Thu. Mar 27th, 2025

පිරමීඩ ජාවාරමින් කෝටි 1600ක් ගසාකෑ ONMAX DT ලොක්කා ගයාන් චාමර ඩුබායිහිදී අල්ලා මෙරටට රැගෙන එයි

ඔන්මැක්ස් ඩීටී නමැති පීරමීඩ මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු සහ මහ මොළකරු ලෙස හඳුන්වන ගයාන් චාමර වික්‍රමතිලක නැමැත්තා ඩුබායි හිදී එරට පොලිසිය අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇත.

නීතිවිරෝධී පිරමිඩාකාර ගනුදෙනු සිදු කරන බව කියන OnmaxDT පරිගණක දත්ත ගබඩාවක් පවත්වාගෙන යෑමේ චෝදනාව ඇතුළු චෝදනා කිහිපයක් සැකකරුට එල්ල වී තිබේ. මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේද මෘදුකාංග ඉංජිනේරුවෙකු බව කියන ඔහුය. ඔහු මුලින් අල්ලාගත්තත් ඇප ලැබුණ කාලයේ රටින් පැනගිය අයෙකි.

“ඔන්මැක්ස් ඩී.ටී.“ නමැති නීතිවිරෝධී පෞද්ගලික මුල්‍ය ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ ඔහුගේ අන්තර්ජාල ගිණුම්වල රුපියල් කෝටි 1645 කට අධික මුදලක් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන – මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් මින් ඉහත සඳහන් කර තිබුනි.

අන්තර්ජාලයේ ජාත්‍යන්තර ක්‍රිප්ටො කරන්සි හා බයිනෑන්ස් වේදිකා හරහා මෙම අන්තර්ජාල ගිණුම් පවත්වාගෙන ගොස් ඇති සැකකරු යූඑස්ඩීටී මිලියන 4.7 මෙසේ ආයෝජනය කර ඇති බවද හෙළිවිය. මූල්‍ය සමාගමේ සැකකාර අධ්‍යක්ෂකවරයකු ක්‍රිප්ටො කරන්සි ගිණුම් 400ක් හරහා මුදල් තැන්පත් කර ඇති බවත්, ගිණුම් හතරකින් සෘජුවම මුදල් මොහුගේ ගිණුමට බැරවී ඇති බවත් කරුණු ඉදිරිපත් කෙරිණි.සැකකරු සෘජුවම තැන්පත් කර ඇති මුදල රුපියල් කෝටි 385ක් බවද කරුණු ඉදිරිපත් කෙරිණි.මීට අමතරව ජෝර්ජියානු ජාතිකයකුගේ ගිණුමකට රුපියල් කෝටි 490කට අධික මුදලක් බැරවී ඇති බවද කරුණු ඉදිරිපත් කළේය.

2023 අග භාගයේදී OnmaxDT සම්බන්ධ වංචා හෙළිවූ අවස්ථාවේ සැකකරුගේ භාරයේ තිබී සොයාගත් ජංගම දුරකථනයක් සහ පරිගණක දෙකක් ඇතුළු උපාංග කිහිපයක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත යොමු කර විශ්ලේෂණ වාර්තාවක් කැඳවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු මෙම කටයුත්තට සෘජුව දායකවී ඇති බව සොයාගත්තේය. පසුව ඔහු සහ ඔන්මැක්ස් ඩීටී සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනකු පසුගිය 2023 වසරේ නොවැම්බර් 3 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් සති දෙකක් පමණ රිමාන්ඩ් භාරයට පත් කර,

නොවැම්බර් 16 වන දින රුපියල් ලක්ෂයක වටිනාකමින් යුත් පුද්ගලික ඇප තුනක් මත ඔවුන් මුදා හැරීමට නියෝග කර තිබුණි.
ඉන්පසු නඩු අහන අවස්ථාවේ සිට ප්‍රධාන සැකකරු වන ගයාන් චාමර අධිකරණය මගහැරි අතර ඔහු රටින් පලාගොස් ඇති බව හෙළි විය.2024 මාර්තු 21වැනි දින විදෙස්ගතව ඇති බවත් වාර්තා කෙරිනි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ආල්විස් මහතා විසින් නීති විරෝධී පිරමිඩ ගනුදෙනු සිදු කිරීම හේතුවෙන් මහ බැංකුව මගින් තහනම් කර ඇති ඔන්මැක්ස් ඩීටී පෞද්ගලික සමාගමේ වෙබ් අඩවිය නිර්මාණය කළ බවට චෝදනා ලැබූ මෘදුකාංග ඉංජිනේරු ගයාන් චාමර වික්‍රමතිලක අත්අඩංගුවට ගැනීම සඳහා පළමු වරෙන්තුව නිකුත් කරන ලද්දේ 2024 මාර්තු මාසයේය.
පන්නිපිටිය, රුක්මලේ, වැලිහේන්පිට පාරේ පදිංචි ‘වීටෙක් ‘මෘදුකාංග සමාගමේ හිමිකරු ලෙස නම් කෙරුණ ගයාන් චාමර වික්‍රමතිලක (31) නමැති සැකකරු වෙත මෙම වරෙන්තුව නිකුත් කර තිබූ අතර ඔහු රටින් පලාගොස් ඇති නිසා අගොස්තු මස අධිකරණය නිකුත් කළ රතු වරෙන්තුව අනුව ජාත්‍යන්තර පොලිසියේ සහයෙන් අල්ලාගන්නට පොලිසිය කටයුතු සිදු කර තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ කරුනු වාර්තාා කරන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

මෙම සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර, වංචනික මූල්‍ය ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා මහ බැංකුව විසින් ගත හැකි පියවර පිළිබඳව ද සැලකිල්ල යොමු කර ඇත.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *