අලූතින් ඉදිකිරීමට යෝජිත දෙමළ පාසලකට මුල්ගල තැබිම සඳහා වත්තල ඔලියමුල්ල ප්‍රදේශයට ගිය අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට ප්‍රදේශයේ මහා සංඝරත්නයෙන් හා ප්‍රදේශවාසීන්ගෙන් දැඩිව විරෝධතාවයක් එල්ල වූ අතර හූ හඬ නගමින් ප්‍රදේශවාසීන් ඔහුට බාධා කළේය.
ඊයේ (28) ජෝන් අමරතුංග මහතා ඇතුළු දේශපාලනඥයන් පිරිසක් මෙම මුල්ගල් තැබිම සඳහා වත්තල ඔලියමුල්ල ප්‍රදේශයට යන අවස්ථාවේ මහා සංඝරත්නය හා ප්‍රදේශයේ ජනතාව කෑකෝ ගසමින් පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කරමින් මුල්ගල් තැබිමට එරෙහිව විරෝධතාවය දැක්විය.
එම විරෝධතාකරුවන්ගේ විරෝධතා නොතකා අමාත්‍යවරයා වේදිකාවට නැගී සිය අදහස් ප්‍රකාශ කිරීමට සූදානම් වීමේදී දමා තිබූ පොලිස් ආරක්ෂාව මග හරිමින් වේදිකාවට කඩා වැදී මහා සංඝරත්නය ප්‍රකාශ කර සිටියේ අදාළ භූමිය ක්‍රීඩා පිටියක් සඳහා වෙන්කර තිබෙන්නක් බැවින් එහි දෙමළ පාසලක් ඉදිකිරීමට තමන් විරෝධය දක්වන බවයි.
එම විරෝධතාවය නොසැලකූ අමාත්‍යවරයා අනිවාර්යයෙන් විද්‍යාලය ඉදිකරන බවත් තබන මුල්ගල හෝ එහි දේපළවලට අලාභ හානි කරන කවරෙකුට වුවද නීතිය ක්‍රියාත්මක කරන බව පවසා සිටියේය.
එම ස්ථානයෙන් ජෝන් අමරතුංග මහතා පිටව යාමට උත්සාහ කිරීමේදී විරෝධතාවය වඩාත් උත්සන්න වූ අතර එහි පැමිණ සිටි පළාත් සභා මන්ත්‍රී ඩෝල්ටන් ජානක සූරියබණ්ඩාර මහතාගේ රථයට ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බව අදාළ මන්ත්‍රීවරයා වත්තල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසිය පරීක්ෂණ කටයුතු සිදු කරයි.