• Tue. Feb 7th, 2023

යහපාලනයේ ගෙවිය යුතු මිල සහ නොගෙවිය යුතු මිල – සේනගේ කොලම

BySandun

Aug 17, 2016

යහපාලනය ඇතිකිරීම උදෙසා පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට දරණ ලද වියදමට වඩා වැඩි වියදමක් යහපාලනය පවත්වාගෙන යාම සදහා ගෙවීමට ජනතාවට දැන් සිදු වී ඇත.

මහින්ද පාර්ශවය පීඩනයට පත්කරමින් ශ්‍රිලනිප ආසන සංවිධායක ධූරයන් ලබාදීමේදී හා ජාතික ආණ්ඩුවේ ඇමතිකම්, වරදාන හා වරප්‍රසාද ලබාදීමේදී මෙරට මහජනතාවට සහ විශේශයෙන්ම යහපාලනය වෙනුවෙන් මතවාදී අරගලය නියැලුන සිවිල් සමාජයට ගෙවීමට සිදුවී ඇති “මිල” ඔවුන්ව දැඩි කළකිරීමකට පත්කිරීමට සහ අවසානයෙහි ජනාධිපතිවරයා පිළිබද බරපතල පිළිකුලක් ඇතිකිරීමටද හේතුවී ඇති බව පෙනෙන්නට තිබේ.

අප මේ මොහොතෙදි මේ මිල ගෙවිය යුතුද?

ආණ්ඩුව පවත්වාගෙන යාමේදී පෙර පැවති ක්‍රමයෙන් මඳක් වෙනස්ව අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය රටේ දෛනික රාජකාරි සහ සංවර්ධන ක්‍රියාවලිය කළමනාකරණය කරනු ලබන අතර ජනාධිපතිවරයා විසින් දේශපාලන ස්ථාවරභාවය කළමනාකරණය කරමින් ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා විධායකයේ සහය ලබාදෙනු දැකගත හැක. මේ මොහොතේදී ඒ දේශපාලන ස්ථාවරත්වය ලඟාකරගැනීම ස ලබාදෙන ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම් සහ ආසන සංවිධායකකම් දෙස අප මහත් ඉවසීමකින් සහ සංයමයකින් යුතුව බලා සිටිය යුතුය. ඒ සියල්ල අප යහපාලනය වෙනුවෙන් ගෙවියයුතු මිල වන අතර වඩාත් යහපත් සහ ප්‍රමිතියෙන් ඉහළ දෑ පිළිබද වූ වෙළදපොල නීතියේ ප්‍රතිපලයම දේශපාලනයේදී දැරීමට අපට හැකියාව තිබිය යුතුය.

අප නොදැරිය යුතු “මිල” කුමක්ද?

ලබාදුන් තනතුරු, වරදාන සහ වරප්‍රසාද තුලින් මැති ඇමැත්තන් කරන වංචාවන් දැරීමට තරම් අප නපුසකයින් විය යුතුද? ඒවා සාධාරණීකරණය කිරීමට තරම් අප වන්දිබට්ටයන් විය යුතුද? කිසිසේත්ම නැත. දුමින්ද සබීතාගෙන් ගත් ගොඩනැගිල්ල, ජෙනරල් ෆොන්සේකාගේ රථ ගාය, රවීගේ ගුදම, අර්ජුනගේ පවුල් පාලනය, හිරුණිකාගේ ඩිෆෙන්ඩය, කිරිඇල්ලගේ උපදේශක මණ්ඩලය, ජෝන් අමරතුංගගේ කාබාසිනියා වැඩද, මහබැංකු බැදුම්කර වංචාව ඇතුලුව බොහෝ බොහෝ “යහපාලන බිල්” ගෙවීමටද ආණ්ඩුව අපට බලකරන්නේ නම් අප එයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය. අප තවම අල්ලාගෙන පතුරු ගහන්නේ රාජපක්ෂ සමයේ දූශණ වංචා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පැත්තෙන් දේශපාලන ස්ථාවරත්වය ඇතිකිරීම පිණිස ගනු ලබන දේශපාලන තීරණ පමණි. එය අපේ දේශපාලනයේ ජඩ කම නොවෙයිද?

වැරැදි මෛත්‍රීම විතරද?

රාජපක්ෂලාගේ වනචර දශකයට විරුද්ධව හඩ නැගූ බොහෝ දෙනෙකුට ඒ හේතුව නිසාම ‍යහපාලන ආණ්ඩුවේ බොහෝ පාර්ශව සමඟ පෞද්ගලික හිතවත්කම් සහ ලාභ ප්‍රයෝජන ඇත. ඒ නිසා වැරදි කලද ස්වභාවයෙන්ම පෞද්ගලික හිතවත්කම් මත කිසිවෙකුටවත් සත පහක හෝ උදව්වක් නොකරන මෛත්‍රීට ඔහුගේ රැකවරණය පිණිස කතාකරන හිතවතුන් මාධ්‍ය ලෝකයේ හෝ සාමාන්‍ය සමාජයේ නැත. අනෙක් අතට කිසිදු ආකාරයක පහර දීමකට එරෙහිව ඔහු ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේද නැත. ඒ නිසා පහසුම දෙය මෛත්‍රීගේ කර පිට මතට කුණුගොඩ පැටවීම ලෙස බොහෝ දෙනා වටහා ගෙන ඇත. එය වැරදිය.

මේ මොහොතේදී රටේ ජනාධිපතිවරයා ලෙසත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙසත් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව සහ විචක්ෂණශීලව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලබන දේශපාලන තීරණ වැරැදියැයි විවේචනය කිරීම ඵල රහිතය. නමුත් ආණ්ඩුවේ තීරණ ගැන අප මෙයට වඩා සංවේදී විය යුතුය.

 

shane

– ෂේන් මහේන්ද්‍ර ප්‍රියවික්‍රම

One thought on “යහපාලනයේ ගෙවිය යුතු මිල සහ නොගෙවිය යුතු මිල – සේනගේ කොලම”
  1. යහපාලනයට මුල සිටම කඩේ ගිය අයකු ලෙස ඔවුන් වැටී සිටින අමාරුව දැක තව කාලය ලබා ගැනීම සදහා මෙසේ මුක්කුවක් ගැසීම අගේ ඔබේ රාජකාරියයි. නමුත් යහපාලනය මුල සිටම පාරිශුද්ධ අරමුණකින් ඇති වුවක් නොවේ. රනිල් විසින් බල ලෝබී සිරිසේනව බිලි බාගෙන වඩා සාර්ථක ලෙස මාකට් කල හැකි ජනතා මුදල් ගසාකෑම මුල් කර ගනිමින් රාජ්‍ය බලය අත්පත් කර ගත්තේය. නමුත් ඔවුන් මූලික වැරදි 2 කර ඇත.
    01. රටට වැඩිම වශයෙන් විදෙශ ආධාර දුන් චීනය ඈත් කිරීම
    02. රටට නොදැරිය හැකි ලෙස රාජ්‍ය වීයදම් ඉහල දැමීම (චන්ද පොරොනාදු ඉටු කරන බව පෙන්වීම සදහා)
    මේ නිසා රට දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙනුත් මුදල් අර්බුරයක සිටී. මේ අවස්ථාවේ ජනතාවට ඒය දැනීමට පටන් ගෙන ඇත. මේ තත්වය සමනය කර ජනතා අවධානය වෙනස් කිරීම සඳහා ආන්ඩුව වැඩ 2 කරයි
    01. විවිධාකාරි වෙනත් ජනප්‍රිය මාතෘකා කරලයට ගෙන එමින් ජනතාවගේ ඇසට වැලි ගැසීම. (අත් අඩංගුවට ගැනීම් ආදිය)
    02. SLFP නායක කම සිරිසේන තබා ගැනීම මගින් විරුද්ධ මත උඩ ඔම දුර්වල කිරීම ( තමාට ජනපති කමට වඩා පක්‍ෂෙ නායකතවය වටින බව කියූ පුවතක් අසන්නට ලැබුණි. එය සැබෑය. මේ ආන්ඩුව පවතින්නේ ඔය පක්‍ෂ නායක කම නිසාය)
    ඔබලා කරනුයේ පක්‍ෂ නායක කම භාවිතාකර රටේ විපක්ෂය දුර්වල කිරීමට සීරිසේන ගන්නා උත්සාහ සාධාරණීකරණය කිරීමයි. අප විසින් විරුද්ඩ පක්‍ෂ මන්ත්‍රීන් පත් කලේ ආණ්ඩුවට විරුද්ධ හඬක් නැගීමටය. අද සිරිසේන පක්‍ෂ නායක කම යොදා ගනිමින් එම ජනතා චන්ද අවභාවිතා කරයි.
    සිරිසේන කියුවේ දූෂණය නවත්වා 3 ගුණයක් සංවර්ධනය කරන බවයි. ජනතාවට සහන දෙන බවයි. නමුත් සිදු වන්නේ ඊට විරුද්ධ දේවල්ය. කී දේ කරන්නට බැරි නම් තම වරද පිලිගෙන ඉවත්ව යැම අගනේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *