Tue. Dec 3rd, 2024

අවුරුද්දක් යන්න පෙර යලිත් ජනාධිපති රනිල්…!

වත්මන් ආණ්ඩුව ඉදිරියටත් රට පාලනය කරන්නේ පසුගිය දින 42 ක කාලය තුළ සිදුකළ ආකාරයට නම් තවත් වසරක් තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ගෑස් සිලින්ඩරය කණ්ඩායමට මෙරට පාලනය භාරගැනීමට සිදුවන බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කළේය .

වත්මන් අනුර දිසානායක පාලනය පොදුරාජ්‍ය මණ්ඩල නායක හමුව , බ්‍රික්ස් සමුළුව වැනි මෙරටට ඉතාම වැදගත් ජාත්‍යන්තර සමුළු මඟහරින ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙන්වාදුන් ඒ මහතා ඉදිරියටත් එම ප්‍රතිපත්තිය අනුගමනය කළහොත් මෙරට ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ලබාගැනීම සැකසහිත බවද අවධාරණය කළේය .

හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට , නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂය යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජනහමුව සංවිධානය කර තිබු අතර, හිටපු අමාත්‍ය තලතා අතුකෝරල , නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කය සඳහා තරග කරන අපේක්ෂක කණ්ඩායමේ නායක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු අපේක්ෂකයන් 15 , පළාත් සභා සහ පළාත් පාලන ආයතන වල හිටපු නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගීව සිටියහ .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ අනුර දිසානායක ජනාධිපති වශයෙන් මෙරට මිලියන 22 ක ජනතාවගේ නායකයා ලෙස කටයුතු කළ යුතු වුවත්, ඒ බව අමතකවී ඔහු තවමත් හැසිරෙන්නේ එදා 3% ට නායකත්වය ලබාදුන් විපක්ෂයේ සිටි මන්ත්‍රීවරයා ලෙස බවයි .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මෙසේද පැවසීය .

පසුගිය ජනාධිපතිවරනයේදී මහනුවර පැවති රැලියේදී මම එක් වැදගත් කාරණයක් සඳහනක් කළා . ඒ තමයි , ” වැරදිලා හරි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කවුරු හරි සහයෝගය එකතු කරන්නේ නැත්නම්, ඕන කෙනෙකුට සහයෝගය දෙන්න , හැබැයි ලියලා තියාගන්න , යලිත් මාස 6න් මේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා” කියලා . එදා අපි සෙන්කඩගල සිට කියපු ඒ කතාව අද දින 40 ක් වන විට මේ ආණ්ඩුව තහවුරු කරමින් ඉන්නවා .

මෙහෙම කියන්නේ අපි බලය ඉල්ලපු කණ්ඩායම බලයට පත්නොවී , අනුර දිසානායක ජනාධිපති වීම නිසා, එතුමා පන්නන්න ඕන කියන කුහක පදනමකින් නෙවෙයි. එවැනි දේශපාලනයක අපි නැහැ . හැබැයි අපිට රට පිළිබඳව හැඟීමක් තියෙනවා . එදා අපි 69 ලක්ෂය , 54 ලක්ෂය කියාගෙන කණ්ඩායම් දෙකට තුනට හතරට කැඩිලා පොරකෑවා . හැබැයි රට කඩාගෙන වැටෙනකොට , රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනකොට, 69 ලක්ෂයේ වගේම 54 ලක්ෂයේ කියලා වෙනසක් නෑ අපි සියලු දෙනා එකට පෝලිම් වල හිටියා . එකට දුක් වින්දා . තෙල් ටික ගන්න , ගෑස් ටික ගන්න , කිරිපිටි ගන්න , බෙහෙත් ටික ගන්න අපි හැමෝම එක පෝලිම් වල හිට ගන්නකොට , ඔය බෙදිලි මොකුත් වලංගු වුණේ නෑ . ඒ නිසා අපි ඔබතුමන්ලට මතක් කරනවා , එදා මම ජනාධිපතිවරණයේ මහනුවර අවසන් රැලියේ ඔබතුමන්ලාට කියපු කාරණාව , එදා දුන්න ඒ සහතිකය අද නැවත වතාවක් ලබාදෙනවා . ඒ තමයි “නැවත මේ ආණ්ඩුව යන වැඩපිළිවෙල මේකම නම්, ලියලා තියාගන්න, මාස 6 ක් , අවුරුද්දක් යන තැන නැවත වතාවක් ගෑස් සිලින්ඩරය කණ්ඩායමට නැවත මේ රටේ පාලනය බාරගන්න සිද්ධ වෙනවා .

ඒ වගේම තමයි ඔබට සිහිපත් කලයුතු කාරණයක් තියෙනවා. මෙරට ආර්ථික අර්බුදය සම්බන්ධව අපිට කටයුතු කරන්න තියෙන්නේ ගෝලීය ප්‍රජාවත් සමඟයි . පැරිස් සමාජය , ජාත්‍යන්තර මුල්‍ය අරමුදල , චීනය , ඉන්දියාව , සමග ඔවුන්ගෙන් ලබාගත් ණය ගැන වගේම ඉදිරි කටයුතු සම්බන්ධව සාකච්ඡා කරමින් ඉදිරියට යන්න තිබෙනවා . සාමාන්‍යයෙන් මෙරට නායකයෙක් පත්වුණාම ඉන්දියාවට ගිහින් එහි නායකයා හමුවෙනවා . චීනයට ගිහින් එහි නායකයන් හමුවෙනවා . ඔවුන් සමඟ සාකච්ඡා කරනවා . නමුත් වත්මන් ජනාධිපතිතුමා ධුරයට පත්වෙලා දින 40යි, කාර්යාලයෙන් එලියට බහින බවක් වත් ඔබ අපි කවුරුත් දැකලා නෑ . එතුමා තවමත් හිතාගෙන ඉන්නේ එතුමා විපක්ෂයේ හිටපු 3% න නියෝජනය කරපු අනුර දිසානායක කියලයි . ඔහු මිලියන 22ක් වන මෙරට ජනතාව නියෝජනය කරන ජනාධිපතිවරයා බව එතුමාට අමතකයි . එනිසා එතුමා තවමත් විපක්ෂයේ සිටියදී කරපු වැඩකොටස විතරක් කරගෙන ඉන්නවා .

පොදුරාජ්‍ය මණ්ඩලීය නායක හමුව පසුගියදා පැවැත්වුණා . ඒ සඳහා අනුර දිසානායක ජනාධිපතිතුමා සහභාගීව නෑ . එතුමා හිතනවද දන්නේ නෑ , පොදුරාජ්‍ය මණ්ඩලීය නායක හමුවට වඩා ඔහු ප්‍රභලයි කියලා . ඒ නිසාද දන්නේ නෑ , ඒ සමුළුව සඳහා බ්‍රිතානයේ නියෝජ්‍ය මහකොමසාරිස්වරිය ඇතුළු නිලධාරීන් පිරිසක් යවලා . ඒ වගේම පසුගියදා බ්‍රික්ස් සමුළුව පැවැත්වුණා . වත්මන් ජනාධිපතිතුමා ඒ සඳහා සහභාගී වෙන්නෙත් නෑ . ඒ සඳහා යවන්නෙත් නිලධාරීන් පිරිසක් පමණයි . අපේ රටේ අර්බුද විසඳ ගන්නේ එහෙමද ? බ්‍රික්ස් රටවල ජනගහනය බිලියන 3.2ක්. ඒ කියන්නේ එය අතිවිශාල වෙළඳපොළක් . ඔවුන්ගේ ඒකාබද්ධ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 26ක්. එවැනි අතිශය වැදගත් සමුළුවකට යවන්නේ නිලධාරීන් පිරිසක් .

මේ කරනා සියල්ල එක්ක තමයි අපි මතවාදය ගොඩනැගුවේ රනිල් වික්‍රමසිංහ පාලනය ඉදිරියට අවශ්‍යයි කියලා.

මේ කාරනා මේ විදිහටම දිගටම සිදුවෙනවා නම්, වැඩි දුරක් යන්න ලැබෙන්නේ නෑ . අද අපි හම්බකරලා කාලා ජීවත් වෙනවා . නමුත් ඔබතුමන්ලා මතක තියාගන්න , 2028 වසර වෙනකොට හම්බකරලා ණයත් ගෙවලා තමයි අපිට කන්න වෙන්නේ . 2031 වසර වෙනකොට හම්බකරලා , 2028 දී ගෙව්වාටත් වඩා ණය ගෙවලා තමයි අපි කන්න වෙන්නේ . ඒකයි පි කියන්නේ , මේ පාලනය යන්නේ මෙහෙම නම් , ජාත්‍යන්තර ප්‍රජාව එක්ක අපේ ගනුදෙනුව මෙහෙම නම් , ජාත්‍යන්තර ප්‍රජාවට අපි ආමන්ත්‍රණය කරන්නේ මෙහෙම නම් , රටක් හැටියට බරපතල අර්බුදයකට යන එක නතර කරන්න හැකියාවක් නෑ . ඒ නිසා අපි ඔබතුමන්ලට කියනවා , මේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා කැමති වුණත් නැතත් ආයෙත් මේ රටේ වගකීම බාරගන්න වෙනවා . එතුමා අපට කිව්වා , ” මම ජනාධිපති ලෙස පත්වුණා , මට නැවත පාර්ලිමේන්තු මැතිවරණයට එන්න ඕන නෑ . මට නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙලා කටයුතු කරන්න ඕනකමක් නෑ” කියලා . හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමනි ඔබතුමා කැමති වුනත් නැතත් මේ වගකීම නැවත බාරගන්න වෙනවා . ඒ සඳහා සුදුසු මේ රටේ ඉන්න එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණක් බවත් මා කියනවා .

කවුරු මොනවා කිව්වත්, අපි සැප්තැම්බර් 21දක්වා ගොඩනගපු ඒ මතවාදයට වටිනාකමක් එන්නේ තවත් අවුරුද්දක් පමණ යනවිටයි . තව අවුරුද්දක් යනකොට අපි සැප්තැම්බර් 21 ගොඩනගපු මතවාදය සත්‍ය බව මේ රටේ ජනතාව කියන්න ගන්නවා . ඒ නිසා අපි සැප්තැම්බර් 21 පැරදුනු කණ්ඩායම වෙන්න පුළුවන් . නමුත් ලියලා තියාගන්න නියම මතවාදය ගොඩනගලා මේ රට වෙනුවෙන් නිවැරදිම වැඩපිළිවෙල ඉදිරිපත් කලෙත් ගෑස් සිලින්ඩරය අපේ කණ්ඩායමයි.එනිසා ගිය ඒ ගෞරවය සුනාමියක් වෙලා යලි අපට හිමිවෙනවා .

ඒ වගේම අද සමහර පක්ෂ ඉදිරිපත් කර තිබෙන අපේක්ෂකයන් බලන්න . ඔබතුමන්ලා ගෑස් සිලින්ඩරය යටතේ මහනුවට දිස්ත්‍රික්කයට ඉදිරිපත් කර තිබෙන අපේ අපේක්ෂකයන් 15 දෙස බලන්න . ශ්‍රීලනිප , කම්කරු කොංග්‍රසය ඇතුළු පක්ෂ ගණනාවක නියෝජිතයන් සිංහල දෙමල මුස්ලීම් සියලු ජනතාව නියෝජනය කරමින් එහි සිටිනවා . සියලු දෙනා මහනුවර නියෝජනය කරන දන්නා කියන උදවියයි . නමුත් සමහර පක්ෂ වලින් මහනුවරට ඉදිරිපත් කර සිටින අපේක්ෂකයන් ඉන්නේ කොහෙද කියලවාත් දන්නේ නෑ . අනුරාධපුරේ අයත් මහනුවරින් තරග කරනවා . මතුගම පදිංචි අය නාවලපිටියෙන් තරග කරනවා . ගම්පොල නගරයෙන් ව්‍යාපාරිකයෙක් තරග කරනවා , නමුත් ඔහු කවුද කියලා කවුරුත් තාම හොයාගන්න නෑ . ඒක තමයි සමහර අපේක්ෂක ලැයිස්තු වල ඇත්ත තත්ත්වය .

ඒ නිසා ඔබ මහනුවර ගැන අවබෝධයක් තියෙන කණ්ඩායම ශක්තිමත් කරන්න . මහනුවර ඔබේ කතිරයෙන් අපෙ කණ්ඩායමට ශක්තිය දුන්විට ඉදිරියටත් මේ රට පිළිබඳ නිවැරදි තීන්දු තීරණ ගන්න හැකි වෙනවා . අපි ආපසු වරද්දගත්තොත් දුක් වෙන්නවත් ලැබෙන්නේ නෑ .

එදා අපි රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව ලෙස අලුතින් මුදල් මුද්‍රණය නොකර මේ රටේ මිනිස්සුන්ට ආහාර ටික අඩුවක් නැතුව සැපයුවා . වැඩිහිටි දීමනාව දුන්නා . ගොවියන්ට පොහොර දුන්නා . අස්වැසුම දුන්නා . ඒ සියලු වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා . හැබැයි අපේ සමහරුන්ට දකින පෙනෙන දේට වඩා කියපු දේවල් සුන්දර වුණා . ඒ නිසා තමයි 21 ප්‍රතිඵලය ලැබුණේ . මේ මැතිවරණයේදී අපි ඒ තත්ත්වය වෙනස් කරමු . ගෑස් සිලින්ඩරය කණ්ඩායම ශක්තිමත් කරන්න වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් එකතුවෙන දිස්ත්‍රික්කය බවට මහනුවර පත්කරන්න අපි කටයුතු කරමු .

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *