මේ පෝස්ටර මා දැක්කේ රාගම රෝහල අසල තාප්පයක අලවා තිබියදීය. දැක්ක විගසම මට කියවුණේ තූ නොදකින් කියාය. මට මතක් වුණේ හිපොක්‍රටීස්ගේ මූණය. උන්දෑ මළේ වෙලාවටය. හිටියා නම් මේවා දැකලා වහ බොනවාය.
අපේ රටේ පාසල් 10,358 ක් තිබේ. ඒවායින් පාසල් 4,157 ක පන්ති ඇත්තේ 5 ශ්‍රේණිය හෝ 8 ශ්‍රේණිය දක්වා පමණි. සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපනය ලබා දෙන පාසල් 3,744 කි. උසස් පෙළ පන්ති ඇත්තේ පාසල් 2,457 ක පමණි. ඒවායින් විද්‍යා විෂය ධාරාව උගන්වන පාසල් ඇත්තේ 590 ක් පමණි. එම පාසල් අතුරින් 323 ක් ජාතික පාසල් ගණයට වැටේ.
අපේ රටේ පාසල් යන දරුවෝ ලක්ෂ 40ක් සිටිති.
ඉන් ලක්ෂ 5 ක් ඉගෙනුම ලබන්නේ ‘ජාතික’ පාසල්වලය. ඉතිරි ලක්ෂ 35 ම ඉගෙනුම ලබන්නේ ‘ජාතික නොවන’ පාසල්වලය. ලංකාවේ පාසල් යන වයසේ සිටින දරුවන්ගෙන් 6.3% ක් පාසල් යන්නේ නැත.
අපේ අධ්‍යාපනය ඇත්තේ මෙවැනි අර්බුදයකය. ගමේ පාසලේ ගුරුවරු නැත. ඩෙස් පුටු නැත. පංති කාමර අබලන්ය. වැස්සට තෙමෙනවාය. අව්වට වේලෙනවාය. වැසිකිළියට නම් යන්නට තියා හිතන්නටවත් බැරිය. නමුත් අපේ රටේ දරුවෝ මේ පාසල්වලට යති. ඒ වෙන කරන්නට දෙයක් නැති නිසාය. ඔවුන්ගේ ප්‍රශ්න උදෙසා මැදිහත් වෙන්නට කවුරුත් නැති නිසාය.
GMOA දොස්තරලා තමන්ගේ දරුවන්ට ජාතික පාසල් ඉල්ලන්නේ මෙවැනි වටපිටාවක සිටය. ඔවුන් සිතා සිටින්නේ දොස්තරලා යනු හෙනම පිරිසක් කියා විය යුතුය. ඔවුන්ගේ දරුවෝ හෙනම දරුවෝ කියා විය යුතුය. අනිත් දරුවෝ නොදරුවෝ කියා විය යුතුය. නැත්නම් තමන්ගේ දරුවන්ට විතරක් පාසල් ඉල්ලන්නේ නැත. තමන්ගේ දරුවන්ට පාසල් ඉල්ලා රටේ දරුවන්ගේ ජීවිත අනතුරේ හෙළන්නේ නැත.
(මහත්?)වරුනි, ඔබට කීමට මට කතාවක් තිබේ. ඒ ඔබේ ගෝත්රවාදය මා පිළිකුල් කරන බවය. ඔබේ බමුණු කුලය මට ඔක්කාරය ගෙන දෙන බවය. ඔබ වැනි වෘත්තීය සමිති සිටින රටක වෛද්‍ය ශිෂ්‍යයකු වීම මට ලැජ්ජාවක් බවය. මේ රටේ සුවහසක් අහිංසක දූ පුතුන්ගේ අධ්‍යාපන අයිතිය අහෝසි වන විට ඒ ගැන වචනයකුදු නොදොඩා ඔබ මේ කරන ක්‍රියාව අන්තිම පිළිකුල් සහගත බවය. කම්කරුවන්ගේ, ධීවරයින්ගේ, ගොවීන්ගේ, ගුරුවරුන්ගේ ප්‍රශ්න උදෙසා කිසිවිටෙක පෙනී නොසිටින ඔබ, වෘත්තීය සමිති වාදී බල ලෝභයෙන් උමතු වූ අමනයින් පිරිසක් බවය. මේ රටේ දහස් ගණනක් මානව හිතවාදී උතුම් වෛද්‍යවරුන්ට ඔබ ද්‍රෝහී වූ බවය. ඔවුන් විසින් යුග ගණනාවක් තිස්සේ උපයා ගන්නා ලද වෘත්තීය ගරුත්වය ඔබ මොහොතකින් කෙලසා දමන ලද බවය.
දෙමව්පියන් වෛද්‍යවරුන් වීම නම් දරුවන් ලද ශාපයක් වන්නට බැරිය. නමුත් දෙමව්පියන් ඔබ වැනි අවස්ථාවාදී නරුමයින් වීම නම් නිසැකවම දරුවන් ලද ශාපයකි. දරුවන් පමණක් නොව මුලු මහත් මානව සමාජයම ලද ශාපයකි.
– Deshan Nimrod