• Thu. Feb 2nd, 2023

වසර කිහිපයකට පෙර තණමල්විල , හම්බෙගමුව ප්‍රදේශයේ දී වූ ප්‍රචණ්ඩකාරී හැසිරීම් නිසා “නියපොත්තා ” ලෙසින් ප්‍රසිද්ධ වූ මෙම දැවැන්තයා හොරොව්පතාන අලි රැඳවුමට නිදහස් කරනු ලැබූ අතර අලි ගාලේ අධි වෝල්ටීයතාවයෙන් යුත් විදුලි වැට තෙවරක් බිඳ සිය නිදහස් ජීවිතයක් වූ අරගලය සිදුකරන ලදී.

අනුරාධපුර පරසංගස්වැව, පදවිය හා අවසන් වරට කැබිතිගොල්ලෑවෙන් නැවත නැවතත් අල්වා හොරොව්පතාන අලි රැඳවුම තුල මෙම අලියා සිරගත කරන ලදී.

ටොන් 5.5කට වඩා බර ශරීරයත්, අඩි 9.5කට වඩා උසකින් හෙබි විශාල පෞරුෂයකුන් හෙබි මෙම සත්වයා හොරොව්පතාන අලි ගාලේ සිරකරුවෙකු නොකරන ලෙසටත්, එය අලියාගේ සෞඛ්‍ය තත්වය පිරීහීමට හේතුවන බවත් වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චන්දන සූරිබණ්ඩාර , සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ තාරක ප්‍රසාද්, අලි සංරක්ෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂ යූ.එල්. තවුෆීක් යන මහත්වරුන්ට දිගින් දිගටම පෙන්වා දුන්නෙමු.

දීර්ඝකාලයක් හේන් ආශ්‍රිත භෝග මත යැපී ඇති මෙම දැවැන්තයාගේ ජීවිතයට ඇති අනතුර පෙනවා දුන්නෙමු.

තම ජීවිතයට ඇති අනතුර පිළිබඳ දැනුනු මෙම දැවැන්තයා අලි ගාලෙන් පිටතට ඒමට උත්සාහ කිරීමේදී වනජීවි දෙපාර්තමේන්තුවේ නියෝගය ලැබුණේ ජීව උණ්ඩ යොදා අලියාට වෙඩි තබන ලෙසය.

හොරොව්පතාන අලි ගාලට ආහාර ලබා දී මෙම සතුන් සඳහා නිවැරැදි සුපෝෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනා ලෙසට බල කලෙමු.

එවකට වනජීවි ඇමති ගාමිණී ජයවික්‍රම මහතා ඇතුලු නිළධාරීන් සමග දිගින් දිගටම සාකච්ඡා සිදුකරමින් ඉල්ලා සිටියේ මෙම අලි ගාලේ අලි ඇතුන් මුහුණපා ඇති ඛේදනීය තත්වයෙන් ඔවුන් මුදවා ගන්නා ලෙසය.

අවසානයේ දී වනජීවි දෙපාර්තමේන්තුවේ පරිපාලනයේ ඇති අකාර්යක්ෂම දූෂිත බව පසක් කරමින් දෛනිකව ආහාර කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය ‘ඇලෙක්සැන්ඩර්’ වෙනුවෙන් ‘වට්ටක්කා කිලෝග්‍රෑම් 8ක්’ ලබාදීමට දෙපාර්තමේන්තු අනුමැතිය ලැබුණි.

එයද අලිය හට ලැබුණේද යන්න අපි නොදනිමු .

රුක්ෂන් ජයවර්ධන ,සජීව චාමිකර , නයනක රන්වැල්ල වැනි පරිසරවේදීන් අවස්ථා තුනකදී යෝජනා කලේ හොරොව්පතාන අලි රැඳවුමේ ජල මූලාශ්‍ර පිරිසිදු කර, ඒ තුල අලි ඇතුන් සඳහා සොබාවික ආහාර ශාක වගා කරන යෝජනා කලේය.

මහජන මුදලින් පඩි ලබනා යූ.එල්. තවුෆීක් වැනි නිළධාරීන් බිහිරි අලින් සේ ඒ සියල්ල අසා සිටියා මිස මේ දක්වා සිදුකල කිසිවක් නැත.

අවසානයේ දී ඇලෙක්සැන්ඩර් ආහාර හිඟ වීම හා ශරීරයේ තිබූ අප්‍රමාණ තුවාල පැසවා මියගියේය .

අලි 6000කට ආසන්න ප්‍රමාණයක් සුරැකීමට පිඹුරුපත් සකසන වනජීවි දෙපාර්තමේන්තු පරිපාලනයට හොරොව්පතාන අලි ගාලේ අලින් 10 වත් රැකගැනීමට නොහැකි වී ඇත. පිං පඩි ලබනා අලි සංරක්ෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂ තවුෆීක් වැනි නිළධාරීන්ට තවත් ඉර පායයි ද..?

Shashikalana Ratwatte

Leave a Reply

Your email address will not be published. Required fields are marked *