වෛද්‍යවරුන්ගේ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ලබා දී නැති ය කියන එක ඇත්තක් නො වේ. කිසියම් හේතුවක් නිසා පාසලක් නො ලැබුණු ඕනෑ ම දරුවකුට දරුවා පදිංචි කලාපයේ අධ්‍යාපන අධ්යක්ෂවරයා හමු වූ විට පාසලක් ලබා ගත හැකි ය.
වෛද්‍යවරුන් ස්ථාන මාරු ලබා ගත් විට ඔවුන්ගේ සේවා ස්ථානයට ආසන්න පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතු ය. හේතුව, රජයේ සේවකයන් ලෙස, ආයතන සංග්‍රහය අනුව ඔවුන් තම රෝහලට ආසන්න ස්ථානයක පදිංචි වී සිටිය යුතු නිසා ය.
එහෙත්, අනිවාර්යයෙන් ම, කොළඹින් හා ප්‍රධාන නගරවලින් ජාතික පාසල් ම ලබා දිය යුතු ය කියා එකක් නැත. මහජන ආයතනයක් වන රජය එවැනි වගකීමක් භාර ගැනීම ද සමානාත්මතාව නො සලකා හැරීමකි.
ස්ථාන මාරු ලැබෙන්නේ දොස්තරලාට පමණක් නො වේ. වෙනත් රජයේ සේවකයන් ද ස්ථාන මාරුවලට ලක් වෙති. බොහෝ ස්ථාන මාරු සිදු වන්නේ අභිමතය පරිදි ය. පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේදී ස්ථානමාරු වෙනුවෙන් පමණක් නොව, විදේශයන්හි සිට සිය රට පැමිණීම වෙනුවෙන් පවා වෙන වෙන ම විශේෂ අවස්ථා ලබා දී තිබේ.
එහෙත් මේ සියල්ල ම රජයේ සේවකයන්ට ය. රටේ ආර්ථිකයට සැබැවින් දායක වන පෞද්ගලික අංශයට, විදේශ ශ්‍රමිකයන්ට මේ කිසිදු වරප්‍රසාදයක් නැත.
මේ වෛද්‍යවරුන්ගේ දරුවන්ට මාස නමයක් තිස්සේ පාසල් නැති කතාව ම අමූලික බොරුවකි. එක්කෝ එම දරුවන්ට පාසල් ලබා දී තිබියදී ඔවුන් එම පාසල්වලට ගොස් නැත. නැතිනම්, ඔවුන් සිය දරුවන්ට පාසල් නො ලැබුණු බව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී නැත.
මෙය වනාහි මාස කීපයකට ඉහතදී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට ළමයින් ඇතුළත් කරන්නට අපේක්ෂා කළ දරුවන් පිරිසකගේ මව්පියන් සමග එක්ව රඟ දැක්වූ නාටකයේ මීළඟ කොටසයි. ඒ සියලු දරුවන්ට නිවෙස් ආසන්නයේ පාසල් ලබා දී තිබිණි. එ්වායේ ගැටලු තිබිණි නම් ඒවා විසඳිය හැකිව තිබිණි. එහෙත්, ඒ සටන කෙරුණේ මීගහතැන්න ප්‍රාථමිකයට ම දරුවා ඇතුළත් කරන්නට ය. ඒ දරුවන් අවසානයේදී ඇතුළත් කරනු ලැබුවේ ඔවුන්ගේ නිවෙස්වල සිට කිලෝ මීටර් 20කටත් වඩා දුරින් මතුගම නගරයේ පිහිටි පාසලකටයි.
රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ මෙම වර්ජන තර්ජනය අතිශය අසාධාරණ ය. කෙනෙකු වෛද්‍යවරයකු වූවා ය කියා එම පුද්ගලයාගේ දරුවා අනිවාර්යයෙන් ම ඉහළ පෙළේ පාසලකට ඇතුළත් කිරීමේ වගකීමක් රජය කිසි සේත් භාර නො ගත යුතු ය. පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් බඳවා ගැනීමේ සාමාන්‍ය පටිපාටියට පිටින් සුවිශේෂ වරප්‍රසාද නො දිය යුතු ය.
එම පටිපාටිය ද නිවැරදි කළ යුතු ය. පසුගිය යුද සමයේ මෙහෙයුම් ප්‍රදේශවල සිටි හමුදා සාමාජිකයන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම සඳහා ලබා දුන් සුවිශේෂ පදනම ද ඉවත් කිරීමට කාලය පැමිණ ඇත.
අධ්‍යාපන කාර්ය මණ්ඩලවල අයට දී තිබෙන සුළු වරප්‍රසාදය පවා ඉවත් කළ යුතු ය.
වැඩි ම දූෂණයක් සිදු වන පදනම ආදි ශිෂ්‍ය පදනමයි. එවැනි පදනමක් අවශ්‍ය ම නැත.
රජය කළ යුතුව තිබෙන්නේ සෑම දරුවකුට ම පදිංචි නිවසට ආසන්න ම පාසල ලබා දීමයි.
අනෙක් පැත්තෙන් රජය විසින් කළ යුතුව තිබෙන්නේ සෑම පාසලකට ම පහසුකම් ලබා දී සංවර්ධනය කිරීමයි. එහිදී ජනප්‍රිය නො වන පාසල්වලට වැඩි පහසුකම් ලබා දිය යුතු ය. ජනප්‍රිය පාසල්වලින් ප්‍රාථමික පංති ඉවත් කර ප්‍රාථමික පාසල් ජනප්‍රිය පාසල් සමග අනුබද්ධ කිරීම ද කළ හැකි ය.
රජය විසඳුම් දිය යුත්තේ ජනප්‍රිය පාසල් තරගයට මිස මෙවැනි ප්‍රෝඩාවලට නො වේ.
- අජිත් පැරකුම් ජයසිංහ
3lanka.com