Sat. Jan 11th, 2025

ලුණු නිෂ්පාදනය 40%කින් පහළට – ආනයනයට අනුමැතිය ඉල්ලයි..!

මෙරට ලුණු නිෂ්පාදනය අඩු වීම සම්බන්ධයෙන් සොයාබැලීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය වසරේ සහ මේ වසරේ මෙරට ලුණු නිෂ්පාදනය අඩු වී ඇති බවට ලුණු නිෂ්පාදන සමාගම් විසින් වාර්තාවක් ලබාදී ඇති බවය.

ඒ සම්බන්ධයෙන් වහාම සොයාබලා ඊට පිළියම් යෙදීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කළේය.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට ලුණු නිෂ්පාදනය පසුගිය වසරේ සහ මේ වසරේ සියයට 40කින් පමණ පහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීම වැලැක්වීමට ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් පමණ ආනයනය කිරීමට රජයෙන් අනුමැතිය ඉල්ලා ඇතැයි වාර්තා වෙයි. ලුණු හිඟවීමේ අවදානමක් පවතින බැවින් මෙම ඉල්ලීම කර ඇති බව දැනගන්නට තිබේ. මෙලෙස ලුණු හිඟයක් ඇතිවීමට හේතු වී ඇත්තේ පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණ තත්ත්වයයි.

අධික වැස්සෙන් හා ජල ගැල්මෙන් අලිමංකඩ, මන්නාරම, හම්බන්තොට හා පුත්තලම ප්‍රධාන ලේවායන්හි ලුණු නිෂ්පාදනයෙන් අඩකට වඩා හානි සිදුවී ඇති බවත් පුත්තලම ලේවායේ අස්වැන්න සියයට 80කට පමණ හානි සිදුවී ඇති බවත් දැනගන්නට තිබේ.

ඒ අනුව මේ වනවිට රටතුළ නිෂ්පාදනයේ අඩු වීමක් පවතින අතර ඊට පිළියමක් ලෙස ලුණු ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලුණු සමාගම් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙරට පවතින ලුණු සංචිත පිළිබඳව සහ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ආනයනය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් ලුණු ආනයනය කිරීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වෙළෙද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.

 

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *