• Tue. Feb 7th, 2023

යුද අපරාධ යාන්ත්‍රණයක් අවශ්‍ය වන්නේ ඇයි..?

BySandun

Aug 15, 2016

යුද සමයේ සිදු වී යැයි කියන අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා යෝජිත යාන්ත්‍රණය පිළිබඳව සමාජ කතිකාවක් නිර්මාණයවෙමින් පවතී. ආණ්ඩුවද මේ පිළිබඳව මහජන අදහස් ලබාගැනීමේ ක්‍රියා මාර්ගයක් ආරම්භ කරන බව මාධ්‍ය මඟින් පසුගිදා අනාවරණය කෙරිණ. නිද්‍රාශීලීව නොසිට වක්‍ර ක්‍රියා මාර්ගයක් තුළින් වුවද එවැන්නකට අවතීර්ණ වීම යහපත් බව අපගේ අදහසයි.

දෙමළ සන්ධානය ඇතුළු සමස්ත සුළු ජාතික ප්‍රජාවම විදේශ මැදිහත්වීමෙන් පිහිටුවනු ලබන ආයතන පද්ධතියක් මඟින් මෙම පරීක්‍ෂණ පැවැත්වීමේ ක්‍රියා මාර්ගය සිදු කළ යුතු බව තරයේ කියා සිටී. පූර්ණ දේශීය යාන්ත්‍රණයක් මඟින් සිදු කෙරෙන පරීක්‍ෂණ ක්‍රියාදාමයක් ඔවුන්තරයේ ප්‍රතික්ක්‍ෂප කරනු ලබන බවද දක්නට ලැබේ.
මේ පිළිබඳව සිංහල සමාජයේ පවතින මතයන් එකිනෙකට පරස්පරය. ආණ්ඩුව තුළද මේ ගැන ඇත්තේ එකිනකට වෙනස් අදහස් සමුච්ඡයකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යුද අපරාධ විනිශ්චය පූර්ණ දේශීය විනිශ්චයකරුවන් මඟින් පමණක් සිදු කරන බවට ප්‍රතිඥා ලබා දෙනවිට විදේශ ඇමති මංගල සමරවීර මහතා ඊට වෙනස් මතයක් මුදා හරී. ජනාධිපති මෛත්‍රී තමන්ගේ මතය ප්‍රකාශ කරනුයේ භික්ෂුන් වහන්සේද සහිත සිංහල බෞද්ධ ජන රාශියක් ඉදිරියේය. එතුමා ජනාධිපති පදවියට පත්වූ දිනයේ සිටම ප්‍රතිපත්තිමය කාරණා පිළිබඳව හැඟුම් බරව විවිධ අදහස් පළ කරන අතර ප්‍රායෝගික තලයේදී එම අදහස් ශුන්‍ය වී ඇති බව නොරහසකි. මෛත්‍රී තැනේ හැටියට කතා කරන රාජ්‍යනායකයකු බව මේ වන විට ඕනෑවටත් වඩා ඔප්පුකර තිබේ. ජනප්‍රිය මඩු වලිගයේ කතාවද එබන්දකි. සංගීත සංදර්ශන, මරණය දඬුවම, ආණ්ඩුවට ලණු දෙන ආර්ථික විශේෂඥයන් ගෙදර යැවීම මීට නිදසුන් කිහිපයකි. එම නිසා අපරාධ සෙවීමේ යාන්ත්‍රණය පිළිබඳව ජනාධිපතිතුමා දරණ මතය ආණ්ඩුවේ මතය ලෙස පිළිගැනීමට අප කලබල විය යුතු නැත.

යෝජිත යාන්ත්‍රණය පිහිටුවනු ලබන්නේ කුමක් සඳහා ද යන්න අප මෙහිදී සැකෙවින් හෝ විමසා බැලිය යුතුය. පසුගිය යුද සමයේ ආරක්‍ෂක හමුදාව හා එල්.ටී.ටී.ඊ සංවිධානය සිදුකළ අපරාධ සොයා බලා ඊට වගකිව යුත්තන්ට දඬුවම් පැමිණ වීම හා අගතියටපත් පාර්ශ්වවලට වන්දි හා වෙනත් සහන ලබාදීමට යන්න මීට දිය හැකි සරල පිළිතුරයි.

එහෙත් යාථාර්ථය මේතරම් සරල නැත. මෙය රටවල් දෙකක් අතර පැවති යුද්ධයක් නොවේ. එකම රටේ පිරිසක් ආණ්ඩුවට එරෙහිව සන්නද්ධව කැරලි ගැසීමය. සන්නද්ධ කැරැල්ලක් සන්නද්ධවම මර්දනය කිරීමට සිදුවීම ද සාමාන්‍ය දෙයකි. දෙපාර්ශ්වයම කිසියම් දේශපාලන විසඳුමකට ඒමට අපොහොසත් නම් වෙන විසඳුමක් ද නැත.

දෙමළ ජාතික සන්ධානයේ හෘදය සාක්‍ෂිය විවර කළහොත් ඔවුන් ද ආණ්ඩුවේ යුදමය ක්‍රියාමාර්ගය අනුමත කරනවා නොඅනුමානය. ඒ තරමටම දෙමළ ජාතික සන්ධානයේ නායකයන් එල්.ටී.ටී.ඊ.ය මඟින් ඝාතනයට ලක්විය. එල්.ටී.ටී.ඊයේ තිරශ්චීන පිළිවෙත උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටටම පිළිකාවන්ව පැවති බව අප අමතක කළ යුතු නැත.

එහෙත් යුද අපරාධ සෙවීමේ යාන්ත්‍රණයක අවශ්‍යතාව මෙයට සම්පූර්ණයෙන් පරිබාහිර කර්තව්‍යයක් ලෙසය අපගේ හඳුනා ගැනීම. යුද වාතාවරණය පැවති සමයේ ත්‍රිවිධ හමුදාවේ ඇතැම් සාමාජිකයන් යුද නිතීය මෙන්ම රටේ සාමාන්‍ය නීතියට පිටින් සාමාන්‍ය ජනතාව ඉලක්ක කර අපරාධ සිදු කළාය යන්නය ප්‍රමුඛ චෝදනාව වී ඇත්තේ. ඝාතනය කිරීම් වධ හිංසාවට ලක්කිරීම් හා අතුරුදන් කිරීම් ඇතුළු විවිධ තාඩන පීඩනවලට ජනයා ලක් කළ බවට ඔවුහු චෝදනා ලැබ සිටිති.

මෙයට සම්බන්ධ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ඉතා සුළු ප්‍රමාණයක් විය හැක. ඇතැම් අය ආවේගශීලීව මෙම අපරාධ කළ අවස්ථා තිබිය හැකි නමුත් මිනිස් ජීවිත සමඟ කරන සෙල්ලමකදී ඒවා නිදහසට කාරණා වන්නේ නැත. ඉහළින් එන අණ ක්‍රියාත්මක කිරීමේ හමුදා පිළිවෙත අනුව ඇතැම් ඝාතන සිදු කළ බවටද විශ්වාස කෙරේ. පැනති ආණ්ඩු සමඟ සන්ධානගතවී සිටි ඇතැම් දෙමළ නායකයන්ගේ උසි ගැන්වීම මත අපරාධ සිදු කළ බව කියති.

කෙසේ වෙතත් යුද අපරාධ සෙවීමේ අධිකරණ යාන්ත්‍රණය කෙබඳු විය යුතු ද යන සමීකරණය විසඳීමේදී මීට අදාළ පාර්ශ්ව ගැන ද අවධානය යොමු කළ යුතුය. එල්.ටී.ටී.ඊ පාර්ශ්වයෙන් සිංහල සමාජයට සිදු වූ හානීය අති විශාල නමුත් වර්තමානය වන විට බොහෝ සිද්ධීන්ට සම්බන්ධ සාක්‍ෂිකරුවන් හෝ විත්තිකරුවන් නැත. එමෙන්ම වගකීම් විරහිත ම්ලේච්ජ සංවිධානයක් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමේ හැකියාවක් ඇතැයිද නොසිතමි.

එවිට මෙම යාන්ත්‍රණය මඟින් ප්‍රධාන වශයෙන්ම සොයා බැලිය යුතු වන්නේ සාමාන්‍ය දෙමළ සිවිල් ජනයාට හමුදාවෙන් සිදුවූ අකටයුතුකම්ය. ඝාතනයේ සිට ස්ත්‍රී දූෂණ හා නිවාස කොල්ලකෑම දක්වා වූ පුළුල් පරාසයක් ඊට අයත්ය. මුස්ලිම් ජනයාගේ කොටසක් ද මීට අයත්ය.

සත්‍යය මෙයයි. මේ සත්‍ය හා බැඳුණු තවත් සත්‍ය කරුණු රාශියකි. එනම් වින්දිතයන් බහුතරය දෙමළ ජාතිකයන් වීම හා විත්ති පාර්ශ්වය සම්පූර්ණයෙන්ම පාහේ සිංහල වීමය. එමෙන්ම විත්තිකරුවන් ව සිටින හමුදා සාමාජිකයන් සිංහල සමාජයේ බහුතරයකගේ පූජා භාණ්ඩ බවට පත්ව “රණවීරුවන්”ගේම කොටසක් වීමය. චූදිතයන් සංඛ්‍යාත්මකව කුඩා වූවද ඔවුන් රණවිරු කුලකයට අයත්වීමෙන් මෙම නඩු විභාගය සිංහල සමාජයට ඉතා සංවේදී වන බව නම් ඒකාන්තය. ජාතිකවාදී ්‍යෂඪ වෛරසයෙන් රෝගීවී සිටින සිංහල සමාජයේ බහුතරයක් මෙය තමන්ට එරෙහිව දෙමළා නඟන චෝදනාවක් ලෙස බාර ගැනීමට ඇති ඉඩකඩ බොහෝය.

මෙය සිංහල බහුතරයට එරෙහිව දෙමළ සුළුතරය ඉල්ලා සිටින පරීක්‍ෂණයක් වුවත් ඒ මත ජාතිවාදයේ රුදුරු සෙවණැල්ල වැටී නැතැයි කිව හැක්කේ කාටද? සිංහලයාට හෝ සිංහල ආණ්ඩුවට බර තබන ආයතනයක් කෙරේ දෙමළ සමාජයට විශ්වාසය තැබිය හැකි ද?

එමෙන්ම වින්දිත පාර්ශ්වය විශ්වාසය නොතබන යාන්ත්‍රණයක් මඟින් සිදු කෙරෙන පරීක්‍ෂණ නීතියේ මූලධර්මවලට පටහැනි බව අමුතුවෙන් කිවයුතු නැත. සාමාන්‍ය නඩු විභාගයකදී වුවත් විත්ති පාර්ශ්වය හා යුක්තිය පසඳලීමේ පාර්ශ්වය අතර ළෙන්ගතතුකමක් ඇත්නම් ඊට එරෙහි වීමේ හා එය නිවැරදි කිරීමේ අයිතිය පැමිණිලි පාර්ශ්වය සතුය.

මෙවැනි යාන්ත්‍රණයකට දෙමළ ජාතිකයකු හෝ දෙදෙනකු පමණක් පත් කිරීමෙන් ප්‍රශ්නය විසඳෙතැයි මා නම් හිතන්නේ නැත. අගවිනිසකරු දෙමළ විය හැක. මහ බැංකු අධිපති දෙමළ විය හැක. එහෙත් පවතින්නේ සිංහල ආණ්ඩුවක් යන සත්‍ය වසන් කළ නොහැක.

විදේශීය විනිශ්චයකරුවන් මෙහි ගෙන්වා නඩු විභාග පැවැත්විය යුතුයැයි අපි නොකියමු. එහෙත් විදේශීය උපදේශකයන්ගෙන් හා තාක්ෂණශීල්පීන්ගෙන් සහාය ලබාගත යුතු බව අපි තරයේ කියා සිටිමු. පැමිණිලි පාර්ශ්වයට හා විත්ති පාර්ශ්වයට ඇඟිලි දික් කිරීමට නොහැකි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවය අප කියා සිටින්නේ.

සිංහලයා හා දෙමළා එකවිට එක පමණට සතුටු කිරීමට නොහැකි යැයි ආණ්ඩුව සිතනවා විය හැක. එහෙත් ඒ ජාතිවාදී සිංහලයන් හා දෙමළුන්ය. අපවැනි ජාතිවාදී නොවන සිංහල හා දෙමළ ජනයා ටික දෙනකු මෙන් සිටින බව අමතක නොකළ යුතුය. යුක්ති ධර්මය අගයන යහපාලන ආණ්ඩුවක් කටයුතු කළ යුත්තේ එවැනි පිරිස් තෘප්තිමත් කිරීමය. යහපත් පුරවැසි සමාජයක් බිහිකළ හැක්කේ එවිටය. එසේ නොමැතිව වැලයන පැත්තට මැස්ස ගැසීමට ආණ්ඩු අවශ්‍ය නැත.

එමෙන්ම ආණ්ඩුව මතක තබාගත යුතු තවත් කරුණක් ඇත. එනම් මෙය ජාත්‍යන්තරය සතුටු කිරීමට කරන ක්‍රියාවක්ම නොවන බවය. මෙහි පීඩිතයා අපේ රටේම උතුරු නැගෙනහිර වෙසෙන සහෝදර ජනතාව බව අමතක නොකළ යුතුය.

ජාත්‍යන්තරය සතුටු කිරීමට මොකක් හෝ අටමගලයක් අටවා ඇස් බැන්දුමක් කිරීමට ආණ්ඩුව සිතා සිටිත් නම් තුනට හතරට නැවී පස්ස විකා ගැනීම ඊට වඩා යහපත් යැයි මම යෝජනා කරමි.

 

උපාලි කොළඹගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *