• Sat. Jan 28th, 2023

මගේ ස්ථානයට සුදුසු ක්‍රීඩකයා ධනංජය ද සිල්වායි. (Video)

BySandun

Sep 12, 2016

හතරේ පහරවල් එල්ල කළ හැකි ක්‍රීඩකයන් කොතෙකුත් හිටියද හයේ පහරක්‌ එල්ල කිරීමට තරම් ශක්‌තිමත් ක්‍රීඩකයකු ශ්‍රී ලංකා කණ්‌ඩායම තුළ නොමැති බව පවසන ටී. එම්. ඩිල්ෂාන් එවැනි ක්‍රීඩකයකු ක්‍රීඩා සමාජ තරගාවලියක හෝ තමන් දැක නොමැති බව සඳහන් කර සිටියි.

ඔස්‌ට්‍රේලියානු පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඉකුත් 09 වැනිදා පැවැති විස්‌සයි/20 තරගය ඩිල්ෂාන්ගේ අවසන් ජාත්‍යන්තර තරගය වූ අතර එම තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඩිල්ෂාන් ඉහත අදහස්‌ පළ කර සිටියේය.

”අපිට හයියෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකයෝ ගොඩක්‌ අඩුයි. අපිට ඉන්නේ හතරේ පහර ගහන ක්‍රීඩකයෝ. හයේ පහර ගහන්න ශක්‌තිය තියෙන ක්‍රීඩකයෝ නැහැ. ක්‍රීඩා සමාජ තරගාවලියේදීවත් මම එහෙම ක්‍රීඩකයෙක්‌ තවම දැකලා නැහැ” යි ඩිල්ෂාන් පවසයි.

”අනිත් හැම කණ්‌ඩායමකම එවැනි ක්‍රීඩකයන් ඉන්නවා. විශේෂයෙන් නොම්මර 6, 7 ස්‌ථානයෙන් ඇවිල්ලා හයේ පහරක්‌ දෙකක්‌ ගහන ක්‍රීඩකයකුට අපිට ඉන්නේ තිසර (පෙරේරා) විතරයි. ඔහුව හරි මාර්ගයට දාලා පුහුණුවීම් ලබාදිය යුතුයි. විස්‌සයි/20 තරග ගත්තහම මෙය අනිවාර්යය දෙයක්‌. ලෝක කුසලානයට කලින් මේ තත්ත්වය අපි වෙනස්‌ කරගත යුතුයි” යෑයි ඩිල්ෂාන් පවසයි.

වසර 17 ක්‌ පුරා ශ්‍රී ලංකා කණ්‌ඩායම නියෝජනය කරමින් ජයග්‍රහණ රාශියකට මං පෙත් විවර කර දුන් ඩිල්ෂාන් තමන්ගේ සමුගැනීමත් සමග හිස්‌වන ස්‌ථානය ලබා ගැනීමට සුදුසුම ක්‍රීඩකයා වන්නේ නවක ක්‍රීඩක ධනංජය ද සිල්වා වන බව සඳහන් කරයි.

”ඔහුට දඟ පන්දු යෑවීමේ හැකියාවත් තියෙනවා. ඒ වගේමයි පන්දු රැකීමත්. මේ තරගයේදීත් ඔහු හොඳින් ක්‍රීඩා කළා. ඒ ක්‍රීඩා කළ ආකාරය අනුව ඔහුට ගොඩක්‌ දුර ගමනක්‌ යන්න පුළුවන් කියලා මම හිතනවා” යි ඩිල්ෂාන් පවසයි.

ඔස්‌ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්‌ට්‌ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සාර්ථකම පිතිකරුවා බවට පත්වූ ධනංජය ලකුණු 325 ක්‌ ලබාගැනීමට සමත් විය. එක්‌දින තරගාවලියේදී ලකුණු 131 ක්‌ ලබාගත් ධනංජය ශ්‍රී ලංකාවට කඩුලු 4 ක පරාජයක්‌ ගෙන දෙමින් අවසන් වුණු දෙවැනි විස්‌සයි/20 තරගයේදී ද ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 128 න් ලකුණු 62 කම හිමිකරුවා බවට පත්විය.

”එයා මාත් එක්‌ක ද්‍රවිඩ සංගම් කණ්‌ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කරනවා. මම ඔහුව ඉස්‌සරවෙලාම දැක්‌කෙ මීට අවුරුද්දකට විතර උඩදි. ඒ වෙලාවෙම මම පුහුණුකරුවන්ට කිව්වා මේ වගේ ක්‍රීඩකයෙක්‌ ඉන්නවා ඔහු ගැන බලාගෙන ඉන්න කියලා. ධනංජය වගේම කුසල් අපේ ක්‍රිකට්‌ ක්‍රීඩාව අනාගතයේදී බොහෝ දුරට ඉදිරියට අරගෙන යාවි”යි ඩිල්ෂාන් සඳහන් කරයි.

1999 වසරේ සිට 2016 දක්‌වා කාලයේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ඩිල්ෂාන් සිය ක්‍රිකට්‌ දිවියේ අමතක නොවන අවස්‌ථාවන් අතර පළමු ටෙස්‌ට්‌ තරගයට සහභාගිවීම සහ ලෝඩ්ස්‌ හිදී රැස්‌ කරන ලද ලකුණු 193 ක ඉනිම සඳහන් කළ හැකි බව පවසා සිටියි.

”මගේ වසර 17 ක කාලය තුළ සෑහෙන්න තියෙනවා අමතක නොවන සිදුවීම් තියෙනවා. විශේෂයෙන් කියන්න ඕන පළමු ටෙස්‌ට්‌ තරගය. බොහොම අමාරුවෙන් තමයි කණ්‌ඩායමට ආවේ. ඒ වගේම ලෝඩ්ස්‌වල ලබාගත් ලකුණු 193. මට ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද හැම ක්‍රීඩකයෙක්‌ම ආස කරන දෙයක්‌ තමයි ලෝඩ්ස්‌වල ශතකයක්‌ ලබාගැනීම. ඒ ඇරෙන්න හැම තරගයක්‌ම මට අමතක වෙන්නේ නැහැ. මොකද හැම තරගයක්‌ම මම ක්‍රීඩා කරන්නේ ජයග්‍රහණය කරන්න බලාගෙන නිසා” යි ඩිල්ෂාන් කියයි.

40 වැනි වියට ඉතාමත් ආසන්නයේ සිටිමින් සිය ජාත්‍යන්තර තරග දිවියට සමුදුන් ඩිල්ෂාන්, ක්‍රීඩකයකු කිසියම් දුර්වලතාවයක්‌ හඳුනාගත්තේ නම් ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බවද පෙන්වා දෙයි. එහිදී පන්දු රැකීම වඩාත් වැදගත්ම අංශය බව පෙන්වා දෙන හෙතෙම, එම අංශය වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් හිටපු පුහුණුකරුවකු වන ට්‍රෙවර් පෙනී මහතා ලබා දුන් සහයෝගය ඉතාමත් වටිනා එකක්‌ බව ඩිල්ෂාන් පැවැසීය.

”මට මතකයි මගේ පන්දු රැකීම දියුණු කරගන්න හැමදාම පුහුණුවීම් ඉවර වෙලා යන්න කලින් තනි ඉන්නට පන්දු 10 ක්‌ ගහන්න කියලා ට්‍රෙවර් පෙනී අභියෝගයක්‌ ලබා දුන්නා. පළවැනි දවසේ මට ඒක කරන්න පන්දු 100 ක්‌ විතර විසිකරන්න වුණා. ඒත් මාසයකට වගේ පස්‌සේ පන්දු 12 කින් විතර තනි ඉන්නට 10 වතාවක්‌ ගහන්න මට පුළුවන් වුණා” යෑයි පවසන ඩිල්ෂාන් තරුණ ක්‍රීඩකයන් පන්දු රැකීම පිළිබඳව වඩාත් උනන්දු විය යුතු බවද පෙන්වා දෙයි.

විදෙස්‌ තරගාවලි සඳහා තමන්ට ඇරයුම් ගණනාවක්‌ මේ වන විට ලැබී තිබෙන නමුත් සමුගැනීමෙන් පසු වසරක කාලයක්‌වත් සිය පවුලේ උදවිය සමග කාලය ගත කිරීමට තමා බලාපොරොත්තු වන බව ඩිල්ෂාන් පවසයි.

”වෘත්තීය මට්‌ටමින් මම කවදාවත් ක්‍රිකට්‌වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක මම දැඩිව ඉන්න තීරණයක්‌. මම හිතන්නේ ඒක කවදාවත් වෙනස්‌ වෙයි කියලා. ඒත් මම දන්නේ දේ සතියකට හෝ දෙකකට ඇවිල්ලා කියලා දෙනවා හැරෙන්නට මගේ සහයෝගය වෘත්තීය මට්‌ටමින් කිසිම දිනෙක ක්‍රිකට්‌ ක්‍රීඩාවට එන එකක්‌ නැහැයි කියලා විශ්වාසයෙන් කියන්න ඕනෑ” යි ක්‍රිකට්‌ සම්බන්ධව ඉදිරි සැලසුම් පිළිබඳ විමසීමේදී ඩිල්ෂාන් සඳහන් කර සිටියේය.

දේශපාලනයට පැමිණීමේ බලාපොරොත්තුවක්‌ තිබේද යන්න නගන ලද පැනයට අවසන් වශයෙන් පිළිතුරු දෙමින් එවැනි බලාපොරොත්තුවක්‌ තමාට නොමැති බවත් එහෙත් හොඳ දෙයක්‌ කිරීම වෙනුවෙන් රටේ නායකයෙක්‌ තමාට ආරාධනා කර සිටියහොත් අනිවාර්යයෙන්ම ඔහු පිටුපසින් සිටගන්නා බව ඩිල්ෂාන් සඳහන් කර සිටියි.

”දේශපාලනය ගැන මම මුකුත් දන්නේ නැහැ. මට පාටක්‌ පක්‌ෂයක්‌ නැතිව හැමෝම ආදරය කරනවා. මම ආස නෑ ඒ දේ නැති කරගන්න. දේශපාලනයට එන්නේ ජනතාවට සේවය කරන්න. ඒත් ඇමැතිවරයෙක්‌ හෝ මන්ත්‍රීවරයෙක්‌ නොවී මට ඒ දේ කරන්න පුළුවන් කියලා මම හිතනවා. රටේ ඕනෑම නායකයෙක්‌ මට හොඳ දේකට ආරාධනා කළොතින් මම අනිවාර්යයෙන්ම දේශපාලනයෙන් තොරව ඒ නායකයා පිටුපස්‌සෙන් හිටගන්නවා. ඒ හැරෙන්න දේශපාලනයට ඒමේ බලාපොරොත්තුවක්‌ නැහැ”යි පැවැසීය.

චමිල කරවිට
උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *