Sun. Sep 8th, 2024

19 න් පහළ ක්‍රිකට් නායක ඝාතනයේ තොරතුරු රැසක් එලියට.. වෙඩික්කරු වමාරයි..

ශ්‍රි ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගාල්ල අපරාධ කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් 2024 අගෝස්තු මස 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් ආර් ඩී ජනක මහතා සහ බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉසෙඩ් පී එම් ලියාකාත් මහතා නියෝග කළේය.

අනෙක් සැකකරු හෙට (22) දින දක්වා ගාල්ල අපරාධ කොට්ඨාශය භාරයේ රදවාගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කිරීමටද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පෙරේදා (20) රැදවුම් නියෝග ලබා දුන්නේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ සිද්ධියේ පළමු සැකකරු නො.16/9, රන්දොඹේ, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි මුකුන්දාදුර සමන් ප්‍රියංකර පෙරේරා (48) නොහොත් ‘ලොකු මල්ලී’ සහ තුන්වන සැකකාරිය නො. 302, මහපැලෑන, කොස්ගොඩ ලිපිනයේ පදිංචි වීරසේකර ආරච්චිලාගේ සංගීතා නදීෂානී (39) යන දෙදෙනාය.

රැදවුම් නියෝග ලබාදෙන ලද්දේ නො. 35/3, නාගරුක්ඛාරාම පාර, කළේගාන, ගාල්ල ලිපිනයේ පදිංචි මොහොට්ටාලලාගේ ඉන්දික ප්‍රගිත් දිසානායක (37) නොහොත් ‘පැණියා’ නැමැති අයටය. මෙයින් පළමු සැකකරු බළපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් පෙරේදා (19) දින රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර තුන්වන සැකකාරියට හා දෙවන සැකකරුට අදාල නියෝගයන් බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (20) දින ලබා දෙන ලදී.

අම්බලන්ගොඩ, කන්දේවත්ත ලිපිනයේ පදිංචි ධම්මික නිරෝෂණ (41) හෙවත් පොඩි ජොන්ටි නැමැති අයගේ ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ. ධම්මික නිරෝෂණ පසුගිය 16 දින රාත්‍රී 9.30 ට පමණ ඔහුගේ නිවස ඉදිරිපිටදීම වෙඩි තබා ඝාතනය කර තිබුණි.

ගාල්ල අපරාධ කොට්ඨාශයේ අත් අඩංගුවට පත් දෙවන සැකකරු ගාල්ල, කළේගාන ලිපිනයේ ස්ථිර පදිංචි කරුවෙකු වුවත් ඔහු දැනට තුන්වන සැකකාරියත් සමග මහපැලෑන, කොස්ගොඩ ලිපිනයේ ජීවත් වන බව පොලීසිය කියයි. ඔහුගේ අනියම් බිරිද, තුන්වන සැකකාරිය බවට පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූ බවද ගාල්ල අපරාධ කොට්ඨාශය කියයි. පළමු සැකකරු වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් දෙවන සැකකරු පළමු සැකකරු සමග ගොස් වෙඩි තැබීමට උදව් උපකාර කර පසුව පලා යෑමට යතුරු පැදිය පදවා තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. තුන්වන සැකකාරිය අත් අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනය සදහා ආධාර අනුබල දීම යන චෝදනාව යටතේය.

පළමු සැකකරුවන්ගෙන් ප්‍රශ්ණ කිරීමෙන් ලද තොරතුරු මත වෙඩි තැබීම සදහා මුහුණු ආවරණයට යොදා ගත් ඇදුම් අම්බලන්ගොඩ පාළු ප්‍රදේශයක සගවා තිබියදී ඇල්පිටිය කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරින් විසින් සොයාගෙන තිබේ. දෙවන සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමෙන් පසු අම්බලන්ගොඩ, රන්දොඹේ ප්‍රදේශයේ සොහොන් පිටියක සගවා තිබූ වෙඩි තැබීමට යොදා ගන්නා ලද බෝර – 12 ගිනි අවිය සොයා ගෙන තිබේ. මෙම ගිනි අවිය විදේශීය රටක නිශ්පාදිත නවීන පන්නයේ එකක් බවද ගාල්ල අපරාධ කොට්ඨාශයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් මිටර් 500 ක් 600 ක් පමණ පයින් ගමන් කර ඊට පසු යතුරු පැදියකින් පලාගොස් තිබෙන බවට පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වූයේ යැයිද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

මෙය පෞද්ගලික කෝන්තරයක් මත කරන ලද ඝාතනයක් බවට පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි ගාල්ල අපරාධ කොට්ඨාශය කියයි. ධම්මික නිරෝෂන් ඝාතනය කිරීමට අවශ්‍යය වූ පුද්ගලයා දිගු කලක සිට ඒ සදහා ඝාතකයා සූදානම් කර තිබෙන බවත් ඝාතකයාට නොමිළයේ හෙරොයින් ලබා දෙමින් තමන්ට අවශ්‍ය දේ කරවා ගැනීමට ඝාතකයා පොලඹවා ගෙන තිබෙන බවත් අපරාධ කොට්ඨාශය කියයි. ධම්මික නිරෝෂන් ප්‍රදේශයේ ගණන් කාරයෙකු ලෙස හැසිරී තිබෙන බවත් ඝාතකයාගේ සහෝදරයෙකුට සූදු ක්‍රීඩා කිරීමට රුපියල් ලක්ෂ 02 ක මුදලක් ලබා දී එය ආපසු නොදීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් කරන ලද පහර දීමක්ද මීට බල පා තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. ඝාතනයට ලක් වූ අය අම්බලන්ගොඩ නගරයේ වෙළෙන්දන්ට උදේ කාලයේ මුදල් ලබා දී සවසට පොලියත් සමග මුදල් එකතු කිරීමේ මූල්‍ය කටයුත්තකද නිරත වී තිබෙන බවත් පොලීසිය කියයි. එවායින්ද දිනපතා ඇති ආරවුල් මෙයට හේතු වූවාද? යන්න සම්බන්ධයෙන්ද පොලීසියේ අවධානය යොමුව තිබේ.

2016.08.16 දින අම්බලන්ගොඩ මානිමුල්ලේදී වෙඩි තබා ඝාතනය කරන ලද එවකට ගාල්ල ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද ප්‍රේමසිරි හැළඹගේගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසියේ අත් අඩංගුවට පත් වූයේ දසුන් සුරංග මානවඩු නැමැති අයෙකි. ධම්මික නිරෝෂන් මෙම දසුන් මානවඩුගේ හිතවතෙකු බවද පොලීසිය කියයි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වූවාට පසු ධම්මික නිරෝෂන් යම් යම් ව්‍යාපාර වල නිරතව සිට ඩුබායි නගරයේ රැකියාවකටද ගොස් තිබේ. මීට මාස කිහිපයකට පෙර ඔහු ආපසු මෙරටට පැමිණි අවස්ථාවේදී මෙසේ ඝාතනයට ලක් ව ඇත. දසුන් මානවඩුද මේ වන විට ඝාතන නඩුවට අදාලව ඇප මත නිදහස්ව පැමිණීමෙන් පසු ඩුබායි නගරයට පලාගොස් තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

ඝාතනයට ලක් වූ ධම්මික නිරෝෂන් අම්බලන්ගොඩ ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ක්‍රීකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩකයෙකු ලෙස 1995 වර්ෂයේ සිට ක්‍රීඩාකර තිබේ. ඔහුගේ වැඩි මහල් සහෝදරයා වූ ඉන්දික නිරෝෂන්ද එම විද්‍යාලයේම ක්‍රිකට් ක්‍රිඩකයෙකි. ධර්මාශෝක, දේවානන්ද වාර්ෂික ක්‍රිකට් තරගයේ ආරම්භක වේග පන්දු යවන්නන් ලෙස කටයුතු කර ඇත්තේද මෙම අයිය මලෝ දෙදෙනාය. 2002 වසරේදී වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇත්තේද ධම්මික නිරෝෂන්ය. එම කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කර ඇත්තේ පසු කාලීනව ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ ජිවන් මෙන්ඩිස්ය.

ධම්මික නිරෝෂන්ගේ නායකත්වය යටතේ වත්මන් ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී උපුල් තරංග, ෆර්වේස් මහරුෆ්, ධම්මික ප්‍රසාද් වැනි ක්‍රීඩකයින්ද ක්‍රිඩා කර තිබේ. ධම්මික නිරෝෂන් වයස අවුරුදු 19 න් පහළ එක් දින තරග 14 ක් හා දින 04 ටෙස්ට් තරග 03 ක් ක්‍රීඩා කර තිබේ. ඔහු අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩාකර ඇත්තේ 2004 දෙසැම්බර් 14 වන දින කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදීය. කුමන හෝ හේතුවක් මත එයින් පසුව ඔහුගේ ක්‍රීඩා දිවිය අවසන් වී ඇත. ධම්මික නිරෝෂන් එකල අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය, හලාවත මේරියන්ස් හා ගාලු ක්‍රීඩා සමාජයටද ක්‍රීඩා කර තිබේ.

– ජයකාන්ත ලියනගේ

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *