• Thu. Feb 2nd, 2023

93 මැතිනිගෙ තීන්දුව හරි, මෛත්‍රිගෙ තීන්දුව..?

BySandun

Aug 25, 2016

“සිරිමා දවස් තුනට තීරණ තුනක් ගනී
ශ්‍රී ලනිපය දෙදරයි”
දිනමිණ
(05 – 01 – 1993)

මේ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ල.නි.ප. මන්ත්‍රි තිලක් කරුණාරත්නගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමට ගත් තීරණයට පසු දින ආණ්ඩුවේ දිනමිණ පුවත්පත පළ කළ පුවතය.
“මැතිනිය යූ.ඇන්.පී. කොන්ත්‍රාත්තුවක් කරන්නේ. මේ වගේ ප්‍රේමදාස නැති වෙලා විජේතුංග වගේ දුර්වල නායකයෙක් යටතේ යූ.ඇන්.පී.යේ ගැටුම් පටන් ගන්න වේලාවක තිලක් වගේ යූ.ඇන්.පී. විරෝධී සටනේ පතාකයෙක් අයින් කරනවාද….?”

මේ එදා ඇට්ටකුණා වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ අහපු ප්‍රශ්නය ය. ඇත්තටම තිලක් ඒ වන විට ශ්‍රී ලනිපය තුළ ප්‍රබල චරිතයක් විය. භීෂණ කාලයේ නුගේගොඩ ජ.වි.පෙ. රැස්වීමක් සංවිධානය කොට ඔහු යූ.ඇන්.පී. විරෝධී දේශප්‍රේමියකු ලෙස ශ්‍රී ලනිපය තුළ පමණක් නොව රටේම නමක් හදා ගත්තේය. ඉන්පසු ශ්‍රී ලනිපයේ දේශප්‍රේමී බලවේග නැඟිටුවන්න ලක්මිණ නමින් පුවත්පතක් පටන් ගෙන ඔහු පක්‍ෂය තුළ හෙළ උරුමය නමින් මන්ත්‍රි කණ්ඩායමක් හැදුවේය. එකල මැතිනිය රෝගී වී වෛද්‍ය ප්‍රතිකාර ගන්න විදේශගත වෙද්දී යූ.ඇන්.පී.යට එරෙහිව පක්‍ෂය පාරට බැස්සුවේ තිලක්ය. ප්‍රේමදාසගේ බලය බෙදන ව්‍යාපෘතියට එරෙහිව, තොණ්ඩමන්ට එරෙහිව, කණ්ඩලම හෝටලයට එරෙහිව තිලක්ලා රට පුරා ආණ්ඩු විරෝධී ජනමතයක් නිර්මාණය කළහ. ඒත් මැතිනිය තම නායකත්වයට එරෙහිව තිලක් තම පුත් අනුරව උසිගන්වා පක්‍ෂය දෙකඩ කරන්න ගන්න උත්සාහය ඉවසුවේ නැත. මැතිනියගේ නායකත්වයට එරෙහිව තිලක් අනුරව ඉස්සරහට දමාගෙන අනුරාධපුරයට රථ යාත්‍රාවක් සංවිධානය කළේ යූ.ඇන්.පී.යට එරෙහි සටන් කරන්නේ තමන් ඇතුළු හෙළ උරුම මන්ත්‍රි කණ්ඩායම ලෙස පෙන්වමින් ශ්‍රී ලනිපයේ බලය අල්ලා ගන්නටය.

එහෙත් මැතිනිය තිලක්ලාගේ ව්‍යාපාරයට හිස ඔසවන්න නොදෙන විට තිලක් ප්‍රසිද්ධියේම මැතිනියව විවේචනය කරන්න පටන් ගත්තේය. පක්‍ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැති බවත්, ප්‍රේමදාස පරාජය කරන්න ශ්‍රී ලනිප නායකත්වයට බැරි බවත් තිලක් පුවත්පතකට පවසා තිබිණි. මීට පෙරත් තිලක් පමණක් නොව තිලක්ගේ හෙළ උරුම කණ්ඩායමේ සිටි මහින්ද රාජපක්‍ෂ, ජිනදාස නියතපාල, නෙවිල් ප්‍රනාන්දුද මාධ්‍ය හරහා පක්‍ෂ නායකත්වයට ඇනුම්පද එල්ල කොට තිබිණි.

මැතිනියගේ අවසරයකින් තොරව පක්‍ෂ ලේකම්ගේ අනුමැතියකින් තොරව මහින්ද පක්‍ෂ බල මණ්ඩල බලෙන් රැස් කොට පාද යාත්‍රා යෑමත්, පසුව පක්‍ෂ නායකත්වයේ තීරණයක් මත අත්තනගල්ලේ බණ්ඩාරනායක සමාධිය අසල සිට ගාලුමුව‍ෙදාර බණ්ඩාරනායක පිළිරුව දෙසට පාද යාත්‍රාවක් යෑමට සූදානම් වෙද්දී අනුරලා මහින්දලා තිලක්ලා එය චන්ද්‍රිකා ශක්තිමත් කිරීමක් කියා එම පාද යාත්‍රාව කඩාකප්පල් කිරීමට උත්සාහ ගැනීමත් මැතිනිය ඉවසා සිටියේ අසරණවය. ඒ පාද යාත්‍රාව සංවිධානය කරන නිට්ටඹුවේ පැවැති රැස්වීමේදී තිලක් සහ මහින්දගේ උසිගැන්වීම මත අනුර චන්ද්‍රිකාට කුණුහරුපෙන් බැන වැදී තිබිණි. මේ නිසා එදින රැස්වීම මහා අවුලක් විය. චන්ද්‍රිකාව ශ්‍රී ලනිපයට ගෙන අත්තනගල්ලේ පැවැති පළමු රැස්වීමටද අනුර, තිලක් සහ මහින්දලා වෙනම පෙළපාළියකින් පැමිණ රැස්වීම අවුල් කළහ. එම රැස්වීමේ ලලිත් සහ ගාමිණීද සිටියහ. එහිදී ලලිත් සහ ගාමිණී මැතිනියට කතා කර කීවේ ඊළඟ ජනාධිපතිවරණය දිනන්න ඕනෑ නම් අනුර, තිලක්, මහින්ද කල්ලිය මෙල්ල කර ගන්නා ලෙසය. ඔවුන් තොණ්ඩමන්ට එරෙහිවත්, සුළු ජාතීන්ට එරෙහිවත් ගෙන යන හෙළ උරුම ව්‍යාපාරය නිසා ප්‍රේමදාසට වාසි වන බවත්, ජනාධිපතිවරණය දිනන්න අවශ්‍ය සුළු ජාතික ඡන්ද දිනා ගැනීම මැතිනියට අසීරු වන බවත් ඔවුහු පෙන්වා දුන්හ.

“අපි කරන්න ඕන තොණ්ඩමන්ලාව අෂ්රෆ්ලාව ප්‍රේමදාස ළඟට තල්ලු කරන එක නෙවේ. අපිට කඩල ගන්න එක. මේ ගොල්ලෝ ප්‍රේමදාස විරෝධී කියල පෙන්නුවට යටින් කරන්නේ ප්‍රේමදාස දිනවන්න වැඩ කරන එක…”
එදා ලලිත් සහ ගාමිණී මැතිනියට තේරුම් කර දුන්නේ එලෙසය. හෙළ උරුම කණ්ඩායමේ නිර්මාතෘ සහ එහි සංවිධායක තිලක්ගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කරන්න මැතිනිය තීරණය කළේ දුර දිග හිතලාය.
තිලක්ගේ සාමාජිකත්වය තහනම් කොට අනුර කල්ලියේ කටවල් වැහීම මැතිනියගේ අරමුණ විය. තිලක්ගේ තහනම තම කල්ලියට පරාජයක් යැයි කියා ඊට එරෙහිව සටන පටන් ගන්න යැයි අනුරට බලපෑම් කළේ මහින්දලාය. තිලක් මැතිනියට එරෙහිව කතා කළේ අනුර වෙනුවෙන් බවත්, තිලක් ආරක්‍ෂා කිරීම අනුරගේ යුතුකමක් බවත් මහින්දලා පෙන්වා දුන්හ. අනුර තිලක්ගේ සාමාජිකත්වය තහනම් කිරීම ප්‍රසිද්ධියේම විවේචනය කරන්න පටන් ගත්තේ ඉන් පසුවය. අනුරව උසි ගැන්වීම පිටුපස යූ.ඇන්.පී. ආණ්ඩුව සිටින බව මැතිනිය තේරුම් ගෙන තිබිණි. මේ වනවිට නෙවිල් ප්‍රනාන්දු, නියතපාල වැනි අය මෙහෙයවූවේ යූ.ඇන්.පී. ආණ්ඩුවෙන්ය. නමුත් ඔවුන් පෙනී සිටියේ යූ.ඇන්.පී. විරෝධී සටනේ පතාක යෝධයන් සේය. අනුර තිලක් වෙනුවෙන් කතා කරන්න පටන් ගත්විට අනුරට මුවා වී අනුර කල්ලියේ අනෙක් අයත් කතා කරන්න පටන් ගත්හ. පක්‍ෂයේ එක්සත්කම සහ විනය ආරක්‍ෂා කරගෙන ඊළඟ මැතිවරණය දිනන්න නම් අනුරගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කළ යුතු යැයි මැතිනියට බලපෑම් කළේ මැතිනියගේ ඥාති, මැතිනියගේ විශ්වාසවන්ත ආරක්‍ෂකයා වූ අනුරුද්ධ රත්වත්තය. එස්.බී.ත් අනුරගේ සාමාජිකත්වය තහනම් කළ යුතුය යන දැඩි මතයේ සිටියේය. මැතිනිය අකැමැත්තෙන් ඊට කැමැති වූවාය. පහත දැක්වෙන්නේ අනුරගේ සාමාජිකත්වය තහනම් කොට මැතිනිය කළ ප්‍රකාශයයි.

“පොදු ජන අපේක්‍ෂා වෙනුවෙන් මා මේ පියවර ගත්තා”
සිරිමාවෝ මැතිනිය
“පක්‍ෂයේ විනය රැක ගැනීම, ජනතා අපේක්‍ෂාවන් ඉටු කිරීමේ සහ පක්‍ෂයේ අනාගත අභිවෘද්ධිය සඳහා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය තහනම් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නීය.
එම පුවත්පත් නිවේදනයේ මෙසේද සඳහන් වේ.

එක්සත් ජාතික පක්‍ෂය පරාජය කොට 16 වසරක් තිස්සේ පවත්නා ජනතා පීඩනය ඉවත් කොට පොදුජන අපේක්‍ෂාවන් ඉටුකිරීම මගේ ප්‍රධාන වගකීම හා යුතුකම වෙයි. මෙම පරමාර්ථය ඉටුකර ගැනීම සඳහා කුමන තරාතිරමේ සාමාජිකයකු පිළිබඳව වුවද විනයානුකූලව තීරණ ගැනීමට මම පසුබට නොවෙමි.
මේ අවස්ථාවේ පක්‍ෂය රැක ගනිමින් පොදුජන අපේක්‍ෂා ඉටුකිරීමට මට සහයෝගය දෙන ලෙස සියලු පාක්‍ෂිකයන්ට හා හිතවතුන්ට නිහතමානීව මම ආයාචනය කර සිටිමි.”
පහත දැක්වෙන්නේ එම තීන්දුවට පහර ගසමින් අනුර කළ ප්‍රකාශයය.

“යෝධයන් වගේ මන්ත්‍රින් 42ක් මා සමඟ ඉන්නවා”
අනුර කියයි
“දස මහා යෝධයන් වැනි පිරිසක් දැන් මා වටා සිටින බවත් කිසිම බියක් සැකක් නැතිව යුක්තියේ, සදාචාරයේ නාමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් සමාජයක් ගොඩනැඟීම සඳහා අතපය දිගහැර වැඩ කිරීමට දැන් මට අවස්ථාව ලැබී තිබෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර බණ්ඩාරනායක මහතා තමාගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමෙන් පසුව රොස්මීඩ් පෙදෙසේ තම නිවෙස අසල පැවැති විරෝධතා රැස්වීමකදී පැවැසීය.

එහිදී බණ්ඩාරනායක මහතා මෙසේද කීය.
ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට හැකිවන පරිදි පක්‍ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ගොඩනැඟීම සඳහා මා ගන්නා ලද උත්සාහය කඩාකප්පල් කිරීමේ යටිකූට්ටු පියවරක් වශයෙන් මගේ පක්‍ෂ සාමාජිකත්වය අද දින තහනම් කොට තිබෙනවා.
දිවංගත මගේ පියා එතුමාගේ ජීවිත පූජාවෙන් ගොඩනැඟීමට බලාපොරොත්තු වූ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් සමාජය දිනා ගැනීම සඳහා පක්‍ෂය තුළ ගෙන ගිය සටන ජනතා සහයෝගය ඇතිව ඉදිරියටත් ගෙනයන බවට මා ප්‍රතිඥා දෙනවා.
අවුරුදු 16ක් තිස්සේ මා දේශපාලනය කළා. වසර 06ක් විරුද්ධ පක්‍ෂ නායකයා ලෙස වැඩ කළා. මට අත්දැකීම් බොහොමයක් තිබෙනවා. අපි ළඟ කඩාකප්පල් වැඩ නැහැ. සියල්ල කරන්නේ යුක්තියේ සදාචාරයේ නාමයෙන්.

කැඩිච්ච පුටුවත්, රෝද පුටුවත් දැන් අප ළඟ නැහැ. එය අපේ වාසනාවක්. දශ මහා යෝධයන් වැනි මන්ත්‍රින් 42 දෙනකු මා සමඟ ඉන්නවා. එය මට වැඩ කරන්නට හොඳටම ඇති.

පාර්ලිමේන්තු මන්ත්‍රි ජිනදාස නියතපාල මහතා කතා කරමින් අනුර බණ්ඩාරනායක මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීම තරම් අනුවේදනීය අවස්ථාවක් තවත් නැතැයිද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැඟීමේ කාර්යයේ යෙදුණු ඒ මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය නැති කිරීමෙන් පක්‍ෂ නායකත්වයේත් පක්‍ෂයේත් ප්‍රජාතන්ත්‍රවාදය හෝ ප්‍රතිපත්තිය මනාව ඔප්පු වන්නේ යැයිද කීය.”

අනුර සමඟ මන්ත්‍රිවරු 42ක් ඉන්නවාය කියා අනුර කීවාට 42ක් සිටියේ නැත. මන්ත්‍රි බහුතරය ඉන්නේ පක්‍ෂය සමඟ මිස තමන් සමඟ නොවන බව තේරුම් ගත් අනුර ශ්‍රී ලනිපයේ හෙළ උරුම කල්ලියේ මන්ත්‍රිවරුන් පිරිසක් සමඟ එජාපයට එක්විය. මහින්දද අනුර සමඟ සිටියත් එජාපයට එක් වූයේ නැත. අනුරගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කළ දිනයේ මාධ්‍ය කීවේ ශ්‍රී ල.නි.ප. ගමනක අවසානය කියාය. හේතුව ජාතික පුවත්පත් හිටියේ අනුර කල්ලිය සමඟය. අනුරත් සමඟ ශ්‍රී ල.නි.ප. මන්ත්‍රි පිරිසක් ජනාධිපති විජේතුංගට සහාය පළ කොට එජාපයට එක්වූ විටද මාධ්‍ය කීවේ 1994 මහ මැතිවරණයෙන් ශ්‍රී ල.නි.ප.ය අන්ත පරාජයක් ලබයි කියාය. හේතුව එජාපයට එක් වූයේ ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහිව පාරට බැස්ස ශ්‍රී ලනිපයේ ප්‍රබල චරිතය. ශ්‍රී ලනිපය ඉවරයි කියන කතාව ඉවසා ගන්න බැරිව රිචඩ් පතිරණ මන්ත්‍රිවරයා අපූරු කතාවක් කීවේය.
“යන්න යන්න බඩ සුද්දයි…”

රිචඩ් කීවේ පක්‍ෂ විනය කඩන අය යන එක හොඳයි කියාය. එවිට අනුර කීවේ බඩ සුද්ද වෙනකොට ශ්‍රී ල.නි.ප. ලෙඩා මැරිලා කියාය.
ඒත් ශ්‍රී ලනිපය මැරුණේ නැත. වසර 17කට පසු ශ්‍රී ල.නි.ප.ය දින්නේය. ඒ එක නායකයෙක් වටා පක්‍ෂය එක් රොක්වූ නිසාය. නායකයෝ දෙන්නෙක්ට පක්‍ෂයක් ගෙන යන්න බැරිය. ශ්‍රී ලනිපය වසර 17ක් පරාජය වුණේ නායකයන් වැඩි වෙලාය.
“ඒ කියන්නේ 93 මැතිනිය ගත්ත තීන්දුවයි මෙදා විනය කඩන මහින්දවාදීන් ඉවත් කරන්න මෛත්‍රි ගත්ත තීරණයත් එකක්ද…?”
දැන්ම ඒ ගැන මුකුත් කියන්න බැරිය. ඒ මැතිනියගේ තීරණය වගේම මෛත්‍රිගේ තීරණයේද හරි වැරැද්ද අනාගතය තීරණය කරනු ඇත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *