• Fri. Feb 3rd, 2023

"සරණව හදන්න බෑ සෙල්ලම් පිස්තෝලමයි ඉල්ලන්නේ"

BySandun

Aug 30, 2016

“ඔහේ හිටු සරණ, ඔහේ හිටු, දුවන්න එපා, ඔහේ හිටු සරණ”  කියමින් පොඩි හාමුදුරුවෝ උසේන් බෝල්ට් මීටර් දෙසීය දුවන වේගෙන් සරණ පිටුපස එළවූ අතර පොඩි නම ඔහොම නවතින්න, ඔහොම නවතින්න කියමින් ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ පස්සෙන් වැඩම කළ සේක. යන්තම් බෝ මළුව යටදී පොඩි නම කන්ට්‍රෝල් කරගත් ලොකු හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවෝ වදාළේ සරණ කියන දෙයක් අහන්නෙම නෑ ලොකු හාමුදුරුවනේ, මගේ සෙල්ලම් පිස්තෝලෙත් අරන් සංවිධායකකමක් ගන්න කියලා ඔය දිව්වෙ. ඒ දිව්ව දිවිල්ලට වැඩලා බෑ හාන්දුරුවනේ දුවන්නම වෙනවා කියාය. පොඩි නමට දැන් මං කී දවසක් කිව්වද ඔය භෞතික වූ දේ සංඝයා වහන්සේ වූ අපට අකැප බව.
මම නෙවෙයි මේ සරණ තමයි සෙල්ලම් පිස්තෝලෙ ළඟ තියාගත්තෙ. ළඟකදී ඉඳලා සරණ අන්තිමයි හාමුදුරුවනේ. පක්සෙ කඩන්නමයි ට්‍රයි කරන්නෙ කියා පැවැසූ සේක. පොඩිනම මං දැන් වතාවකුත් කිව්වා. මුසාවාදය අපට අකැපයි. දෙබැම හකුළා ලොකු හාමුදුරුවෝ නළල ඇල්බට් අයින්ස්ටයින් මෙන් රැලි ගන්වා ගත්තේය. ඩාර්ලි පාරේ පක්ස මූලස්ථානය පල්ලා මුසාවාද නෙවෙයි කියා පොඩි නම දිවුරා සිටි සේක.
මේ සරණ කියන දෙයක් අහන්නෙම නෑනේ. හොරු අල්ලනවා අල්ලනවා කිය කිය මීයෝ කැරපොත්තොමනේ අල්ලන්නෙ කියා නිරුත්තරව සිටි ලොකු උන්නාන්සේව තවත් නිරුත්තර කෙරුවෝය. පාගමන් ගිහින් කොයි වෙලෙත් නායකත්වය එක්ක වලි දා ගත්තු ගමන් නිසා සරණයෝ උඹට නම් සම්මජ්ජාතියේ සංවිධායකකම් ලැබෙන එකක් නෑ කියා මං කිව්වා හාමුදුරුවනේ කියා පැවැසූහ. අවුලක් නෑ කුඹුක්ගැටේ, කමල්ටත් දීලා හම්බන්තොට හිටපු නගරාධිපතිටත් දුන්නු එකේ මට නොදෙන්න හේතුවක් නෑ කියලා තමයි ඔය පිස්තෝලෙත් අරන් දිව්වෙ කිව්වෙ කියා කීහ. අපේ සරණයාටත් සංවිධායක කම් ලැබුණොත් අතකොටා මාමටයි, තංගල්ල බීච් බෝයි අයියටයි, සාරුවා සුනිල් මාමිටයිත් සංවිධායකකම් ලැබෙයිද කියා ඇස් දෙක බෝල කරන් ඇසුවෝය. සරණයි පොඩි නමයි කවදා ඉඳලාද මේ වගේ සම්පප්ප්‍රලාප කතා කරන්න ගත්තේ කියා කල්පනා කරමින් ලොකු හාමුදුරුවෝ ආයෙම නළල රැලි කර ගත්තෝය.
එතකොටම පොඩි එකෙක් පන්සල පැත්තට දුවගෙන ආවේ කෝ කෝ ඔයාලගේ ලොක්කා කෝ කියා අසමිනි. ලොක්කා යැයි පුනරුච්චාරණය කෙරූ ලොකු හාමුදුරුවෝ සිවුර සකසා ඇඳගත්තේ මට වඩා ලොක්කෙක් ඉන්නේ කවුද කියා නොඅසා අසමින්ය. පොඩි නම ලොකු හාමුදුරුවන්ගේ සිවුර පිටුපස හැංගුණු අතර, ආව පොඩි කොල්ලා, මං හෙව්වෙ සරණ කියා කියද්දීම ලොකු හාමුදුරුවන්ගේ පිටුපසින් හිනා වීගෙන ඉදිරියට ආව පොඩි නම කිව්වේ දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ කියාය. සරණ අන්න අර පැත්තට දිව්වා කියා අත දික් කරද්දීම කොල්ලා සරණටත් වේගෙන් ඒ පැත්තට දිව්ව අතර, පොඩි නම අෑත යනකල් බලාගෙන ඉඳලා මුඩු හිස අත ගාන ගමන් ලොකු හාමුදුරුවන්ට හිමීට කිව්වේ ඔන්න ඕකයි දැන් මෙහේ සැබෑ තත්ත්වේ හාමුදුරුවනේ කියාය.
අවේලාවේ දන් වළඳන්න කතා කරලා බෑ කිව්වම තව ටික දවසයි මෙහෙම අපි හොරෙන් කන්නේ, ළඟදීම මං පන්සලේ නායකත්වය අතට ගන්නවා කියා සරණ කිව්වා කියා කීවේය. ලොකු හාමුදුරුවෝ අසූ අටේ අසූ නවයේ කලබල කාලේ වගේ තක්බීර් වී සරණයා පොඩිනම එක්ක ඕවා කතා කළේ කවදද කියා ඇසුවේය. තමා නොදැනුවත්ව මොනා වුණත් ලොකු දෙයක් සිද්ධ වෙනවා කියා හිතා ගත්තේය.
මේ අතර මළුව අමදිමින් ලොකු හාමුදුරුවන්ගේත්, පොඩි හාමුදුරුවන්ගේත් කතා බහ හොරෙන් අහන් හිටියේ හීන් බබා ලොක්කාය. හීන් බබා ලොක්කා හැන්දෑවට හැන්දෑවට පන්සල පැත්තට එන්න පටන් ගත්ත දවස්වල ඉඳලා පොඩි හාමුදුරුවන්ගේත්, සරණයාගේත් පොඩි පොඩි වෙනස්කම් වෙන්න ගත්තු බව නායක හාමුදුරුවන්ට නොදැනුණා නොවේය. කිසිවක් නොවිමසාම ලොකු හාමුදුරුවෝ ආවාස ගේ පැත්තට හැරුණු අතර, පොඩි නම අයියෝ, අපේ වැඩකාරයෝ ටික සේරම මයිත්‍රී ෂීයා ගෙදර යැව්ව නේද, දැන් අපි අනාථයි නේද හීන් බබා ෂීයේ; යැයි අසමින් හීන් බබා ලොක්ක ගාවට දුවගෙන ගියේය. හීන් බබා සීයා සිටියේ දාහට අරන් නිකන්වත් දීගන්න බැරි වුණු ගානට මූණ හදාගෙන මුළු ලෝකෙම කඩා වැටුණු ගානටය. ඔහොම කනගාටු වෙන්න කාරි නෑ මොනවා උදුරගත්තත් බබා ෂීයාගෙන් අනුශාසක පදවිය උදුරාගත්තේ නෑනේ කියා ‍ෙදාඩම් ගෙඩි දෙකකුයි දෙහි ගෙඩියක උස පොඩි තැන ලොක්කගේ හිත හදන්න බෑලූ සේක. ලොක්ක කිව්වේ එහෙම නෙවෙයි හාන්දුරුවනේ පක්සය මෙහෙම දියාරු වෙලා යනවා දකිද්දී අපිට වාවන්නේ නෑ කියාය.
ජනවාරි නව වැනිදා වෙස්සන්තර රජ්ජුරුවෝ ‍ෙදාර දන් දුන්නා වගේ අසීමිත භක්තියකින් මේම මේම දුන්න නායකත්වය අරන් අපේ කොල්ලෝ සෙට් එකට කරපු මේ වැඩේ වාවන්නේ කොහොමද අසමින් අත රැඳි ඉදල අතහැර පපුවට ගහගත්තේය. ඊටත් වඩා වාවන්න බැරි කාරණාවක් ඔතන තියෙනවා කියා පොඩි නම කිව්වේ සෑහෙන සීරියස් බවක් මූණට ආරූඩ කරගනිමිනි. නසරාණි ඔක්කොටම සංවිධායකකම් දීලා දීලා, ගැමුණු ෂීයාව විතරක් හැලුවා. ඒ වගේ කැත වැඩක් බබා ෂීයා ගෙදර යැව්වට පස්සෙත් ඔය වුණාමයි කියලා අපේ සරණයා දුකට උදේ කුක්කු එක බිව්වෙත් නෑ කියා කීවේය. ඒ වෙලාවෙම සරණ ඒ පැත්තට දුවගෙන ආවේ ගැමුණු ඔබට සතුටු යි ද දැන් කියා සද්දෙට අසාගෙනය. ගැමුණුට එහෙම සතුටු නම් වරාය බලන්න ගිය අජිත්ලාට, සුජීවලාට එරාන්ලාට කොච්චර සතුටු ඇතිද කියමින් සරණ හෙණ ස්පීඩ් එකේ ඤාව් ඤාව් ඤාව් ගා සෙල්ලම් පිස්තෝලෙන් අහසට වෙඩි තියාගෙන තියාගෙන ගියේය.
එතකොට මේ අපි ජනවාරි අටෙන් පස්සේ පැතුව ලෝකයමද මේ හාන්දුරුවනේ යැයි අසා සෙල්ලම් පිස්තෝලයෙන් තවත් වෙඩිල්ලක් අහසට නිකුත් කළේය. ඒකෙන් මේකෙන් පන්සල් මූලස්ථානයේ බලය අල්ලන වැඩෙත් කල් යනවා කියා කිව්වේය. මට මේක භාර දෙනවා නම් ඉන්දියාවේ එක එක දේවාල ගාණේ ගිහින් ආරක්‍ෂාව අනතුරේ දාගන්නේ නෑ, පන්සල පණ වගේ බලා කියා ගෙන හොරු අල්ලගෙන ඉන්නවා කියා කීවේය. අන්තිමට සංවිධායකකම් ලැබුණේ නැත්තෙ මටයි ගැමුණුටයි විතරද කියා ඇසුවේය. ඒකෙන් මේකෙන් මූලස්ථානයේ බලය අල්ලලා තුන් වේලම සැපට කාලා බීලා පින් කැටය බලාගෙන සෆාන් එකේ ඉන්න එක තව ටිකක් කල් යනවා කියා කීවේය. සරණ ඔයා නම්… කියා ඔරෙව්ව පොඩි සාධු කිව්වේ කොච්චර කිව්වත් වැඩක් නෑ පක්ස කඩලා දිට්ඨධම්මව විඳවන විදිය හීන් බබා ෂීයාගෙන් වත් ඉගෙන ගන්නෙ නෑනෙ කියාය.
බබා ෂීයා කිව්වේ, ඔහොම අහස පොළොව නුහුලන අපරාධ කතා කියන්න එපා හාමුදුරුවනේ, දෙයියම්පා සිරිකොත ගාව පාර කාපට් කරලා දුන්නා ඇරෙන්න, උදේට හවසට කෝපි බීලා අභ්‍යන්තරයෙන් ආව අවපීඩන තත්ත්වයෙන් අරයව ගොඩ දැම්මා ඇරෙන්න, ජීවිතේට අපි පක්ස කඩනවා තියා එහෙම දේවල් ගැන අහලාවත් තිබ්බේ නෑ කියාය. පව් කුක්කු බබා කියා සරණ අහසට වෙඩිල්ලක් තැබුව අතර, සරණගේ නරක වෙලාවට එය පත්තු වී ලොකු හාමුදුරුවෝ ඔහේ හිටු කියාගෙන මිදුලට වැඩම කර මයිත්‍රීය උපදවා වදාළේ පොඩි නම හරි, සරණව හදන්න බෑ කියාය.

 

  • සුභාෂිණී ගුණරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *