Sat. Nov 23rd, 2024

පොලිසියේ තුනක් උසාවියේදී දණ නමා වැඳ පුරවැසියකුගෙන් සමාව යදිති..

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරු දෙදෙනෙක්   (15 දා) ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 88ක ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්හ.

එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දණ නමා වැඳ සමාව ගත්තේ විජිත් කේ. මලල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල ඉදිරියේදී පෙත්සම්කරු සහ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අතර ඇතිවූ සමතයක් අනුවය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම 2017 වසරේ දී ගොනු කර තිබුණේ ගොඩ්වින් පෙරේරා නම් පුරවැසියකු විසිනි. ඔහු එවකට අසූඑක් හැවිරිදි වියේ පසුවිය. 2017 වසරේදී පෙරේරා මහතා නාරාහේන්පිට ආසිරි රෝහල වෙත යමින් සිටියදී මාර්ගයේ කුණු ඉවත් කරන පුද්ගලයකු අනතුරකට පත්ව සිටි නිසා ඒ ගැන පොලිසියට දැනුම් දී ඔහු රෝහල්ගත කර තිබේ. පසුව වගඋත්තරකාර පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනා ගොඩ්වින් පෙරේරා අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරියට දැමූ බව පෙත්සමේ සඳහන් වේ.

නීතිය ක්‍රියාත්මක කරන්නේ මෙසේ දැයි ඔහු විමසූ විට ඊට ද පොලිස් නිලධාරීන් අයහපත් ලෙස ප්‍රතිචාර දක්වා ඇති බව ද කියැවේ.

නීති විරෝධීව අත්අඩංගුවට ගැනීමෙන් සහ රඳවා තබා ගැනීමෙන් අගතියට පත්වූ බව කියමින් පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති අතර නීතිඥ විජිත් සිං මහතා ඔහුගේ නීතිඥවරයා විය.

කෙසේ වෙතත් වගඋත්තරකරුවන් සමග සමාදානයකට යෑමට පෙත්සම්කාර පෙරේරා මහතා එකඟවීම මත ඊයේ එම එකඟත්වය විමසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩුව කැඳවිණි. නඩුව කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පෙරේරා මහතා අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය. එසේම වගඋත්තරකාර නාරාහේන්පිට පොලිසියේ සැරයන්වරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනාගේ නම් අඬගැසූ පසු ඔවුන් තිදෙනා ද අධිකණය ඉදිරියේ පෙනී සිටියහ.

පොලිස් නිලධාරීන් තිදෙනා ඊයේ අධිකරණයට පැමිණ සිටියේ පොලිස් නිලධාරීන් විශේෂ අවස්ථාවලදී අඳින අංක 01 නිල ඇඳුමින් සැරසී නිල පදක්කම් සහ ආයිත්තම්ද පැළඳය. වගඋත්තරකරුවන් සමග සමාදානවීමට එකඟ දැයි අධිකරණය පෙත්සම්කරුගෙන් විමසා සිටියේය. ඒ අනුව ඔහු ඊට එකඟත්වය පළ කළේය.

වගඋත්තරකාර පොලිස් නිලධාරීන් තිදෙනා ඇමතූ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතා මින් ඉදිරියට මෙවැනි අකටයුතුකම් සිදු නොකරන ලෙස පොලිස් නිලධාරීන්ට අවවාද කළේය. රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියකුට නිදහසේ කටයුතු කිරීමට අයිතියක් ඇති බව නොදන්නේ දැයි විමසූ විනිසුරුවරයා ජ්‍යෙෂ්ඨ පුරවැසියකුට සලකන්නේ මෙලෙස දැයි ප්‍රශ්න කළේය. නඩුව සමතවීමට පෙත්සම්කරු එකඟ වීම නිසා මෙලෙස අවසන් කරන බව කී අධිකරණය එලෙස නොවිණිනම් පෙත්සම්කරුගේ වයසද සලකා ලොකු වන්දියක් ගෙවීමට නිලධාරීන්ට සිදුවීමට ඉඩ තිබුණු බව ද සඳහන් කළේය. නැවත මෙවැනි කටයුතු සිදු නොකරන ලෙස අධිකරණය පොලිස් නිලධාරීන් තිදෙනාට අවවාද කළේය.

ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් තිදෙනා වෙන් වෙන් වශයෙන් පෙත්සම්කාර පෙරේරා මහතා ඉදිරිපිටට ගොස් දණ නමා වැඳ සමාව ලබාගත්හ.

ඒ. ජේ. ඒ. අබේනායක
– Divaina

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *