2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (මාර්තු 20 වැනිදා) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරුන් කරන ලද ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය හෙට (මාර්තු 20 වැනිදා) දින ප්‍රකාශයට පත් කරන බවත් මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියම කරනු ලැබීය.
ඉකුත් පෙබරවාරි 27 වැනිදා සිට අධිකරණය මගහැර සිටි දේශබන්දු තෙන්නකෝන් අද (මාර්තු 20 වැනිදා) පෙරවරුවේ සිය නීතිඥවරු මාර්ගයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් විය.
දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව තම සේවා දායකයා අභියාචනාධිකරණය ඉදිරියේ නඩුකරයක් ගොනුකරමින් සහනයක් අපේක්ෂා කළ බවත් එය ප්‍රතික්ෂේප වූ වහාම අද පෙරවරුවේ අධිකරණයට පැමිණ භාර වූ බවත් පැවසීය.
“ස්වාමීනි මෙම සැකකරු ඇප මත මුදා හරි ලෙස මා ඉල්ලා සිටිනවා. ඇප ප්‍රතික්ෂේප කිරීමට නම් ඔබතුමා ඇප පනතේ විධිවිධාන දෙකක් සලකා බැලිය යුතුයි. විමර්ශන මගහැර සිටීම හා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීම මෙම කරුණු දෙකයි. මේ සැකකරු පොලිස්පතිවරයා වශයෙන් “යුක්තිය” යනුවෙන් විශාල මෙහෙයුමක් කළා. එහිදී අපරාධ ක්‍රියාවලට සම්බන්ධ විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන මේ වන විටත් බන්ධනාගාරගත කර තිබෙනවා. ඉතිං මේ සැකකරු බන්ධනාගාර ගත කළහොත් ඔහුගේ ආරක්ෂාව තහවුරු විය යුතුයි.” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා තම සේවා දායකයා ඕනෑම කොන්දේසියක් මත ඇපමත මුදා හරින්නැයි ඉල්ලා සිටියේ ය.
‘මොහු අපරාධකාරයෙක්’
මෙහිදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම ඉල්ලීමට දැඩි ව විරෝධය පළ කළේය.
“ස්වාමීනී… අද පෙරවරුවේ මට ආරංචියක් ලැබුණා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන මේ සැකකරු ටයිකෝට් වලින් සැරසි බෙන්ස් රථයකින් ඇවිත් මාතර උසාවිය තුළ වාඩිවෙලා ඉන්නවා කියලා. ඒක සැල වීමෙන් පසුවයි මා මේ අධිකරණයේ පෙනී සිටින්න තීරණය කළේ. මේ මෝසම ගැන අපට දැනුම් දීමක් නොකර හොර පූසා වගේ උසාවියට ඇවිත් පාලු ගෙයි වලන් බිඳලා ඇප අරගෙන යන්න මේ සැකකරු හිතාගෙන ඉන්න ඇති. මම උසාවියට එන අවස්ථාවෙත් මේ සැකකරු ටයිකෝට් වලින් සැරසිලා පෙළේ බංකුවක වාඩිවී සිටියා. ස්වාමීනී මම අහන්න කැමතියි. මොහු බංකුවක වාඩිවෙලා ඉන්නේ කොහොමද.? ඔහු සිටිය යුත්තේ කූඩුවේ.”
“මොහු අපරාධකාරයෙක්. අපරාධකරුවෙකු උසාවියට එන්න ඕනේ බිම දිගේ බඩගාගෙන. මෙහෙම සිංහ ලීලාවෙන් ඇවිත් ඉන්න බෑ. මොහු ෆෝන් ඕෆ් කරගෙන යටිකූට්ටු ගේම් ගහමින් දින විස්සක් පමණ අධිකරණය මගහැර හැංගිලා සිටියා. සංවිධානාත්මක අපරාධකරුවන් හැටියට සැලකෙන මාකඳුරේ මදුෂ් , හරක් කටා වැනි අපරාධකරුවන්ටත් නොදෙවෙනි පුද්ගලයෙක් තමයි මොහු. ඒ වගේම මොහු හොඳ රංගන ශිල්පියෙක්. ඔහු උසාවියට ආවේ නහය ළඟටම වතුර ගලාගෙන ආවට පස්සේ. මේ සැකකරු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ පළමු වන වගඋත්තරකරු ලෙස නම් කර තිබුණේ ඔබතුමාවයි. ඔබතුමා අධිකරණ ශාලාවේ දොර අගුළු වහගෙන කුමන්ත්‍රණය කරනවා කියලත් ඒ පෙත්සමේ චෝදනා කර තිබුණා.” යනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් වරයා සඳහන් කර සිටියේ ය.
වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා
“මේ සැකකරු පොලිස්පති ධුරයේ කටයුතු කරනකොට ප්‍රකාශ කර තිබුණා අපරාධකරුවන්ව ආරක්ෂා කරන්නේ නීතිඥවරු කියල. එහෙම කියපු එයා අද නීතිඥවරුන්වත් වට කරගෙන උසාවියට ඇවිල්ලා ඉන්නවා. ස්වාමීනි… මේක W15 හෝටලයට වෙඩි තැබීමේ දඬුවම නෙමෙයි. මෙය කර්මය පඩිසන් දීමක් හැටියට සඳහන් කරන්න සිදුවෙනවා. දිට්ඨ ධම්මවේදනීය කර්මය කියන්නේ මොකක්ද කියලා මොහුට අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒක දැන් ඔහුගේ ඇස් පනාපිටම ප්‍රදර්ශනය වෙනවා. කරුමය තමයි ඔහුට මේ ආත්මයේදීම පළදිලා තියෙන්නේ.” යනුවෙන් සඳහන් කළේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා
” ස්වාමීනි..මේ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඔබතුමා නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව ප්‍රභාකරන් හොයනවා වගේ විශාල පොලිස් කණ්ඩායමක් මොහු සොයා මෙහෙයුම් ආරම්භ කළා. මොහුට තිබෙන සමාජ බලයත් ආගමික බලයත් පාවිච්චි කරගෙන ඊයේ දවස වනතුරු මොහු හැංගිලා හිටියා. මේ සැකකරු පදිංචිව සිටින ලිපිනය ලෙස දාලා තිබිච්ච ලිපිනයේ ඉන්නේ හාමුදුරු නමක්. පසුගිය දින කීපයේදීම මෙයා ගැන පොලිසිය නිලමේවරු , දේශපාලකයින් ඇතුළු විවිධ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කළා. මොහු ඩීල් දාලා තියෙන්නේ ඒ වගේ පුද්ගලයෝත් එක්කයි. මේ සැකකරුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී මත්පැන් බෝතල් 795 ක් සොයාගෙන තිබෙනවා. කෝටියකට වඩා වටිනා මත්පැන් බෝතල් සොයාගත්තා. හැම්පර් විතරක් එකසිය ගානක් තිබ්බා. රජයේ සේවකයින්ට තුටු පඬුරු ලබාගන්න බැහැ. එසේ නම් ඔහු ඒවා ලබා ගත්තේ කොහොමද? මොහුගේ නිවස ගෙයක් නෙවෙයි ඒක ඉස්කාගාරයක්. කිසිම දේපළක් මොහුගේ නමට ලියාපදිංචි වෙලා නැහැ. එහෙත් ඔහුට ගෙවල් අටක් පමණ තිබෙන බව අපි හොයාගෙන තිබෙනවා. ඒ නිසයි මම කිව්වේ මේ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවන්ට වඩා භයානක තැනැත්තෙක් කියලා.” යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල් වරයා මෙම සැකකරු අධිකරණය මගහැර කට්ටි පනිමින් සිටි පුද්ගලයෙකු බවත් සමාජයට පණිවිඩයක් දිය හැකි තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේ ය.
වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් සඳහන් කළේ මොහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කොට සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මොහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය හෙට දින ප්‍රකාශයට පත් කරන බවට නියෝග කළේය.
දේශබන්දු අධිකරණයට භාර වූ බව මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවට දැනුම් දෙයි
දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට භාරවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (මාර්තු 19 වැනිදා) පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
අමාත්‍යවරයා කියා සිටියේ දේශබන්දු තෙන්නකෝන්ට අයත් දේපළ රාජසන්තක කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කණ්ඩායමක් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොස් ඇති බවය.
මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේදී වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය (මාර්තු 17 වැනිදා) ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කළේය.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල පොලිස්පතිවරයා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියම කර සිටියේ ය.
එමෙන්ම පෙත්සම්කරුට අධිකරණය මගහැර සැඟවී සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයින් පිළිබඳව විමර්ශන කර නීතිමය පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල මාතර මහේස්ත්‍රාත්වරයාට වැඩිදුරටත් නියෝග කළේය.
දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම ඉකුත් 12 වනදා අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.
දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගැනීමට නියෝග
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිවස පරීක්ෂා කරයි
මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේදී වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ පසුගිය පෙබරවාරි 27 වැනිදාය.
අනතුරුව (මාර්තු 11 වැනිදා) ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (මාර්තු 11 වැනිදා) වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ, සැකකාර හිටපු පොලිස්පතිවරයා සැඟව ඇතැයි සැක කරන ස්ථාන 10ක් පරීක්ෂාවට ලක් කළ අතර එහෙත් ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව ය.
ඊට අමතරව, බුද්ධි නිලධාරීන් යොදවා තවත් ස්ථාන 18ක් සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් සිටිය ද, ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ නිලධාරීන් එමනිසා ඔහු අත්අඩංගුවට ගැනිමට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.
දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 6ක් යොදවා තිබිණි.
එම නිලධාරීන් මාර්තු (18 වැනිදා) හෝකන්දර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසක්ද පරීක්ෂාවට ලක් කළේය.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ, ඔහුගේ නිවසේ තිබී මත්පැන් හා වයින් බෝතල් 1000කට අධික සංඛ්‍යාවක් සොයා ගෙන ඇති බවය.
දේශබන්දු තෙන්නකෝන්ගේ යැයි සැලකෙන පිස්තෝලයක් සහ ඇපල් වර්ගයේ ජංගම දුරකතන දෙකක් සොයා ගත් බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
බීබීසී සිංහල