Mon. Sep 16th, 2024

බූරු පොලේ ආරවුලට තුනක් ඇවිත් මරා දැමූ ක්‍රිකටර් “ජොන්ටි”

අම්බලන්ගොඩ, කන්දමාවත ප්‍රදේශයේ දී පෙරේදා (16) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මියයාමත් සමගම අම්බලන්ගොඩ නගරය කැළඹීමට ලක්ව ඇත.
2002 වසරේ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාව සිටි හිනිදුමගේ ධම්මික නිරෝෂන් පදිංචිව සිටියේ අම්බලන්ගොඩ බෝ ගහ වත්ත කන්ද මාවතේ පිහිටි නිවසේය.කොයි කවුරුත් නිරෝෂන් හැඳින්වූයේ ‘ජොන්ටි’ කියන සුරතල් නාමයෙනි.

නිරෝෂන් රෑ නවයයි තිහට පමණ ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසකට යෑමට සූදානම් වී නිවසින් එළියට බසිනවාත් සමගම වෙඩි උණ්ඩයක ගොදුරක් බවට පත්විය. පොලිස් නිලධාරීහු පිරිසක් ඒ මොහොතේම අපරාධය සිදුවූ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළහ.

නාඳුනන පුද්ගලයන් තිදෙනකු පැමිණ බෝර දොළහ වර්ගයේ දේශීය නිෂ්පාදිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර යතුරුපැදියකින් පලා ගොස් තිබෙන බව තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත.
පවත්වන පරීක්ෂණ අනුව කළු පාට රෙදිවලින් මුහුණු ආවරණය කරගෙන මෙම තිදෙනා පැමිණ ඇති බවත් බෝර දොළහ වර්ගයේ ගිනි අවියකින් වෙඩි තුනක් තබා ඇති බවත් ඔහුගේ ගෙලට, උදරයට මේ වෙඩි තුන වැදී ඇති බවත් පවසන පොලිසිය එම වෙඩි පහර වලින් ඔහු එතැනම මියගොස් ඇති බව ද සඳහන් කරයි.වෙඩි තැබීම වන අවස්ථාවේ දී මියගිය පුද්ගලයාගේ බිරිය ද ඒ අසල සිට ඇති බවත් වෙඩික්කරුවන් ඇයට ද වෙඩි තැබීමට සූදානම් වූ අවස්ථාවේදී ඇය නිවෙස තුළට පැන ජීවිතය බේරාගෙන ඇති බවත් පොලිසිය පවසයි. ඔහුට මෙම වෙඩි තැබීමට පෙර දින කිහිපයක සිටම රාත්‍රී කාලයේ නාඳුනන පිරිස් පැමිණ ඔහුගේ නිවෙස අවට කැරකෙමින් ඔත්තු බලා ඇති බව ද අනාවරණය වූ බව ද පොලිසිය කීය.

ධම්මික නිරෝෂණ ඝාතනයට සැකපිට එක් අයෙක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.බූරු පිටියක ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඔහුව ඝාතනය කර ඇති බවට විවිධ තොරතුරු වාර්තා විය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ සැකකරු බොහෝ විස්තර හෙළිකර ඇති බවයි.

වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා දැනට ඩුබායි රටට පලා ගොස් සිටින පාතාල නායකයකු සමග කිට්ටු සම්බන්ධතා පවත්වන්නකු බවත් ඒ නිසාම ඔහුට මරණ තර්ජන තිබූ බවත් පොලිසිය කියයි.මේ නිසාම ඔහු අම්බලන්ගොඩ, පටබැඳිමුල්ලේ සිය නිවෙස අලෙවි කර අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේ නිවෙසක් මිලදී ගෙන එහි පදිංචියට පැමිණ ඇති බවත් ඔහු මෙරටින් බහරේනයට ගොස් නැවත ලංකාවට පැමිණ සිටිය දී මේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවත් පොලිසිය කියයි.

නිරෝෂන්ගේ නිවස අසල ඇති කැලෑ රොදක සැඟව සිට මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.ගමේ දන්නා හඳුනන කාගේ හෝ අවමංගල්‍ය ගෙදරක මහ රෑ තනි රැකීමට යෑම ඔහු පුරුද්දක් කරගෙන තිබුණේ කාලයක සිටය.

මෙසේ ගිය විට යහළු මිත්‍රාදීන් සමග එක්වී රෑ පහන් වන තුරු අවමඟුල් ගෙදර කාඩ් සෙල්ලම් කිරීම මොහු කරගෙන ගොස් ඇත.මීට වසර කිහිපයකට ඉහතදී අවමඟුල් ගෙදරක සුපුරුදු පරිදි බූරුවා ගසමින් කාඩ් සෙල්ලම් කරමින් සිටියදී කිහිප දෙනකු මොහු සමග ආරවුලක් ඇති කරගෙන තිබෙන බවටද ආරංචි ලැබී තිබේ.

අවුරුදු හතළිස් එකක වයසේ පසු වූ දෙදරු පියෙකු වූ ජොන්ටි ඩුබායි රටේ රැකියාවක නිරතව සිට ඇත.මොහු කෙටි නිවාඩුවක් ගත කිරීම සඳහා පැමිණ ඇත්තේ මීට මාස හයකට පමණ ඉහතදීය.නුදුරු දිනකදීම යළි ඩුබායි රටට යෑමට සූදානම්ව වීසාද ලබාගෙන තිබිණි.

ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන ජගමුණි සුජීව ද සොයිසා හෙවත් කොස්ගොඩ සුජී නමැත්තා සැඟවී සිටින්නේ ඩුබායි රටේය.අපේ ජන බලවේගය පක්ෂයේ නායක සමන් පෙරේරා හෙවත්

රෝයල් බීච් සමන් ඇතුළු පස් දෙනකු බෙලිඅත්තේ දී ඝාතනය කිරීම ඩුබාහි සිට මෙහෙයවා ඇතැයි කියන්නේ ද සුජීව ද සොයිසා හෙවත් කොස්ගොඩ සුජී නමැත්තාය.කොස්ගොඩ සුජී නමැති මෙම පාතාල කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස සැලකෙන්නේ සුරංග මානවඩුය. වෙඩිකා මියගිය නිරෝෂන් මානවඩුගේ සමීපතමයකු බවට තොරතුරු බුද්ධි අංශ විසින් හෙළිකරගෙන ඇත.

කොස්ගොඩ සුජීගේ ප්‍රධානතම ගෝලයා ලෙස සැලකෙන මෙම මානවඩු නමැත්තාගේ යම් යම් කටයුතුවලට නිරෝෂන් හවුල් වී ඇති බවටද ආරංචි මාර්ගවලින් දැන ගැනීමට තිබේ.කොස්ගොඩ සුජීගේ ප්‍රධාන ගෝලයා සමග සම්බන්ධකම් පවත්වමින් නිරෝෂන් කරගෙන ගියේ යැයි කියන යම් යම් කටයුතු නිසා ඩුබායි රටේම සැඟවී සිටින ප්‍රතිවාදී පාතාල කල්ලි නායකයකු විසින් මෙරට සිටින ඔහුගේ ගෝල බාලයන් කිහිප දෙනකුට දුන් කොන්ත්‍රාත්තුවක් අනුව මෙම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක වූ බවට පොලිසිය සැක කරයි.

අම්බලන්ගොඩ දේවානන්ද විදුහලෙන් ක්‍රිකට් අත් පොත් තබා 2002 වසරේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ 19 න් පහළ කණ්ඩායමේ නායකයා වශයෙන් සිටි නිරෝෂන් නවසීලන්තය පකිස්තානය ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක පැවැති ක්‍රිකට් තරගවලට සහභාගි වී ඇති වේගපන්දු ක්‍රීඩකයෙකි. අම්බලන්ගොඩ දේවානන්ද මහා විද්‍යාලයේ ආදි සිසුවකු වන මොහු පාසල් යන වකවානුවේ එම විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කර ඇත. පොලිසියේ ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම්වලටද ඔහු පුහුණුවීම් කර ඇති අයෙකි.

ඝාතනයේ සැකකරුවන් කණ්ඩායම් පහක් පමණ හඳුනාගැනීමට පොලිස් යොදාගත් බවත් අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශය, ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බළකාය මේ අතර සිටින බවත් ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීවේය.මියගිය පුද්ගලයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පෙරේදා(16) රාත්‍රියේ බලපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩී. ජානක මහතා වෙඩි තැබූ ස්ථානයට පැමිණියේය. මියගිය තැනැත්තාගේ දේහය බලපිටිය මූලික රෝහලට ගෙනගොස් ගෙන ගොස් විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු ලවා කරවන ලෙසත් මේ ඝාතනයේ සැකකරුවන් හඳුනා ගෙන ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අම්බලන්ගොඩ පොලිසියට නියෝග කළේය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *