• Fri. Jan 27th, 2023

පාකිස්ථානයේ ඉස්ලාම්බාද් නුවර බෞද්ධ මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වේ..!

BySandun

Mar 23, 2018

පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමාගේ විශේෂ නිල ආරාධනය පරිදි පාකිස්ථානයේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිතුමා එරට පිහිටි එකම කි්‍රයාකාරී බෞද්ධ විහාරස්ථානය වන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත අද පස්වරුවේ පැමිණියේය.

ඉස්ලාම් භක්තිකයන් වැඩි වශයෙන් වාසය කෙරෙන පාකිස්ථානයේ, ඉස්ලාම්බාද් නුවර රාජ්‍යතාන්ත‍්‍රික පරිශ‍්‍රයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (23) විවෘත කෙරිණි.

පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත් ජනාධිපතිතුමා එම විහාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාව ද නිරත විය.

ඉන් අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කර බෞද්ධ මධ්‍යස්ථානය නැවත ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබීය.

බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මාලිගාකන්ද විද්‍යෝදය පරිවෙනාධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍ය අකුරටියේ නන්ද ස්වාමින් වහන්සේ, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ වැඩබලන ලේඛකාධිකාරී ඓතිහාසික සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල නායක හිමිපාණන් වහන්සේ, පිරිවෙන් අධ්‍යක්ෂ මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන්කඩවල ඥානරතන නායක ස්වාමින් වහන්සේ ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

මේ අතර නේපාලය, ඉන්දියාව, මියන්මාරය, කොරියාව, තායිලන්තය, ඉන්දුනිසියාව, චීනය සහ මැලේසියාව යන බෞද්ධාගම සහිත රටවල් නියෝජනය කරමින් තානාපතිවරු, මහකොමසාරිස්වරු සහ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පකිස්තානයේ ජනරජ දින සැමරීමට ප්‍රධාන ආරාධිත ලෙස ජනපති එක්වෙයි

පකිස්තාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස අද (23) පෙරවරුවේ ඉස්ලාම්බාද් නුවරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.

උත්සව භූමිය වෙත ගිය ජනාධිපතිවරයා පාකිස්ථාන අගමැති ෂහීද් කඛාන් අබ්බාසි මහතා විසින් එහිදී මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

පසුව ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබූ අතර පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා සහ පාකිස්ථාන ත්‍රිවිධ හමුදාපතිවරු එහි අසුන් ගත්හ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැමිණිමත් සමඟ උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර දෙරටේ ජනාධිපතිවරු ඇතුළු පිරිස විශේෂ පීඨිකාවේ සිට හමුදා උත්තමාචාර පෙළපාළිය සහ විචිත්‍රවත් ගුවන් හමුදා සංදර්ශනය නැරඹීමට එක්වුහ.

පාකිස්ථාන හමුදාව මෙන්ම බහරේන්, ජෝර්දාන්, එක්සත් අරාබි එමිර් රාජ්‍ය ඇතුළු රටවල හමුදාවන් මෙම ගුවන් සංදර්ශනය සදහා එක්ව සිටියහ.





Leave a Reply

Your email address will not be published. Required fields are marked *