• Mon. Jan 30th, 2023

ලසන්ත ඝාතනයට හවුල් යුධ හමුදා බුද්ධි නිලධාරීයාව රියැදුරු හඳුනා ගනී..! – ගෝඨා අත්අඩංගුවට ගැනීම නුදුරේදීම

BySandun

Sep 28, 2016

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පසුගියදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර්වරයා හඳුනාගැනීමේ පෙරට්ටුවකට  ඉදිරිපත් කරනු ලදුව ඔහුව හඳුනාගැනීමට ලසන්තගේ රියදුරුට හැකිවී තිබේ.

ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා වීරසිංහ මහත්මිය ඉදිරියේ මෙම හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්විණ.

ඒ අනූව ලසන්තගේ ඝාතනයෙන් පසු ඔහුගේ රියදුරුට තර්ජනය කළ බව පැවසෙන අදාළ හමුදා බුද්ධි අංශ සාමාජිකයා රියදුරු විසින් හඳුනා ගැනීමට සමත්වූ බව ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අතුල එස්.රණගල මහතා පැවසුවේය.

මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමෙන් පසු එහි නිලධාරීන් උපරිම විනිවිදභාවයකින්  එය සිදුකරන බව මේවන විට පැහැදිලි වී ඇති බවද ඒ මහතා ‍ කියා සිටියේය.

ඒ අනූව මෝටර් රථය තුළදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වූ අවස්ථාවේ සිද්ධිය ඇසින් දුටුවෙකුගෙන්ද ලබන 03 වැනිදා සාක්ෂි කැඳවීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා අද නියෝග කළ බව නීතීඥ අතුල එස්.රණගල මහතා කියා සිටියේය.

ඝාතනය වූ අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු ඔහු පැළඳී හෙල්මටය ඉවත් කර ඒ දෙස බලන ආකාරය දැක ඇති  ඇසින් දුටු සාක්ෂිකරුවෙකු  ලබන 03 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර මේවන විට රිමාන්ඩ් භාරයේ පසුවන හමුදා සාමාජිකයා එදින නැවත හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළ බව රණගල මහතා පැවසීය.

එසේම මෙම හමුදා සාමාජිකයා හිටපු පුවත්පත් කතෘවරයෙකු වන උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද චෝදනා ලැබ ඇති බැවින් ගම්පහ අධිකරණයේ විභාගවන නඩුවකට ඉදිරිපත් කිරීමට නියමිත බවක්ද ඔහු කියා සිටියේය.

පසුගිය පාලනය බරපතළ ලෙස විවේචනයට ලක් කළ මාධ්‍යවේදීයෙකු වූ ලසන්ත වික්‍රමතුංග මහතා 2009 වසරේ ජනවාරි 08 වනදා අත්තිඩිය ප්‍රදේශයේදී කුරිරු ලෙස ඝාතනයට ලක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *