පසුගිය දිනක flashback සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්රනාන්දුගේ බිරිඳ ඇයගේ 32 වැනි උපන්දිනය සමරනු ලැබුවා.
ළඟදී දවසක උපන් දිනය සැමරුවා නේද?
ඔව්, උපන් දිනය සැමරුවා. දැන් අවුරුදු 32ක්.
රොෂාන් ප්රනාන්දුගේ පෙම්වතිය වීම,අහඹුවක් නේද?
ඔව්. ඒ කාලේ ඉඳලම රොෂාන් අයියා මගේ කැමැතිම ගායකයා. හෝමාගම හබරකඩ ෂෝ එකකදී මම නිකන් ගිහින් කතා කළාම එයා මට ෆෝන් නම්බර් එක දුන්නා. ඊට පස්සේ මාස 6ක් විතර ෆෑන් කෙනෙක් විදියට කතා කළා.
ඒ මාස හය අවසානේ රොෂාන් ඔබේ පෙම්වතා වුණාද?
අනේ නැහැ. එයා මගෙන් ඇහුවා. අහලා අපේ අම්මාට කතා කළා. ඊට පස්සේ රොෂාන් අයියලාගේ ගෙදරින් අපේ ගෙදර ආවා. එතැනින් පස්සේ තමයි අපි විවාහ වුණේ.
ඒ කාලේ හිතුණද ලංකාවේ ජනප්රිය පුද්ගලයකු සමඟ විවාහ වෙන්න ලැබෙයි කියලා?
අනේ නෑ. මම හිතුවේ නැහැ. මට එහෙම සිතිවිල්ලක්වත් තිබුණෙ නැහැ. ඒක ඇත්තටම අහඹු දෙයක්. මම හිතන්නේ රොෂාන් අයියා මට මගේ වාසනාවට ලැබුණු කෙනෙක්.
ජනප්රියත්වය ජීවිතේට එද්දී තිළිණිටත් මුල අමතක වුණාද?
මාව ආශ්රය කරන අය දන්නවා මම එහෙම වෙනස් වුණු කෙනෙක් නෙවෙයි කියලා. මම එහෙම හිතලා ඉන්නේ නැහැ. අහංකාර වුණොත් ඒක රොෂාන් අයියටත් හොඳ නැහැ. එයාගෙ රසිකයෝ වුණත් මාත් එක්ක තරහ වෙයි.
ජනප්රිය පුද්ගලයකුගේ බිරියක් විදියට සමාජය ඉදිරියට යද්දී වැඩියෙන්ම සැලකිලිමත් වන දේවල් මොනවද?
තැනට ගැළපෙන විදියට අඳිනවා. සාරියක් අඳින්න ඕන තැනට සාරියක් අඳිනවා. පාසලට යන්නේ අම්මා කෙනකුට සුදුසු විදියට. මම ජනප්රිය පුද්ගලයකුගේ බිරියක් වුණත් නැතත් මම අම්මා කෙනෙක්නේ.
විලාසිතා කරන විට සැලකිලිමත් වන දේවල් තියෙනවද?
ඔව්. ඒත් මම එහෙම විලාසිතා කරන්නේ නැහැ. ලිප්ස්ටික් ටිකක් ගාලා අයි ලයින් අඳිනවා විතරයි. රොෂාන් අයියා නම් මට බනිනවා තියෙන ලස්සන රැක ගන්න කියලා.
රොෂාන් නිතරම ගෙදර නැති නිසා ගෙදර වැඩකටයුතු තනිවම සැලසුම් කරගන්නේ කොහොමද?
ගොඩක් වෙලාවට රොෂාන් අයිය රෑට ෂෝවලට ගිහින් ඇවිල්ලා දවල් දවසෙන් භාගයක්ම නිදියනවා. මම හුඟක් වෙලාවට ගෙදර වැඩ සේරම කරනවා. එයාට ගෙදර කටයුතුවලට උදවු වෙන්න වෙලාවක් නෑ. මම කොහොමත් එයාට කරදර කරන්නේ නැහැ.
බබාලා තුන්දෙනෙක් තනියම බලාගන්න පුළුවන්ද?
පුංචි යුද්ධයක් වගේ තමයි. දුවට දැන් 12යි. දෙවැනි පුතාට 9යි. තුන්වැනියට 5 1/2යි. තුන්දෙනාම ඉස්කෝලෙ යනවා. හුඟක් වෙලාවට ඒ තුන්දෙනාගේ වැඩ මගේ අතින් කෙරුණත් රොෂාන් අයියා විවේකයෙන් ඉන්නවා නම් දරුවන්ගේ කටයුතුවලට උදවු වෙනවා.
තාත්තා කෙනෙක් විදියට රොෂාන් දරුවන්ට සමීපයිද?
ඔව්. එයා ආදරේ වැඩියි. දරුවන්ට හැමදේම අරන් දෙනවා. මම නම් කියන්නේ ටිකක් තදට ඉන්න කියලා. ඒත් රොෂාන් අයියා දරුවන්ට තරවටු කරන්න කැමැති නැහැ. දරුවෝ නිදියන වෙලාවට රොෂාන් අයියා කතන්දර කියනවා. ඒ වෙලාවේ එයාම හදපු කතා රඟපාලා කියන්න රොෂාන් අයියා හරි දක්ෂයි.
ඔබේ සැඟවුණු දක්ෂතාව රටට හඳුන්වා දුන්නෙත් රොෂාන් නේද?
ඔව්. දැනුත් මට කියනවා තවත් සින්දුවක් කියන්න කටහඬ හදාගන්න කියලා. මම බබාලට කෑගහද්දිත් කෑගහන්න එපා කියනවා. ඩොක්ටර් මට කිව්වා සති දෙකක් අඩුවෙන් කතා කරන්න කියලා. කටහඬ හදා ගන්න. ඒත් බබාලා එක්ක එහෙම ඉන්න බෑ. කොහොමද ඉතින් කතාව අඩු කරලා ඉන්නේ.
බබාලා තුන්දෙනාටම ගායන හැකියාව පිහිටා තියෙනවද?
ඒ ගැන තවම හරියට කියන්න බැහැ. දුවට සින්දු කියන්න පුළුවන්. පොඩිම පුතත් සින්දු කියන්න ආසයි. එයා රොෂාන් අයියටත් කියලා දෙනවා. දුවට හොඳට කවි එහෙම ලියන්න පුළුවන්. තුන්දෙනාම අනාගතයේදී ගායන අංශයෙන් ඉදිරියටම යයි කියලා හිතනවා.
අඩු වයසින් දරුවන් තුන්දෙනෙක් ලබන්න වාසනාවන්ත වුණා නේද?
ඔව්. රොෂාන් අයියා නම් කැමැති වුණේ බබාලා හතර දෙනකුට. ඒත් මට එයාට දෙන්න පුළුවන් වුණේ බබාලා තුන්දෙනෙක් විතරයි. ඒ ගැන පුංචි දුකක් තියෙනවා. ඒ වුණත් එක පැත්තකින් සතුටුයි. දරුවො තුන්දෙනෙක්ම ඉන්නවනේ.