Thu. Mar 27th, 2025

සත්ව සංගණනයේ පත්‍රිකා මුද්‍රණයට රු. හත්කෝටි තිස් ලක්ෂයක් වියදම් කරලා – ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා (වීඩියෝ)

ලබන 15 වැනිදා සිදු කෙරෙන්නේ සත්ව සංගණනයක් නොව දත්ත ලබා ගැනීමේ සරළ සමීක්ෂණයක් පමණක් බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසනවා.

කෙසේවෙතත්, ජාතික ගොවිජන එකමුතුව චෝදනා කරන්නේ මේ වන විටත් අදාල සත්ව සංගණනය වෙනුවෙන් කෝටි ගණනක මුදලක් රජය වියදම් කර ඇති බවයි.

කෘෂි බෝග සඳහා හානි පමුණුවන රිලවා, වඳුරා, දඬු ලේනා සහ මොණරා යන සතුන් සම්බන්ධයෙන් ජාතික සංගණනයක් සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, ඒ අනුව මේ මස 15 වැනි සෙනසුරාදා පෙරවරු 8 සිට 8.05 දක්වා මිනිත්තු 5ක කාලයක් මෙම සංගණනය සිදු කිරීමට නියමිතයි.

සත්ත්ව සංගණනය කර ඒ පිළිබඳ තොරතුරු රජයට ලබා ගැනීම මෙමගින් අපේක්ෂිතයි.

ලබන 15 වැනිදා දීපව්‍යාප්තව සිදු කිරීමට නියමිත මෙම ජාතික සත්ත්ව සංගණනය සඳහා නිවාසවලට බෙදා හැරීමට නියමිත දත්ත ඇතුළත් කළ යුතු පත්‍රිකා ලක්ෂ 70ක් මුද්‍රණය කර අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

මේ වන විට එම පත්‍රිකා ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා බෙදා හැර ඇති අතර, සෙසු දිස්ත්‍රික්ක සඳහාද ඉදිරි දින කිහිපයේ ඒවා බෙදා හැරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මෙම සත්ත්ව සංගණනය පිළිබඳව මේ වනවිට සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී ඇති පසුබිමක ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසන්නේ සංගණනය වෙනුවෙන් පත්‍රිකා මුද්‍රණය සඳහා රුපියල් හත් කෝටි තිස් ලක්ෂයක පමණ මුදලක් මේ වන විට වැය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මේ අතර සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය චෝදනා කරන්නේ මෙම සංගණනය සඳහා තම සේවය අවශ්‍ය බවට රජය ප්‍රකාශ කර ඇතත් තමන් ඒ පිළිබඳව දැනුවත් වූයේ මාධ්‍යයෙන් බවයි.

අදාළ සංගණනය ගැන නිසි ක්‍රමවේදයක් හෝ දැනුවත් කිරීමක් මෙතෙක් තමන් වෙත සිදු කර නොමැති බවයි එම සංගමය පවසන්නේ.

Source : Hiru News

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *