• Mon. Mar 20th, 2023

මහින්දව එපා කියලා සෙන්තුල් විහාරයට කඩා වැදුණෙ කවුද?

BySandun

Sep 18, 2016

ඔබ වහන්සේගේ නම මොකක්ද?
බූටාවත්තේ සරණංකර හිමි. දැනට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පිහිටි සෙන්තුල් විහාරයේ විහාරාධිපති විදියට කටයුතු කරනවා.
ඔබ වහන්සේ මැලේසියාවට වඩින්නේ කිනම් වර්ෂයේද?
1984දි. මැලේසියාවේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයට ගියේ. ඒ පන්සලට සෙන්තුල් විහාරය කියලත් කියනවා.
මැලේසියාවේ සෙන්තුල් විහාරස්ථානය ආරම්භ වුණේ කුමන කාලයේද?
මේ විහාරස්ථානය ආරම්භ කරලා අවුරුදු1 00කට වැඩියි. ගාල්ලේ ධම්මසිරි නායක හාමුදුරුවෝ අපවත් වුණාට පසුව මේ පන්සලේ විහාරාධිපති වහන්සේ වෙලා මේ පන්සලට ආවා.
මේ විහාරස්ථානය තුළ පසුගියදා සිදුවූ සිද්ධියට මේ වන විට ලෝක ප්‍රසිද්ධියක් ලැබී තිබෙනවා නේද? ඇත්තටම එදා සිදුවුණේ කුමක්ද?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අපේ පන්සලට එන්න ඉන්නවා කියලා රාවයක් ප්‍රචාරය වුණා. ඒකට විරුද්ධව තමයි පිරිසක් පන්සල අසලට ඇවිල්ලා විරෝධතාව දැක්වූයේ. එම පිරිස කිව්වේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ අත්වල ලේ තැවරිලා තියෙනවා. එහෙම අපිරිසුදු වුණු කෙනෙක් මේ වගේ පූජනීය ස්ථානයකට ගෙන්නන්න එපා කියලා විරෝධතා දැක්වූවා. මේ වගේ සිද්ධියක් මැලේසියාවේදී වුණේ පළමුවැනි වරට.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මෙම විහාරස්ථානට එන්න කියලා ඔබ වහන්සේ ආරාධනා කර තිබුණාද?
මං ආරාධනා කළේ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මැලේසියාවට ආවොත් මෙහෙ තියෙන පන්සල් කිහිපයකට බොහෝ විට එනවා. ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට පෙරත් මට කතා කරලා දැනුම්දීමක් කර තිබුණා හිටපු ජනාධිපතිතුමා මේ පන්සලට එනවා කියලා.
මෙම විරෝධතාකරුවන් ඒ විරෝධය දැක්වීම සඳහා එම දිනය තෝරාගෙන තිබුණේ ඇයි?
මහින්ද රාජපක්ෂ මහතා ඒ දිනයේ අපේ පන්සලට එයි කියලා හිතාගෙන තමයි මේ විරෝධතාකරුවන් විරෝධය දැක්වූයේ. ඒ අසල වෙනත් පන්සලකට මහින්ද රාජපක්ෂ මහතා ආවා. විරෝධතාකරුවන් හිතුවේ ඒ එක්කම අපේ පන්සලටත් මහින්ද රාජපක්ෂ මහතා එයි කියලා. ඊට පහුවෙනිදා තමයි රාජපක්ෂ මහතා එන්න හිටියේ.
විරෝධතාකරුවන් විහාරස්ථානය ඇතුළටම ආවද?
ඔව්. ඇතුළටම ඇවිල්ලා කිව්වා ඉල්ලීමක් ඉදිරිපත් කරන්න තියෙනවා කියලා. ඒ එක්කම මාත් එක්ක කතාබහ කරන්න ඕන කියලත් කිව්වා. ඔවුන්ගේ එකම ඉල්ලීම වුණේ මහින්ද රාජපක්ෂට මේ විහාරස්ථානයට එන්න දෙන්න එපා කියන එක. ඒ ඉල්ලීම අසාධාරණයි. ඕනෑම කෙනකුට ආගමික ස්ථානයට එන්න පුළුවන් කියලා මං තේරුම් කරලා දෙන්න හුඟක් වෙලා උත්සාහ ගත්තා. ඕනෑම කෙනකුට පන්සලට ඇවිල්ලා යන්න පුළුවන් කියලා මං කිව්වහම ඔවුන් ටිකක් සැරට කෑකෝ ගහලා කලබල කරන්න පටන් ගත්තා.
කලබලකාරී ලෙස ඔවුන් හැසිරුණේ කොහොමද?
ඔවුන් සටන් පාඨ කියමින් විශාල වේලාවක් කෑගැහුවා. සටන් පාඨ බෝඩ්වල ලියලා තිබුණා. ඉතාම නරක වචන කියමින් මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කළා. ඒවා හුඟක් ප්‍රසිද්ධියේ කියන්න බැරි දේවල්.
කොපමණ සංඛ්‍යාවක් විරෝධතාවයේ යෙදී සිටියාද?
50ක් විතර මෙම විරෝධතාවට එක් වී සිටියා.
මෙහිදී ඔබ වහන්සේට පහරදීමක් හෝ තල්ලු කිරීමක් නැත්නම් තෙරපීමක් සිදු කළාද?
එවැනි දේවල් සුළුවෙන් සිදුවුණා. මා ඒක ගණන් ගත්තේ නැහැ. මේ සිද්ධිය මැඬපවත්වන්නයි මට ඕන වුණේ. මේක දිගටම ගියොත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙලා ජාතිවාදී ලෙස ඒවා එළියට එන්න පුළුවන්. ඒ වගේම මේ සිද්ධිය මුල් කරගෙන ඊට දේශපාලන මුහුණුවරක් ලබාදීම වැනි දේවල් පන්සලක් හැටියට කරන්න බැහැ. භික්ෂුන් වහන්සේ නමක් විදියට මං බැලුවේ පුළුවන් තරම් සන්සුන්ව මෙම ගැටලුව විසඳීමට.
ඔබ වහන්සේගේ මැදිහත් බවට විරෝධතාකරුවන් දැක්වූ ප්‍රතිචාරය කුමක්ද?
යම් සන්සුන්තාවක් පෙන්නුම් කළත් සුළු පිරිසක් ඉතා අශෝභන ලෙස හැසිරුණා. මේ සේරම කට්ටියට පානය කිරීමට ජලය පවා ලබාදුන්නා. මෙම විරෝධතාව මුලින්ම සාමකාමීව කරගෙන ගියා. පස්සේ තමයි ටික දෙනෙක් ඇවිල්ලා කලබලකාරී තත්ත්වයක් ඇති කළේ. මේ සියලු සිදුවීම්වලින් පසුව දැඩි ලෙස කලබල කළ දෙදෙනකු ඇවිල්ලා වැඳල මගෙන් සමාව ගත්තා. ඊට පසුව ඔවුන්ට තේ පැන් සංග්‍රහයකුත් දීලා සුහදව කතාබහ කළා.
මේ සිද්ධියට පොලිසිය පැමිණියාද?
පොලිසිය පැමිණියා. විරෝධතාකරුවන්ට මං දක්වපු ප්‍රතිචාරය පොලිසියට විශ්වාස කරන්න පවා බැරි වුණා.
මෙම පිරිසගේ හැසිරීමට කවුරුවත් විරුද්ධ වුණේ නැද්ද? ශ්‍රී ලාංකික පිරිස් එහෙම හිටියේ නැද්ද?
එහෙම කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. ශ්‍රී ලංකාවේ කට්ටිය හොඳ වෙලාවට ඒ වෙලාවේ මෙතැන නොහිටියේ. හිටියා නම් අනිවාර්යයෙන්ම දෙපිරිස අතර විශාල ගැටුමක් සිදු වෙනවා. සමහර කලබල කළ අයට ඒ අයගේම කිහිප දෙනෙක් අවවාද කරනවාත් මං දැක්කා.
මේ පිරිස සම්බන්ධයෙන් පොලිසිය නීතිය ක්‍රියාත්මක කළාද?
පොලිසිය මගෙන් ඇහුවා මේ සිද්ධිය ගැන පොලිස් පරීක්ෂණ කරන්නද කියලා. මං අවශ්‍ය නැහැ කිව්වා. ඕවා ගැන දිගින් දිගටම පරීක්ෂණ සිදු කර කර සිටියොත් මේ ගැටලුව තවත් වැඩි වෙයි කියලා හිතන නිසයි මං පොලිසියට කිව්වේ පරීක්ෂණයක් අවශ්‍ය නැහැ අවවාද කරලා මේ අය හදාගන්න බලමු කියලා.
පන්සලට ඇවිල්ලා ඔබ වහන්සේට විරෝධය දැක්වූ පිරිස කවුද?

හරියටම කියන්න බැහැ. පන්සලට හිතවත් දෙමළ බෞද්ධයන් කියන්නේ ඒ අයටත් මේ කට්ටිය හඳුනාගන්න බැහැ කියලා. කොටි හිතවාදීන්ද දෙමළ ඩයස්පෝරාවද තමිල්නාඩුවෙන් පැමිණි පිරිසක්ද කියලා හරියට කියන්න බැහැ. නමුත් ඔවුන්ගේ සටන් පාඨවලින් නම් පෙන්නුම් කරන්නේ ඔවුන් මහින්ද රාජපක්ෂ මහතා සමඟ දැඩි වෛරයකින් පසුවන බවයි. ඔවුන් විවිධ සංවිධාන කිහිපයකම නියෝජිතයන් කියලත් කතාවක් පැතිර ගියා.
මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති අයි. අන්සාර් මහතාට පහරදීමේ සිද්ධිය පිළිබඳ ඔබ වහන්සේගේ අදහස?
මං ඇතුළු මැලේසියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේ සිද්ධියෙන් දැඩි කම්පාවට පත් වුණා. ඒක කිසිසේත්ම සිදු නොවිය යුතු දෙයක්. ගුවන් තොටුපොළට ඇතුළුවෙලා ඒ ආකාරයෙන් පහරදීම ඉතා භයානක තත්ත්වයක්. පහරදුන් පුද්ගලයන් අහලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළට ආවද කියලා. එතැන මහින්ද රාජපක්ෂ මහතා හිටියා නම් විශාල ගැටලුවක් සිදු වෙන්න තිබුණා. ඒ නිසා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට පහරදීම ගැන මැලේසියාවේ ආරක්ෂක අංශ දැඩි අවධානය යොමු කළ යුතුයි.
මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති අන්සාර් මහතා හා ඔබ වහන්සේ අතර තිබුණේ කෙබඳු හැඳිනීමක්ද?
අන්සාර් මහතා ඉතාම හොඳින් රාජකාරි කරන මහත්මයෙක්. අපිත් එක්ක බොහොම සම්බන්ධයි. අපේ පන්සලට ඇවිල්ලා විරෝධතා දැක්වූ වෙලාවෙදි ඒ ගැන වහාම සොයා බලන්න අන්සාර් මහතා කටයුතු කළා. මට කරපු හිරිහැර මං ගණන් ගන්නේ නැහැ. නමුත් අපේ තානාපති අන්සාර් මහතාට කළ පහරදීම ගැන මට නම් තියෙනනේ බරපතළ හිත් තැවුලක්.
අන්සාර් මහතාට පහරදුන්නේ පන්සලට ඇවිල්ලා විරෝධය පළ කළ පිරිසේ යම්කිසි කට්ටියක්ද?
ඒ ගැන නම් කියන්න මං හරියට දන්නේ නැහැ. අන්සාර් මහතාට පහරදුන් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනවා. සමහර විට පන්සලට ආපු කට්ටිය හා තානාපතිවරයාට පහරදුන් කට්ටිය අතර සම්බන්ධයක් ඇති.
මේ පහරදීමෙන් පසුව අන්සාර් මහතා ඔබ වහන්සේට මුණගැසුණාද?
ඔව්. මං අන්සාර් මහතා බලන්න ගියා. මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කළා. තව මාස 2කින් විතර අන්සාර් මහතාගේ සේවා කාලය මං හිතන්නේ අවසන් වෙනවා. ඊට පසුව දීර්ඝ කරයිද නැද්ද කියලා හරියට දන්නේ නැහැ. තවම අන්සාර් මහතා සේවය කරනවා. පන්සලේ සිද්ධියෙන් හා ඒ මහතාට කළ පහරදීමෙන් අන්සාර් මහතා දැඩි කනගාටුවකින් පසුවන බවයි මා දුටුවේ.

 – මව්බිම –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *