අතුරුදන්වූවන් පිළිබඳව සොයන්නට කාර්යාලයක් අැති කිරීම සම්බන්ධයෙන් වන පනත ඊයේ පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනුණේ ය. ඒ ජාතිවාදී රැහේ විමල් වීරවංශ, දිනේශ් ගුණවර්ධන ආදීන්ගේ බාධා කිරීම් මධ්‍යයේ ය. පුරුද්දක් ලෙස පාර්ලිමේන්තුවේදී තම ඩෙඟා නැටීම විමල් වීරවංශලා කලෙක සිට කරගෙන යති.
අතුරුදන් තැනැත්තන් සෙවීම පිළිබඳ වැඩපිළිවෙලක් අවශ්‍ය වන්නේ ඇයි? ලොව විවිධ රටවල සේ ම ලංකාවේ ද විවිධ අරගලයන්හි දී මිනිසුන් අතුරුදන් කර දැමුණි. විමල් වීරවංශලාට අමතක වුව ද (අමතක කළ ද) 1971 අරගලයේ දී ද 1989 අරගලයේ දී ද බොහෝ මිනිසුන් අතුරුදන් කර දැමුණි. 1989 දී අතුරුදන් කර දැමූවන් පිළිබඳව අද පවා තොරතුරු සොයා ගෙන නැත. රුහිරි දිය බවට පත් වෙන තුරු විඳවමින් ඒ අතුරුදන් වූවන්ගේ සමීපතමයෝ අදටත් තැන් තැන්වල නොමැරී මැරි මැරී ජීවත් වෙති. විමල් වීරවංශලාට අමතක වුණාට (කළාට) එවක ඔවුන් ද සිය අතුරුදන් වූවන් වෙනුවෙන් හඬ නැඟූ බව අපට මතක ය. පසුව සියල්ල කණපිට හැරී බත්තරමුල්ලේ තිබූ අතුරුදන්වූවන් වෙනුවෙන් කළ අහිංසකයනගේ ආරාමය පවා බිමට සමතලා කරන්නට උදවු දුන් විමල්ලාගේ හැසිරීම ගැන අපට පැහැදිලිය. තුච්ඡ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් සිය හෘදසාක්ෂිය විකුණා දැමූවන්ට අතුරුදන් වූවන්ගෙන් කම් නැත.
අතුරුදන්වූවන් පිළිබඳ සෙවිය යුත්තේ ය. ඒ නැවත මිනිසුන් අතුරුදන් නොවන්නට ය. අතුරුදන්වූවන්ගේ සමීපතමයින්ට ඒ ගැන නිශ්චිත තොරතුරක් දැනගන්නට ය. අතුරුදන්වූවන්ට වූයේ කුමක් දැ යි ඉතිහාසයක් දැනගන්නට ය. රණවිරුවන් ගැන කියමින් විමල්ලා බෑඟිරි නඟන්නේ කුමකට ද? ඔවුන් එතරම් රණවිරුවන් නම් මිනිසුන් අනීතිකව අතුරුදහන් කරන්නේ නැත. ඒ නිසා රණවිරුවන්ට හානියක් වෙතැ යි බයගන්නට ද අවැසි නැත. මානුෂික මෙහෙයුම්වල යෙදුණෝ මිනිසුන් අතුරුදන් නොකරන බැවිනි. එසේ කර ඇත්නම් කවුරුන් වුව ද දඬුවම් ලබා දීම ශිෂ්ඨසම්පන්න රටක වගකීම ය. මිනී කන්නන්ගේ දේශයක් නොවන්නේ නම් එසේ කළ යුතු ය. එය කොටි සංවිධානයේ අතුරුදන්වූවන් පමණක් නොවේ. ලලිත්-කුගන්, ප්‍රගීත් එක්නැලිගොඩ ආදීන්ට ද අදාළ ය. විමල්ලාගේ ගුවන් තොටිල්ල මේවා ගැන කතා කරද්දී ගැස්සෙන එක පුදුමයට කරුණක් නොවේ. තම මාස්ටර්ලා අහුවෙන දේවල්වලට විමල්ලා කොහොමත් බය ය.
සියලු අතුරුදන් තැනැත්තන් ගැන සෙවීම යහපාලන රජයේ වගකීම ය. මිනිසුන් අතුරුදන් කර ඇත්නම් උහු රණවිරුවන් නොව තුච්ඡ මිනීමරුවන් ය. උන්ට නීත්‍යානුකූලව දඬුවම් දීම හමුදාව පාවා දීමක් යැ යි කියන්නේ නම්, ඔවුන්ගේ මානසික තත්වය පරික්ෂා කළ යුතු ය.
(niwahal.com)