• Fri. Feb 3rd, 2023

මුලතිව් පොලීසිය මගින් අත් අඩංගුවට ගත් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් ඊයේ (15) සවස පොලිස් ඇපමත නිදහස් කර තිබෙනවා.

නීතිඥවරයෙකු ඇපවීමෙන්  පසු මන්ත්‍රීවරයා පොලිස් ඇපමත නිදහස් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් ලබන අප්‍රේල් මස දෙවනිදා (02) ශිවාජිලිංගම් මන්ත්‍රීවරයාට මුලතිව් දිසා අධිකරණය වෙත පෙනී සිටින ලෙස මුලතිව් පොලීසිය දැනුම් දී තිබෙනවා.

පෙබරවාරි මස 22 දා මුලතිව් වට්ටුවාල් ප්‍රදේශයේ නාවික හමුදා කඳවුරක් ඉදිරිපිට ඉඩම් ඉල්ලා උද්ඝෝෂණය කරමින් සිටි අවස්ථාවේදී එතැනට පැමිණි මුලතිව් දිස්ත්‍රික් මිනින්දෝරුවරයාගේ හා ඉඩම් නිලධාරීවරයාගේ රාජකාරියට බාධා කිරීම මෙන්ම ඔවුන්ගේ වාහන වලට ඉදිරියට යාමට ඉඩ නොතබා අවහිර කිරීම යන කරුණු මත එම නිලධාරීන් දෙදෙනා මුලතිව් පොලීසියට පැමිණිලි කර තිබුණා.

ශිවාජිලිංගම් මන්ත්‍රීවරයාට මෙන්ම උතුරු පළාත් සභාවේ රවිහරන් මන්ත්‍රීවරයාටද එරෙහිව එම නිලධාරීන් දෙදෙනා පොලීසියට පැමිණිලි කරනු ලැබුවා.

පෙබරවාරි මස 24 දා එම මන්ත්‍රීවරුන් දෙදෙනාටම මුලතිව් පොලීසියට පැමිණෙන ලෙස  පොලීසිය දන්වා තිබුණද මන්ත්‍රීවරුන් දෙදෙනාම පොලීසිය මගහැර සිටියා.

පෙබරවාරි 26 දා මුලතිව් පොලීසිය විසින් රවිහරන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර එම මන්ත්‍රීවරයාද ඇප මත නිදහස් කළ මුලතිව් දිසා විනිසුරු ලෙනින් කුමාර් ම ඔහුට ලබන අප්‍රේල් මස 2 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළා.

ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා ඊයේ (15) සවස මුලතිව් පොලීසිය මගින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ නීතිඥවරු මැදිහත් වී පොලිස් ඇප මත නිදහස ලබාගෙන තිබෙනවා.

මන්ත්‍රීවරුන් දෙදෙනාටම එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් වූ අදාල නඩුව අප්‍රේල් මස 2 දා මුලතිව් දිසා අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *