ජල භීතිකාව ඉතා භයානක රෝගයක් බවත් රෝගය වැලඳුණහොත් අනිවාර්යයෙන්ම මියයන බවත් වයිරසය ආසාදිත ගෘහාශ්‍රිත සතුන් හා කැලෑ සතුන් සපා කෑම නිසා රෝගය බෝ වන බවත් සියයට 95ක් ම බෝවන්නේ සුනඛයන් සපා කෑමෙන් බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුල්මිණි කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.
මේ රෝගය මිනිසකුගෙන් තවත් මිනිසකුට පැතිරෙන්නේ නැහැ. ඒ බවට සාක්කියක් නැහැ.
තවමත් බෙහෙතක් සොයා ගැනීමට නොහැකිවූ 100%ක්ම මාරාන්තික රෝගයක් වන ජල භීතිකා රෝගය වයිරසය හැදුණු සුනඛයෙක් හෝ වෙනත් ගෘහාශ්‍රිත ක්ෂීරපායි සතකු සපා කෑමෙන්, වයිරසය ආසාදිත එළදෙනකුගේ හෝ එළුවකුගේ කිරි උණු නොකර පානය කිරීමෙන්ද රෝගය වැලඳීමට පිළිවන්. ඒ වගේම ජලභීතිකාව ආසාදිත අයකුගේ අවයව ඒ බැව් නොදැනුවත්ව වෙනත් අයකුට බද්ධ කිරීමෙන්ද ඇතිවිය හැකියි.
රෝගකාරක වයිරසය ශරීරගත වී සතියකින් රෝගය හැදුණු අයත් අවුරුදු 20ක් පමණ ගතවී රෝගය හැදුණු අයත් ඉන්නවා. රෝග ලක්ෂණ පෙන්වීමට සාමාන්‍යයෙන් මාසයක් – මාස තුනක් අතර කාලයක් ගතවෙනවා. රෝගියා ආක්‍රමණශීලීව හැසිරෙනවා වතුර බොන්න බැහැ. හුස්ම ගන්න බැහැ. මාංස පේශි සංකෝචනය වෙනවා. සමහරුන් ආක්‍රමණශීලී වෙන්නෙ නැහැ.
ජලභීතිකාව යැයි සැක සහිත සතකු සපා කෑවොත් සතාගේ හිස කපා වෙන්කර පරීක්ෂණ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයට එවීම රටට කරන සේවයක්. පැය විසිහතරම ආයතනය ජලභීතිකා පරීක්ෂණ සිදුකර වාර්තා පැය 48ක් ඇතුළත ලබා දෙනවා.
2016 මේ වන විට ජලා භීතිකාවෙන් මියගිය 12 දෙනාගෙන් 9ක් පිරිමි. සුනඛ පැටව් සපා කෑමෙන් හතර දෙනෙක් මිය ගිහින් තිබෙනවා. පාරේ දමා ගොස් සිටින සුනඛ පැටව් ගෙදර ගෙන යන්න එපා. ඒ වගේම අයාලේ යන සතුන්ට කන්න දෙන්නත් එපා’ යැයි ඒ මහත්මිය පැවසුවාය.
දයා පෙරේරා