• Sat. Jan 28th, 2023

වේදිකාව හැරයන මනමේ කුමාරයා විජය නන්දසිරි

BySandun

Aug 14, 2016

විජය නන්දසිරි, එවකට පදිංචිව සිටියේ මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේය. කුමාර කරුණාරත්න, අර්නස්ට් වඩුගේ, බී.කේ. ආරියරත්න, වැනි ලේඛකයන් සහ මාධ්‍යවේදීන් පදිංචිව සිටි නිවාස පෙළට ඉදිරියෙන් වූ නිවාස සංකීර්ණයක බිම් මහලේය.

මමත් ඡුායාරූප ශිල්පියෙකුත් (ඔහුගේ නම මගේ මතකයෙහි නැත) එදා ඔහුගේ නිවෙසට ගොඩවූයේ ඔහු පිළිබඳව ලිපියක් ලියන අදහසිනි.

‘‘එන්න එන්න මල්ලීලා, වාඩිවෙන්න.’’

ඔහු අප පිළිගත්තේ මහත් සෙනෙහසිනි.

‘‘අද දේවිකා ගෙදර නැහැ එයා ෂූටිං ගිහින්’’

2016-08-12-ent-36අනතුරුව පැවසූ ඔහු මගේ සම්මුඛ සාකච්ඡුාවට අදාලව පිළිතුරු දෙනු පිණිස සූදානම් වූයේය.

මා මොනවා ඇසුවාද ඔහු මොනවා කීවාද යන්න මේ මොහොතේ මගේ මතකයෙහි නැත.

කෙසේ හෝ වේවා පිළිසඳර නිමාකළ අපි නිවසින් පිටත්ව අපේ වාහනයට නැග්ගෙමු.

ඕනෙ නම් මීටර් සීයක දුරක් අප පැමිණෙන්නට ඇත. ඔහු අප්පුඩි ගසමින් අපේ වාහනය පසුපසින් ලූහුබඳින්නට පටන්ගත්තේය.

අපේ වාහනයට අත ඇල්ලූ යම් කිසිවෙක් ‘‘අන්න විජය අයියා කතාකරනවා’’ යැයි කීවේය.

වාහනය නතර විය. හතිදමමින් දිව ආ ඔහු රිය කවුළුවෙන් ඇතුළට එබිණි.

 

‘‘මල්ලීලා තේ බීලා නෙමෙයිනෙ ආවෙ. දුව ඔයාලට තේ හදලා. එළියට එනකොට ඔයාලා ඇවිත්, යමු තේ ටික බීලා එන්න’’

 

ඔහු කීවේය.

‘‘දැන් නැතුවට කමක් නෑ. අයියා අපි යන්නම්’’

මා කීවේ යළිත් ආපසු හැරී ගියහොත් තවත් පැය භාගයක්වත් ප‍්‍රමාද වනු ඇතැයි සිතුණු බැවිනි.
‘‘බෑ..බෑ එහෙම කොහොමද ගෙදරට ආපු කෙනෙකුට තේ උගුරක් නොදී යවන්න බෑ. හරිනම් බතුත් දීලයි යවන්න ඕනෙ.’’
ඔහුගේ පෙරැත්තයේ ඉවරයක් නොවීය. අන්තිමේ අපි ආපසු හැරී ඔහුගේ නිවෙසට ගොස් කේක් බිස්කට් සහ කෙසෙල් කා කිරි තේ බී ආපසු පැමිණියෙමු.

ඊට සතියකට පසු අදාල ලිපිය පත්තරයේ පළවිය. හරියටම එදා උදෙන්ම මට කතාකළ විජය ‘‘මල්ලී අර ලිපිය ‘‘හරිම ෂෝක්’’ යැයි කීවේ, බොහෝ ආදරයෙනි.

2016-08-12-ent-37ඊට පසුව විජය මට මුණ ගැසුණේ ලංකාදීප කාර්යාලයේදීය. කලූ කලිසමක් සහ අත්කොට සුදු කමිසයක් ඇඳ සිටි ඒ ආරෝහ පරිනාහ දේහදාරියා මා සමඟ සිනාසුනේ පොඩි දරුවෙකු මෙනි. ඒ ඔහු කුස පබාවතී නාට්‍යය නිර්මාණය කළ අවදියයි.

‘‘මල්ලී අලූතින් ඩ‍්‍රාමා එකක් කරනවා. කුස පබාවතී කතාවෙන්, නමුත් මේක දුවවන්න නම් සෑහෙන්න ප‍්‍රචාරයක් දෙන්න ඕනෙ. මම මේ ආවෙ පොඩි උදව්වක් ඉල්ලගන්න.’’

විජය එදා කීවේ බොහෝ සෙමින් සිනා පිරුණු මුහුණෙනි. කුස පබාවතී නාට්‍යයේ කුස රජු ලෙස විජයත් පබාවතී ලෙස දේවිකාත් රඟපෑහ.

‘‘ළමයින්ගෙ වැඩත් එක්ක දේවිකාට රඟපාන්න වෙලාවකුත් නැහැ ඒත් මම කරන නාට්‍යයක් නිසා දේවිකාත් රඟපානවා.’’

කුස පබාවතීට පසුව ඔහු කළේ වෘෂභ රාජ නම් නාට්‍යයයි. එහිද දේවිකා මෙන්ම විජයගේ දරුවන්ද රඟපෑහ.

‘‘මගේ දරුවන්ටත් හොඳට රඟපාන්න පුළුවන්. ඒත් ඒ අය රඟපාන්නේ මගේ නාට්‍යවල විතරයි’’

 

විජය ඒ දවස්වල පැවසූ හැටි මට තාමත් මතකය.

 

2016-08-12-ent-39මාධ්‍යවේදීන් හා කලාකරුවන් අතර පවතින්නේ අත්හල නොහැකි බැදීමකි. කලාපත්තර සහ සතිඅන්ත කලා අතිරේක සංස්කරණය කරද්දී මාධ්‍යවේදීන්ට, කලාකරුවන්ගේ සහයෝගයද, කලාකරුවන්ට, මාධ්‍යවේදීන්ගේ සහයෝගයද අත්‍යවශ්‍යය. මේ දෙපිරිසටම එකිනෙකාගේ සහාය නොමැතිව සාර්ථක ගමනක් යා නොහැකිය. එහෙත් ඒ බව දන්නේ එහෙමත් කලාකරුවෙකි. ඒ අතින් විජය නන්දසිරි ශ්‍රේෂ්ඨ මිනිසකු වූයේය.

කොයි මොහොතක කතාකළත් විජය ඇමතුමට පිළිතුරු දෙන්නේය.

‘‘මම වැඩක් පස්සේ කතාකරන්න’’ යන උත්තරය ඔහු ළඟ තිබුණේ නැත. අද ඊයේ ජනප‍්‍රියත්වයට පත් බොහෝ නළුවන් බොහෝ නිළියන් එසේ කියමින් ගණන් උස්සද්දී, විජය කියන්නේ, ‘මම ෂූටිං එකක, චුට්ටකින් ගන්නම් කියාය’. අදාළ දර්ශනය රූගත කර අවසන් වූ නිමේෂයෙන්ම විජය පෙරලා කතා කරයි. ඔහුට කිසිසේත්ම ප‍්‍රචාරයක් අවශ්‍ය නොවුණත් සහෝදර මාධ්‍යවේදීයාගේ අවශ්‍යතාව ඉටුකිරීමට ඔහු නිතරම සැදී පැහැදී සිටි සුහද මිනිසකු වූ නිසාය.

ඉයර්ස් බොස් පේ‍්‍රමචන්ද්‍ර ලෙසත් නෝනිවරුනි මහත්වරුනි නාට්‍යයේ සෙනරත් ලෙසත් අසීමිත ජනප‍්‍රියත්වයේ සිටියදීත් සිකුරු හතේ ජයමංගල කපු මහත්තයා ලෙස රටම කතාකරද්දීත් විජය නන්දසිරිගේ නිහතමානිත්වය ‘සුහද කොක්කුටත් වඩා බොහෝ වැඩිවිය.

මනමේ නාට්‍යයේ මනමේ කුමාරයා ලෙස වේදිකාව මත දහස් වරක් පෙනී සිටි විජය පසුකලෙක නොම්මර එකේ විහිලූකාරයකු වූවේය. ඔහු නැති වේදිකාවක් නොවන තරමට විජය රඟපෑ වේදිකා නාට්‍යය ජනප‍්‍රියත්වයේ උපරිම තලයේම පැවැතියේය. බල්ලොත් එක්ක බෑ, රූකඩ රාජ්ජේ, අලූත් හොරෙක් ඕනැ වැනි වේදිකා නාට්‍ය ගණනාවකම රඟපාන විජය මෑත යුගයේ අතිශය කාර්යබහුලම රංගන ශිල්පියා වූයේය.

‘සති අන්තෙට මම කවදාවත් ගෙදර නෑ.’

විජය කීවේ බොරුවට නොවේ.

ලංකාවේ කොහේ හෝ නගරයක කුමක් හෝ නාට්‍යයක ඔහුට රඟපාන්නට තිබුණු බැවිනි.

කොටින්ම විජය නන්දසිරි කොමඩි රජු විය. එහෙත් කිසි දවසක ඔහුගේ විහිළු ජුගුප්සාව දැනෙව්වේ නැත.

‘‘මටත් ළමයි ඉන්නවා, ඒ නිසා මගේ විහිළුවල දෙපිට කැපෙන කුණුහරුප නැහැ’’

විජය හැමවිටම පැවසුවේ ආඩම්බරයෙනි.

ඔහු අවසන්වරට මට කතාකළේ මීට දෙතුන් මසකට පෙරාතුවය.

‘‘මල්ලී අලූත් හොරෙක් ඕනෑ නාට්‍යයට පොඩි ප‍්‍රචාරයක් දෙන්නට ඕනෙ’’

සැබැවින්ම විජයට අවශ්‍යවූයේ තමනුත් රඟපාන නාට්‍යයට ප‍්‍රචාරයක් විනා ඒ මුවාවෙන් ඔහුට ප‍්‍රචාරයක් නොවේ. එහෙත් නාට්‍යයට උපරිම ප‍්‍රචාරය ලැබෙන්නේ නාට්‍යය ගැන විජය කරන කතාවකින් පමණක් බැවින් මා විජය සමඟ සම්මුඛ සාකච්ඡුාවක් කළෙමි.

 

‘‘මම ලබන අවුරුද්දෙනම් අලූත් නාට්‍යයක් කරනවමයි’’

විජය එදා පැවසුවේය. ‘‘මම නාට්‍ය හතරක පහක රඟපාන හින්දා මට අලූත් නාට්‍යයකට කැපකරන්න වෙලාවක් නැහැ’’

 

එහෙත් අවාසනාව?

ලබන අවුරුද්ද වනතෙක් විජය ජීවත් වූයේ නැත.

 

ඔහු මියගිය බව දෙවියොත් දන්නේ නැතැයි මට සිතෙයි.

විජය යනු සිංහල වේදිකාවට නැතිවම බැරි නළුවා බව දන්නවානම් දෙවියන් මේ හදිස්සියේ තමන් වෙත ඔහු කැඳවා ගන්නේ නැත.

කෙසේ හෝ වේවා, විජය නන්දසිරි නැති නාට්‍ය වේදිකාවේ කිසිදා පිරවිය නොහැකි හිස්තැනක් ඉතිරිව තිබෙයි. සාමාන්‍යයෙන් කලාකරුවකු මියගිය විට, අපි ඔහුට ගෞරව පිණිස කියන්නේ ඔහු නැති අඩුව කිසිදා පිරවිය නොහැකි බවය. එහෙත් විජය ගැන අප එසේ පවසන්නේ පුරුද්දට නොවේ

විජය තවමත් වේදිකාවේ සක‍්‍රීය චරිතයක් ලෙස නාට්‍ය ලෝලීන්ට සතුට තිළිණ කරමින් සිටි බැවිණි.

ඔහුගේ කඩවසම් රූපකාය, පෙම්වතකුගේ චරිතයකට වුව අපූරුවට ගැලපුණේය.

විජය ඔබට නිවන් සුව !!!

2016-08-12-ent-40
2016-08-12-ent-38

ශාන්ත කුමාර විතාන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *