• Mon. Feb 6th, 2023

රජකම උරුම ජපානයේ කුමරා

BySandun

Sep 13, 2016

ඔහුගේ කුඩා දෙනෙත් දීප්තියෙන් බබලන්නට පටන්ගෙනය. සිඟිති මුව පුරා ඇදී ගිය ලජ්ජාශීලී සිනහවෙන් මුලු වතම රතු පැහැ ගැන්වී තිබූ නිසා කවුරුත් සිතුවේ ඔහු හඬන්නට සැරසෙන බවකි. එහෙත් මේ ප්‍රියමනාම පුංචි කොලුගැටයා ජපානයේ සියලු කොලු ගැටයන් සේම නිදහසේ ළමා විය භුක්ති විඳිමින් සිටියි.

කුඩා දරු පැටවුන්ගේ සීමාමායිම් නොමැති කෙළි කවටකම්වලින් අඩුවක් නොතිබු මේ සුරතල් කොලුගැටයා සිය වැඩිමල් සොයුරියන් දෙදෙනා සමග තෝකියෝ නුවර ගොවිපලක පසුගියදා තම දසවැනි උපන් දිනය සැමරු අයුරු අන්තර්ජාලය මගින් ලොව පුරා ජනතාව සියැසින් දැකබලාගත්තේය. වයසින් හා සිරුරෙන් කුඩා වුවත් ඔහු ගැන ලෝක අවධානය යොමු වූයේ මේ ප්‍රසන්නශීලී කොලුගැටයා හිරු නැගෙන දේශය නමින් විරුදාවලිය ලැබූ ජපානයේ රාජකීය ඔටුන්නට හිමිකම් කියන තුන්වැන්නා වන බැවිනි.

ජපානයේ වැසියන් දේවත්වයෙන් වැඳුම් පිදුම් කළ හිරෝහිතෝ අධිරාජයාගේ මී මුනුපුරා ලෙසත්, වර්තමානයේ එරට සිහසුන දරා සිටින අකීහිතෝ රජුගේ එකම මුනුපුරා ලෙසත් කාගෙත් ආදරය දිනූ පුංචි හිසාහිතෝ කුමරු එරට සිහසුනට හිමිකම් කියන තුන්වැන්නාය.

82 හැවිරිදි අකීහිතෝ අධිරාජයාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය බෙහෙවින් පිරිහී ඇති බැවින් සිය පුත්‍රයා වන නරුහිතෝ කුමරුට ඉදිරියේදී රජකම ලැබීමට නියමිතය. එරට රාජකීය සම්ප්‍රදායට අනුව නරුහිතෝ කුමරුගේ බාල සොයුරු අකිෂිනෝ කුමරුට ඔටුනු පැළඳීමේ වාසනාව හිමිවන්නේ සිහසුනට හිමිකම් කියන ඔහුගේ වැඩිමල් සොයුරු හදිසියේ මෙලොව හැරදා ගියොත් පමණි. එසේ නොමැතිනම් ඊළඟට සිහසුනට හිමිකම් කියනු ලබන්නේ තුන්වැනි පරම්පරාවෙන් බිහිවන පුත් කුමරුටය.

වසර 1989දී හිරෝහිතෝ අධිරාජයාගේ අවෑමෙන් සිහසුනට පත්වූ අකිහිතෝ රජුට සිය වැඩිමල් පුතු නරුහිතෝ කුමරුගෙන් පසුව ජපානයේ සිහසුනට හිමිකම් කියන්නට තුන්වැනි පරම්පරාවෙන් පුතු කුමරුකු බිහිනොවීම දශක ගණනාවක් පුරා තිබු ලොකුම හිසරදය බවට පත්වී තිබිණි.

සිහසුනට හිමිකම් කියන නරුහිතෝ කුමරුට සිටි එකම දරුවා දූ කුමරියක වූ බැවින් ද, ඔහුගේ බාල සොයුරු අකිෂිනෝ කුමරුට උපන් දරු දෙදෙනාම දියණියන් වූ බැවින්ද මේ කනස්සල්ල වසර ගණනාවක් පුරා පැවැතිණි.screen-shot-2016-09-13-at-1-09-54-pm

නරුහිතෝ සහ අකිෂිනෝ කුමාරවරුන්ගේ බාල සොයුරිය සයාකෝ කුමරිය එරට සාමාන්‍ය වැසියකු සමග විවාහ වී සිටි බැවින් ඔවුන්ගේ පුත් කුමරුවන්ට රාජභිෂේක ලැබීමේ වරම් අහිමි වී තිබිණි. එබැවින් ජපාන රජපවුලේ දශක ගණනාවක් පුරා ඇදී ගිය පුත් කුමරුන්ගේ අඩුව එරට රාජකීයත්වයට තිබූ එකම අභියෝගය බවට පත්වී තිබිණි. ඒ වෙද්දී රජ පවුලට දූ කුමරියන්ගෙන් අඩුවක් නොතිබූ බැවින් සම්ප්‍රදාය වෙනස් කොට දූ කුමරියන්ටත් සිහසුන දැරීමේ අයිතිය ලබාදීම කෙරෙහි රජ පවුලේ අවධානය යොමුවීමටත් පටන්ගෙන තිබිණි.

ඒ සම්බන්ධව කෙටුම්පත් සකස්කොට එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔන්න මෙන්න කියා තිබියදි ඒ සියලු සැක සංකා දුරු කරලමින් වසර 2006 දී සිඟිති ‘හිසාහිතෝ කුමරු’ උපන්නේ සිහසුනේ අයිතියත් හිසින් දරාගෙනය. මේ වාසනාවන්ත පුත් කුමරුගේ බිහිවීමත් සමග ජපාන රාජකීය පවුලට නව ජිවයක් ලැබුණු බව අමුතුවෙන් කිව යුතු නැත. දශක හතරකට වැඩි දීර්ඝ කාලයකට පසුව රජපවුලට උපන් එකම පිරිමි දරුවා වන බැවින් හිසාහිතෝ කුමරුට ඇත්තේ එසේ මෙසේ වටිනාකමක් නොවන බවත් අමුතුවෙන් කිව යුතු නැත.

වසරින් වසර හිසාහිතෝ කුමරු වැඩිවියට පත්වෙද්දී එරට රාජකීයත්වයේ මෙන්ම සාමාන්‍ය වැසියන් අතරේ ද ඔහුගේ ප්‍රතිරූපය ඉහළින්ම ගොඩනැගෙන්නට පටන්ගත්තේය.

ඊයේ පෙරේදා තෝකියෝ නුවර ගොවිපලක සිය වැඩිමල් සොයුරියන් වන කාකෝ සහ මාකෝ කුමරියන් සමග සිය දසවැනි උපන් දිනය සැමරීම ලොව පුරා කතාබහට ලක්වූයේ එවැනි පසුබිමකදීය.

පසුගිය අගෝස්තුවේ දී සිය පුත්‍රයාට ඔටුන්න බාරදීමට සූදානම් බවට අකිහිතෝ අධිරාජයා ප්‍රකාශ කිරීමත් සමග පුංචි හිසාහිතෝ කුමරුගේ ජනප්‍රියත්වය සීඝ්‍ර ලෙස ඉහළ ගිය බැව් එරට මාධ්‍ය පැවසීය.

මිනිත්තු දහයකට පමණ සීමාවූ ජපාන අධිරාජයගේ කතාවෙන් පසුව කාගෙත් අවධානය යොමුවූයේ අනාගත රජු නරුහිතෝ කුමරු වෙත නොව ඊළඟට සිහසුනට හිමිකම් කියන පුංචි හිසාහිතෝ කුමරු වෙතය.

පස්වැනි ශත වර්ෂය දක්වා ඇදී යන ජපාන අධිරාජ්‍යයට හිසාහිතෝ කුමරු එක්වීමට නියමිතව ඇත්තේ 127 වැනි රජු වශයෙනි. එබැවින් මේ අනාගත රජු සුරක්ෂිතව රැක බලාගැනීමේ රාජකීය වගකීමක් ඔහුගේ පිය කුමරුට සහ කිකෝ මවු කුමරියට පැවැරී තිබේ.

නිදහසේ සිය ළමාවිය භුක්ති විඳින හිසාහිතෝ කුමරුට නොඅඩුව ආදරය ලබා දෙන රජ පවුල දැන් ඔහු කිරීටයට සූදානම් කිරීමේ අඩිතාලම දමමින් සිටී.

හිසාහිතෝ නමෙහි අරුත වන්නේ ප්‍රසන්න හා ධර්මිෂ්ඨ බවය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පුංචි කුමරු ඉදිරියේදී යහපත් දිවිපෙවෙතකට උරුමකම් කියනු ඇතැයි ජපාන වැසියෝ බලාපොරොත්තුවෙන් පසුවෙති.

සිය ළමාවිය සාමාන්‍ය දරුවන් සේම සැහැල්ලුවෙන් ගෙවා දමමින් සිටින හිසාහිතෝ කුමරු අධ්‍යාපන කටයුතුවලට දක්වන්නේ දැඩි උනන්දුවකි. හෙතෙම එරට ඔචනෝමිසූ විශ්ව විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ උපාධිධාරියකු බවට පත්වූයේ 7 හැවිරිදි වියේදීය. ජපාන රජ පවුලේ සම්ප්‍රදායික ගකුෂුයින් ප්‍රාථමික පාසලේ අධ්‍යාපනය නොලැබ ඉන් පිටත පාසලක අධ්‍යාපනය හැදෑරූ රජ පවුලේ පළමු සාමාජිකයා ද ඔහුය.

රජ පවුලේ අනාගත උරුමක්කාරයා ලෙසින් අසීමිත ගෞරවයක් හා කීර්තියක් උපතින්ම ගෙන ආවත් ඒවා භුක්ති විඳීමට පුංචි හිසාහිතෝ කුමරු තවමත් සූදානම් නැත. ඔහුට කරන්නට ඊට වඩා වෙනත් රාජකාරි ගොඩාක් ඉතිරිව තිබේ. බයිසිකල් පැදීමටත්. පිය කුමරුගේ මනස්කාන්ත ගොවිපලේ සිත් සේ දුව පැන නටන්නටත්, තමාට වඩා වයසින් බොහෝ වැඩිමල් සොයුරියන් දෙදෙනාට කෙළිකවටකම් කොට හිනැහෙන්නටත් ආසා කරන හිසාහිතෝට කිරීටය තවමත් බර වැඩිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *