයතනය දක්‌වයි. එසේ ම වර්තමානය වන විට නැනෝ අංශු ආශ්‍රිත ආහාර හා ආහාර සැකසුම් වෙළෙඳපොළ තුළ කොපමණ පවතී දැයි පිළිබඳව වන සංඛ්‍යාලේඛන නොමැති අතර, ඇමෙරිකාවේ නවෝත්පාදන පර්යේෂණ හා නිෂ්පාදන ආයතනය (Innovative Research and Prducts inc.) විසින් 2009 ජූලි මස දී සිදු කරන ලද සමීක්‌ෂණයකට අනුqව 2014 වන විට, එම වෙළෙඳපොළ මූල්‍ය පරිමාව ඩොලර් බිලයන 7.3ක්‌ වනු ඇතැයි ගණන් බලා තිබිණි.

ලොව පුරා නැනෝ තාක්‌ෂණය හා බැඳි ගැටලු සහ ආහාර ආශ්‍රිත නැනෝ යෙදවුම් තාක්‌ෂණය සම්බන්ධව සැලකිය යුතු රහස්‍යභාවයක්‌ පවතිsන බව ඇමෙරිකාවේ CFFS ආයතනය සිය වෙබ් අඩවියේ දක්‌වා තිබේ. මේ නිසා ම ලොව පුරා රජයන්ට හා පුරවැසියන්ට මේ ආශ්‍රිත නිෂ්පාදන, යෙදවුම් හා එහි වෙළෙඳපොළකරණය පිළිබඳ තොරතුරු ලබාගැනීමේ දුෂ්කරතාවක්‌ පවතී.

කෙසේ වුව ද ඇතැම් සමාගම් නැනෝ තාක්‌ෂණය සිය ආහාර නිෂ්පාදනය සඳහා යොදා නො ගන්නා බව නිවේදනය කොට ඇති අතර මැක්‌ඩොනල්ඩ්ස්‌ (McDonalds) හා ක්‍රාෆ්ට්‌ (Kraft) සමාගම් ඒ අතර වෙයි.

ශ්‍රී ලංකාවේ ස්‌ථාපිsත රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යවසායක්‌ ලෙස පෙර දී දැක්‌වූ SLINTEC ආයතනය ද සිය මූලික නැනෝ පර්යේෂණ ක්‍ෂේත්‍රයන් අතර සෞඛ්‍යය හා කෘෂිකර්ම ක්‍ෂේත්‍රය ද පවතින බව සිය වෙබ් අඩවියේ දක්‌වා ඇත. එහි ලා කෘෂිකර්මයේ දී නැනෝ – පොහොර, ඉලක්‌කගත ශාක පෝෂක සැපයුම්, ඉලක්‌කගත කෘමි හා වල්නාශක යෙදවුම් ද, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ දී කහ, කරවිල, මඤ්ෙÆක්‌කා ආශ්‍රිත ව ද, ජල පිරිපහදු හා ගුණාත්මක තත්ත්ව වර්ධනය කරවීම අරභයා ද පර්යේෂණ දියත් කර ඇත.

තාක්‌ෂණයේ ප්‍රධානතම අරමුණ මනුෂ්‍ය ජීවිතයේ ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කරලීම බවට විවාදයක්‌ නැත. එහෙත් ඉන් අනපේක්‌ෂිත ලෙස නිශේධනීය ප්‍රතිඵල ලැබීමේ අවදානමක්‌ ද පවතින බව කිසිදු සැකයක්‌ නැත. මේ අනුව තාක්‌ෂණය සංවර්ධනය සේ ම, එහි අතුරුඵල පිළිබඳව ද පර්යේෂණ දියත් වීම අනිවාර්යය වන්නේ ය.

SLINTEC ආයතනය මගින් තාක්‌ෂණයේ ප්‍රගමනයට රට මෙහෙයවන්නා සේ ම, වෛද්‍ය පර්යේෂණ ආයතනය, කාර්මික තාක්‌ෂණ ආයතනය (ITI), පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග අත්වැල්බැඳගෙන එයින් ඇති විය හැකි අහිතකර සෞඛ්‍යමය බලපෑම් පිළිබඳ විධිමත් පර්යේෂණ සිදු කළ යුතු ය. මන්ද වඩා වටින්නේ ද, මේ සියල්ල කරනුයේ ද මිනිස්‌ ජීවිත වෙනුවෙන් වන බැවිනි.

කෙසේ නමුත් ලොව පුරා රටවල් මේ පිළිබඳව ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව කිසිදු පියවරක්‌ ගන්නා බවක්‌ දැනට පෙනෙන්නට නැත. යුරෝපා සංගමය මේ වන විටත් ආහාර ලේබල්වල නැනෝ යෙදවුම් පිළිබඳ සටහන් කිරීම නීතිගත කොට ඇත. ජාන විකරණය කරන ලද ආහාර හඳුනාගැනීමට ලොව පුරා සම්මතයන් මේ වන විට ක්‍රියාත්මක වේ. නැනෝ යෙදවුම් ආශ්‍රිත නිෂ්පාදනවලට ද දිනෙක එලෙස ලෝක මට්‌ටමේ සම්මතයන් ඇති වනු ඇත. එහෙත් එතෙක්‌ අපි බලා සිටිය යුතු ද?

  • නිරෝෂන් සෙනෙවිරත්න
    ඛනිජ විද්‍යා අංශය – විද්‍යා පීඨය
    ශ්‍රී ලංකා ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *