Fri. Oct 18th, 2024

නීතිඥ සංගමයේ සභාපති ධුරයට රජීව් අමරසූරිය.?

ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත 2025-2026 ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිළවරණය සඳහා සභාපති ධුර අපේක්ෂකයෙකු ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා ඉදිරිපත් වී ඇත.

රජීව් අමරසූරිය මහතා 2020 පෙබරවාරි මාසයේදී නීතිඥ සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වූ ඒ මෙරට නිතිඥ ප්‍රජාව වෙතින් 83%ක පමණ අති විශාල ඡන්ද ප්‍රමාණයක් ලබමින. 2020 වසරේ මාර්තු 28 වන දින පැවැත්වීමට නියමිත වූ නීතිඥ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී, නිතිඥ සංගමයේ 24 වැනි ලේකම්වරයා ලෙස කටයුතු ඇරඹීමට නියමිතව තිබූ නමුත් ඔහුට සිය ධුර කාලය ඇරඹීමට සිදු වූයේ කොවිඩ් -19 වසංගත උවදුර මධ්‍යයේ රට වසා තැබුණු සමයේදීය. කෙසේ වෙතත්‍‍ ඔහු තාක්ෂණික සහ වෙනත් නිර්මාණාත්මක සැලසුම් ඔස්සේ නවීන පියවර රැසක් හඳුන්වා දෙමින්, නීතිඥ සංගමයේ කාර්යයන් සපුරාම වෙනස් වූ නැවුම් මානයකට ගෙන ආවේ එමගින් නීතිඥ සංගමයට සුවිශේෂ මෙහෙවරක් ඉටු කරමිනි.

අමරසූරිය මහතා නීතිඥ සංගමයේ ලේකම්වරයා වශයෙන් 2020-2022 කාලය තුළ නීතිඥ සංගමයට කැපී පෙනෙන නායකත්වයක් ලබා දෙනු ලැබුවේ වසංගත ව්‍යසනයත්, රටේ ආර්ථික පරිහානියත් යන දෙයාකාර අර්බුද මධ්‍යයේය.

රටේ සියලු ප්‍රදේශවල සේවයේ නියුතු නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයන් ආවරණය වන ආකාරයෙන් අඛණ්ඩ අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීමටද, විධිමත් වෘත්තීය සංවර්ධනයක් ඇති කිරීමටද, නීතිඥ සංගමය මෙහෙයවූ අමරසූරිය මහතා විසින් කොවිඩ් වසංගත සමයේදී භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වන අන්තර්ජාල මාර්ගගත වෙබිනාර් මාලාවක් හඳුන්වා දෙනු ලැබූ අතර එය අතිශයින් සාර්ථකත්වයට පත් විය. එහිදී 500ක පමණ නීතිඥවරුන් පිරිසක් සම්පත් දායකයින් ලෙස යොදාගෙන එවැනි සම්මන්ත්‍රණ 175ක් පවත්වන්නට ඔහුට හැකි විය. පටිගත කරන ලද මේ වටිනා වෙබිනාර් මාලාව අද වන විට පවා නීතිඥ සංගමයේ යූ ටියුබ් නාළිකාව වෙතින් පරිශීලනය කළ හැකිය.

රජීව් අමරසූරිය මහතා නීතිඥ සංගම් මාර්ගගත සහතිකපත්‍ර පාඨමාලා හඳුන්වා දීමේදීද පුරෝගාමී වූ අතර ආසන්න වශයෙන් 2000ක පමණ සාමාජික පිරිසක් මෙම වැඩසටහන් ඔස්සේ දැනුම ලබා ගත් බව නොරහසකි. ඒ ඔස්සේ නීතිඥ සංගමයට මෙම මාර්ගගත පාඨමාලා හරහා ඉතිහාසයේ ඉහළම ආදායමක් උපයා දීමටද ඔහු සමත් විය.

කොළඹ රාජකීය විද්‍යාලයයෙන් සිය මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ලැබූ අමරසූරිය මහතා, එහි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු ලෙසද, විද්‍යාලයීය නිළ සඟරාවේ සංස්කාරකවරයා ලෙසද කටයුතු කර ඇත. උසස් පෙළ විභාගයෙන් ජාතික මට්ටමේ ඉහළ ශ්‍රේණියක් සහිතව උසස් ප්‍රතිඵලයක් ලබමින්, විශිෂ්ට සාමාර්ථ 4ක් ලබා, ඔහුගේ අවසාන රාජකීය විද්‍යාල ත්‍යාග ප්‍රදානෝත්සවයේදී වැඩිම ත්‍යාග ප්‍රමාණයද ලබා ගැනීමට සමත් වූ ඔහු රාජකීය විද්‍යාලය බිහි කළ දීප්තිමත් ශිෂ්‍යයෙකු ලෙස නමක් දිනා ගත්තෙකි. උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයයේ නීති පීඨයට 1997/1998 වසරේ ඇතුළත් වූ හෙතෙම නීතිවේදී (ගෞරව) උපාධිය ලබා ගත්තේ දෙවන පෙළ ඉහළ සාමාර්ථ්‍යයක් සමගය. අනතුරුව ඔහු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් නීති විභාගයෙන් ඉහළම ප්‍රතිඵල වාර්තා කරමින්, ගරු විනිසුරු සිව සුබ්‍රමනියම් රන් පදක්කම ඇතුළු තවත් ත්‍යාග ගණනාවක් ද දිනා ගත්තේය.

අමරසූරිය මහතා බ්‍රිතාන්‍ය වරලත් ගණකාධිකාරී කළමනාකරුවන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන අතර වරලත් ගෝලීය ගණකාධිකාරවරයෙකු සේම ශ්‍රී ලංකා සහතිකලාභී කළමණාකාර ගණකාධිකාරවරුන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක්ද වෙයි. විධායක අධ්‍යාපනය සම්බන්ධව හාවඩ් කෙනඩි විද්‍යාලයේ විද්‍යාර්ථියෙකු වන ඒ මහතා වරලත් ගණකාධිකාරී කළමනාකරුවන්ගේ සංගමය (CIMA-මහා බ්‍රිතාන්‍යය) වෙතින් 2013 වසරේදී වයස අවුරුදු 40ට අඩු විශිෂ්ටතම සාමාජිකයා ලෙස CIMA Star Gold සම්මානය මෙන්ම 2021 වසරේදී CIMA-LMD විශිෂ්ටතම පුරෝගාමීන්ට පිදෙන සම්මානයද දිනා ඇත්තෙකි.
නීතිඥවරයෙකු වශයෙන් ජනාධිපති නීතිඥ, ආචාර්ය කේ. කනගීෂ්වරන් සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරුන් යටතේ වෘත්තීය කටයුතු ඇරඹූ රජීව් අමරසූරිය මහතා, 2013 වසර වන තෙක් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා යටතේ නීති වෘත්තියේ නිරත වූයේය. මේ වන විට ඒ මහතා පොදු නීතිය සහ සිවිල් නීතිය සම්බන්ධ අභියාචනාධිකරණ නඩුවලට පෙනී සිටිමින් ස්වාධීන නීතිඥවරයෙකු ලෙස කටයුතු කරයි. සිවිල් සහ වාණිජ ක්ෂේත්‍රවල පුළුල් අංශ ගණනාවකට අදාළව ආයතනික සහ නීතිමය උපදේශකයෙකු ලෙසද ඔහු ක්‍රියා කරයි.

මේ වසර මුලදී, ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ (ඊට පෙර මුදල් මණ්ඩලය) සාමාජිකයෙකු ලෙස පත් වූ අමරසූරිය මහතා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලයේ ද සාමාජිකයෙකි. ඊට අමතරව ඔහු කොළඹ විශ්ව විද්‍යාල කවුන්සිලයේද, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නීති අධ්‍යයන කමිටුවේද සාමාජිකයෙකි.

පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංගමයේ ශ්‍රී ලංකා නියෝජිතවරයා ලෙසද කටයුතු කරන රජීව් අමරසූරිය මහතා ආසියා පැසිෆික් නීති සංගමයේ (LAWASIA) විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන්නේ 2021 වර්ෂයේ සිටය.

මෙයට අමතරව රජීව් අමරසූරිය මහතා සිය සේවය ලබා දී ඇති විවිධ ආයතන සහ සභා රාශියකි. ඒ අතර ශ්‍රී ලංකා නීති අධ්‍යාපන කවුන්සිලයේ සාමාජිකයෙකු, ශ්‍රී ලංකා විනිමය සුරැකුම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු, ජාතික ‌බේරුම්කරණ මධ්‍යස්ථානයේ පාලක සභා සාමාජිකයෙකු, ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති, 2015 ජාතික නීති සම්මන්ත්‍රණයේ සභාපති, 2016 LAWASIA – Sri Lanka ස්වර්ණ සාංවත්සරික සම්මන්ත්‍රණයේ කැඳවුම්කරු, නීතිඥ සංගම් කණිෂ්ට නීති සඟරාවේ ආරම්භක සංස්කාරක, 2021 නීතිඥ සංගම් සිංහල නීති සඟරාවේ ආරම්භක සංස්කාරක සහ කොළඹ විශ්ව විද්‍යාලයීය නීති පීඨයේ බදු නීතිය සම්බන්ධ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කර ඇති අවස්ථා කැපී පෙනෙයි. හෙතෙම දේශීය සහ විදේශීය විවිධ සමුළු, සභා ආදියෙහි නීතිය පිළිබඳ දේශකයෙකු ලෙස සිය දායකත්වය ලබා දුන් අවස්ථාද බොහොමයකි.

අමරසූරිය මහතා ශක්තිමත් වූද, ස්වාධීන වූද, ප්‍රතිපත්තිගරුක වූද වෘත්තීය නීතිඥ සංගමයක් වෙනුවෙන් පෙනී සිටියි.

 

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *