• Fri. Feb 3rd, 2023

බැරැක් ඔබාමාගේ පෙම්කතාව – Southside with You

BySandun

Sep 29, 2016

ඇමෙරිකානු සිනමා නිර්මාණ අතරේ, අමෙරිකානු ජනාධිපතිවරුන් පිළිබඳවද චිත්‍රපට රැසක් නිර්මාණය වී ඇත. මෙම ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානය ගෙන ඇත්තේ චිත්‍රපට 30 කට අධික ගණනකට පාදක වූ ඒබ්‍රහම් ලින්කන් චරිතය වන අතර, ජෝජ් වොෂින්ටන්, ජෝන් කෙනඩි, තියඩෝර් රූස්වෙල්ට්, රොනල්ඩ් රේගන්, ඇඩෘ ජොන්සන්, රිචඩ් නික්සන්, ජෝජ් ඩබ්ලිව් බුෂ්, බිල් ක්ලින්ටන් ආදී වූ බොහෝ චරිත අළලා ද චිත්‍රපට නිර්මාණය වී ඇත.

අමෙරිකා එක්සත් ජනපදයේ 44 වැනි සහ වත්මන් ජනපති බරක් ඔබාමා චරිතය ඇසුරෙන්ද චිත්‍රපට අටක් මේ වනවිට නිර්මාණය වී ඇත. ‘2016: ඔබාමා’ස් අමෙරිකා’, ‘බැරී’, ‘චේන්ජ්’, ‘ඩ්‍රීම්ස් ෆ්‍රොම් මයි රියල් ෆාදර්’, ‘අයි වෝන්ට් යුවර් මනී’, ‘ඔබාමා ඇනක් මෙන්ටෙන්ග්’, ‘ඔබාමා මමා’, ආදී නම් වලින් තිරගත වුණු මේවායින් බොහොමයක් වාර්තා චිත්‍රපට වේ. මෙම චිත්‍රපට ගොන්නට එක් වන නවතම චිත්‍රටය ‘සවුත් සයිඩ් විත් යූ‘, වන අතර එය ජනපති ඔබාමා සහ ඔහුගේ බිරිඳ වන මිෂෙල් රොබින්සන් යුවල ගේ ආදර කතාවේ ආරම්භය අළලා නිමැවුණු චිත්‍රපටයකි.

තරුණ ඔබාමා සහ මිෂෙල් හමුව සිදුවෙන්නේ ඔබාමා, චිකාගෝ හි නීතීඥ සමාගමක් වන ‘සිඩ්ලි සහ ඔස්ටින්’ සමාගමේ සේවය කරන අවස්ථාවේ දීය. එහිදී නීතීඥ මිෂෙල් රොබින්සන්ට ඔබාමාගේ උපදේශක වරිය ලෙසින් තෙමසකට පත්වීමක් ලැබේ. 1989 වර්ෂයේ ගිම්හානයේ දිනෙක, තරුණ නීතිවේදියෙක් වන බරක් ඔබාමා සිය උපදේශකවරිය වන නීතීඥ මිෂෙල් රොබින්සන් මුණ ගැසෙයි. චිත්‍ර ප්‍රදර්ශනයක සිට එකල තිරගත වූ ඇමෙරිකානු හාස්‍යජනක චිත්‍රපටයක් වූ ‘ඩු ද රයිට් තින්ග්’ හි තිරගත කිරීමක් දක්වා යන මොවුන්ගේ ගමන මෙම චිත්‍රපටයේ දැක්වේ.

20160929-obama-4රිචඩ් ටැනී ගේ අධ්‍යක්ෂණයෙනුත්, රිචඩ්, ටීකා සම්ප්ටර් සහ රොබට් ටීටල් ගේ නිෂ්පාදනයෙනුත් නිමැවුණු මෙම චිත්‍රපටය පසුගිය අගෝස්තු 26 වනදා සිට තිරගත වීම ආරම්භ විය. පාකර් සෝයර්ස් සිය ප්‍රථම ප්‍රධාන චරිතය රඟ දක්වමින් බරක් ඔබාමා ලෙසත්, ටීකා සම්ප්ටර් මිෂෙල් ලෙසත් මේ සඳහා දායක වන අතර වැනේසා බෙල් කලෝවේ, ෆිලිප් එඩ්වඩ් ආදීන් සෙසු නළු නිළියෝ වෙති.

මෙම චිත්‍රපටයට සම්බන්ධ වූ බොහෝ දෙනා ප්‍රවීණයන් නොවන නමුත්, අමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක පමණ ඉතා අඩු පිරිවැයකින් නිමැවුණු මෙම චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 6.3 ක ආදායමක් වාර්තා කිරීම සුවිශේෂී ය. විනාඩි 84 කින් සමන්විත මෙය මිරමැක්ස් සහ රෝඩ් සයිඩ් ඇට්‍රැක්ෂන්ස් බෙදා හැරීමකි. ‘සවුත් සයිඩ් විත් යූ‘, බොහෝ විචාරකයින්ගෙන් පැසසුම් ලත් චිත්‍රපටයක් බවට පත් වී ඇත. ඓMඪ්ඹ් වෙබ් අඩවියේ එය 6.7/10 ක ලකුණු ප්‍රමාණයක් වාර්තා කර ඇති අතර, රෝටන් ටෝමාටෝස් හි සියයට 88 කුත්, මෙටා ක්‍රිටික් හි සියයට 74කුත් වාර්තා කර ඇත. මෙහි රංගන ශිල්පීන් ඉහළ දක්ෂතාවයන් පෙන්වා ඇති අතර, ප්‍රේක්ෂකයින් හා සම්බන්ධ විය හැකි දෙබස් ද සමඟින් මෙම චිත්‍රපටය ඉතා හොඳ ‘පළමු දින ආදර කතාවක්’ ලෙස නිර්මාණය වී ඇති බව රෝටන් ටෝමාටෝස් හි ප්‍රමුඛ විචාරය පවසයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *