මේ වන විට මෙරට සහල් අර්බුදයක් පිළිබඳ සාකච්ඡාවක් මතුව තිබේ. රටට බත සපයන ගොවියාගේ වී අස්වැන්නට සිදුවන අසාධාරණය පිළිබඳ කලක් තිස්සේ මතුව එන සංවාද, විසංවාද ද අපමණකි. ඒ හැම අතරේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් කිහිපදෙනකු විසින් මෙරට සහල් වෙළෙද පොළට සිදුකරනු ලබන බලපෑම පිළිබඳ ආරම්භ වී ඇති සාකච්ඡාව තවමත් නිමාවී නොමැත. සියල්ලක් මැද තවමත් සහල් ආනයනය කිරීමෙන් අත්මිදීමට මෙරටට ඉඩක් ලැබී නැත. අතීතයේ මෙරට සහල් පරිභෝජන අවශ්‍යතාව පිළිබඳ කල්ඇතිවම දකිමින් ඇරැඹූ බොහෝ ව්‍යාපෘති නූතන විවෘත ආර්ථික ප්‍රවාහය තුළ අකර්මන්‍යව, වල්වැදී ඇත. ඒ සඳහා මිලියන සංඛ්‍යාත මුදල් යට කොට ගොඬනැගු සම්පත් සියල්ලටම අද අත්ව ඇති ඉරණම නෙතඟට කදුළු උනන තරම් ශෝචනීය ය.
වල්වැදුණු වත්කම
කුරුණෑගල, ගල්ගමුව නගරයට කිලෝ මීටර් තුනක් පමණ ඔබ්බෙන් ගොජරාගම ගම්මැද්දේ දශක කිහිපයකට මත්තෙන් ඉදිකොට ඇති ඉදිවූ එවකට ආසියාවේ විශාලතම වී ගබඩා සංකීර්ණය යැයි සැලකුණු ‘වී ගබඩාව සහ සහල් සැකසුම් මධ්‍යස්ථානයට” අත්ව ඇත්තේ ද එවැනි ශෝචනීය ඉරණමකි. ඊට පිවිසෙන මාර්ගයද අද අබලන්ය. 1977 වසරේ අප්‍රේල් මස 28 වැනිදා ආරම්භ කොට ඇති මෙම ආයතන පරිශ්‍රය අද වන විට මුළුමනින්ම අත්හැර දමාය. එම පරිශ්‍රය තුළ ඇති සියලු සම්පත් වල්වැදී, අව්වෙන්, වැස්සෙන් හිරිහැර විඳිමින්, සොරුන්ගෙන්ද විනාශ වි තිබේ. වී මෙට්‍රික් ටොන් 14,000ක් එකවර ගබඩා කළ හැකි වනසේ නිර්මාණය වී ඇති මෙම වී ගබඩාව සහ සහල් සැකසුම් මධ්‍යස්ථානය චීන රජයේ ආධාර මත රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මඟින් ඉදිකිරීම් සිදුකොට ඇතැයි සඳහන් වේ.
එකල එහි සේවය කළ සේවකයකු වූ ආර්. ටිකිරිබණ්ඩා මහතා ඒ අතීතය අප සමඟ සිහිපත් කළේ මෙපරිද්දෙනි.
ආසියාවේ විශාලම වි ගබඩාව හැදුණු හැටි
“මේ ගොඩනැඟිලි අවුරුදු හතරක් තිස්සේ හැදුවා. ඉංජිනේරු සංස්ථාවෙන් තමයි ඉදි කළේ. අවට ගම්වල අයත් වැඩට එකතු කරගත්තා. මාත් ගොඩනැඟිලි හදන වැඩවලට එකතු වුණා දවසේ කුලියට. දවසකට ගෙව්වේ රුපියල් හතරයි ශත අසූවයි. ගොඩනැඟිලි හදලා මෙතැන විවෘත කරලා වැඩ පටන් ගත්තට පස්සේ මාත් එතැන රස්සාවට ගියා. ගොවින්ගේ වී සල්ලිවලට අරගෙන හාල් නිෂ්පාදනය කරපු එක තමයි මෙතැනින් සිද්ධ වුණේ. ගෝන වී ටික උරේ ලෙහලා මෝලට දාන එක විතරයි අපිට කරන්න තිබුණේ. වී තැම්බිලා, වේළිලා අවසානේ හාල් තමයි එළියට ආවේ. පටන් අරගෙන අවුරුදු දෙක තුනක් යනකොට මෙතැන වැඩ නැවතුණා. 1977 වුණු ආණ්ඩු පෙරැළියත් එක්ක මේ වගේ තැන් ගැන තිබුණු අවධානය නැති වුණා. අන්තිමට වැහිලා ගියා.”
දිරාපත් වුණු යන්ත්‍ර සූත්රදිරාපත් වුණු යන්ත්‍ර සූත්‍ර
අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක මෙම ආයතන පරිශ්‍රය පිහිටා තිබේ. එහි ඇති අඩි 80ක් පමණ උස සහ විෂ්කම්භය අඩි 30ක් පමණ වූ විශාල සිලින්ඩරාකාර බහාලුම් 14ක් මෙහි අදත් දැකගත හැකිය. එමෙන්ම අඩි 30ක් පමණ උසකින් සහ විෂ්කම්භය අඩි 10ක් පමණ වූ කුඩා සිලින්ඩරාකාර බහාලුම් 9 ක්ද වී ගබඩා කිරීම සඳහා ඉදිකොට ඇත. මෙම ඉදිකිරීම් මේ වන විට ක්‍රමයෙන් වර්ධනය වී ඇති රූස්ස වනස්පතින්ට මැදිව, දුර්වර්ණව තිබේ. මෙම ඉදිකිරීම් කොයිතරම් දුරට නැවත ප්‍රයෝජනයට ගත හැකිද යන්න වෙනමම සොයා බැලිය යුතුව ඇත.
වී තැම්බීමේ, වී කෙටීමේ යන්ත්‍ර සහ සහල් ගබඩා කිරීම සඳහා ගොඩනැඟිලි, කාර්ය මණ්ඩලය සඳහා නේවාසිකාගාර හා කාර්යාල පහසුකම් ද සහිතව මෙම වී ගබඩා සංකීර්ණය විවෘත කොට ඇත්තේ එවකට මෙරට අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක විසිනි. එවකට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පැවැති මෙම ආයතන පරිශ්‍රය වී අලෙවි මණ්ඩලය යටතට පත්කොට ඇත. එවකට මෙම මාහැඟි සම්පත ජාතියට දායාද වු අවස්ථාව සඳහා තරුණයකු ලෙස එක්ව ඇති ගල්ගමුවේ “සී. ඉලංගකෝන්” මහතා අතීතය සිහිපත් කරන්නෙ අද ඊයේ මෙනි. “එදා එතැන විවෘත කරන්ඩ මැතිනි ආව දවසේ පුදුම සෙනඟක් එකතු වුණේ. ඒ කාලේ ගොඩක් තැන් කැලේ. ඒ හැම අහුමුල්ලකම මිනිස්සු මැතිනි ආපු දවසේ පිරිලා හිටියා. මිනිස්සු ඒ කාලේ මොනතරම් අමාරුවෙන් ජීවත් වුණත් මේ කරපු දේ ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒ කාලේ හැටියට මෙහෙම වී මෝල් තුනක් ලංකාවේ පටන් ගත්තා. එකක් හසලක. තවත් එකක් පොලොන්නරුවේ. මේක තමයි ලොකුම එක. සැලැස්ම වෙලා තිබුණේ මේ කිට්ටුව තියෙන ගොවිජනපද කීපයක වී අස්වැන්න මෙතැනට ගෙන්න ගන්න. එක පැත්තකින් රාජාංගනය ගොවි ජනපදය. අනෙක් පැත්තෙන් සියඹලංගමුව ව්‍යාපාරය. ඒ වගේම අනුරාධපුරයේ මහවැලි එච්. කලාපෙත් ඒ වෙනකොට පටන් අරන්. ඒ හැම තැනින්ම එන වී අස්වැන්න අරන් හාල් කරලා රටට බෙදන එක තමයි සැලැස්ම වුණේ. ඒත් මෙතැන වහලා දැම්මට පස්සේ මිනිස්සුන්ගේ ඒ හැම බලාපොරොත්තුවක්ම සම්පූර්ණයෙන්ම හේදිලා ගියා. ඒවායේ විපාක තමයි අද අපි මේ විඳින්නේ.”
හෙනහුරා ලබපු හැටි
1977 වර්ෂයේදී සිදුවු ආණ්ඩු පෙරැළියත් සමඟ මෙම ආයතන පරිශ්‍රය කෙරෙහි තිබු අවධානය මුළුමනින්ම බිඳවැටුණු බව ගම්වාසීහු සඳහන් කරති. මෙහි ඉදිකොට ඇති විශාල වී බහාලුම් ආශ්‍රිත විවිධ ගැටලු මතු වුවද එම ගැටලු නැවත යථා තත්ත්වයට පත් කිරීමට වගකිව යුතු අවධානය යොමු නොවුණු බව ඔවුහු පෙන්වා දෙති. අතහැරුණු දරුවකු ලෙස මෙම ආයතනය වසා දැමීමට අවැසි පසුබිම බලධාරින් විසින්ම නිර්මාණය කළ බව ප්‍රදේශවාසීහු සඳහන් කරති. ක්‍රමයෙන් පෞද්ගලික අංශයේ ඉස්මතු වීමත්, වී අලෙවි මණ්ඩලය කෙරෙහි සැලකිල්ල අවම වීමත් සමඟ මෙම ස්ථානයට අවැසි වී තොග සපයා ගැනීම ද ගැටලුසහගත වී තිබේ. අවසන මෙහි තිබූ සහල් කෙටීමේ යන්ත්‍ර සූත්‍ර ඇතුළු අදාළ වන සියලු භාණ්ඩ වෙන්දේසි කිරීම දක්වා කරුණු පෙළ ගැසී තිබේ.
මේ වන විට දැනට ඉතිරිව පවතින යකඩ කොටස් දිරාපත් වී, ඇතැම් යකඩ අමතර කොටස් සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇති අන්දම දැකගත හැකිය. කලක් මෙහි සේවයේ නියුතුව සිටි බී.එම්. වන්නිනායක මහතා ක්‍රමයෙන් සිදු වූයේ කවරක්ද යන්න අප හා පැවසුවේ බොඳවූ දෙනෙතෙනි.
“මෙතැන වැහුණට පස්සේ තාවකාලිකව රස්සාව කරපු සිය ගාණකට රස්සාව නැති වුණා. මාත් එතැන වැහෙනකන්ම රස්සාව කළා. පහුගිය ආණ්ඩුවෙන් කරපු වැඩක් නිසා අලුතෙන් ආපු කට්ටිය මෙතැන ගැන බලන එක අත්හැරියා. ඒ ගොල්ලෝ මෙතැන තියෙන වටිනාකම තේරුම් ගත්තේ නෑ. පෞද්ගලික මෝල්කාරයෝ කුඹුරුවලටම ගිහින් වී ගත්තට පස්සේ මෙතැනට වී එන එක ටික ටික නැවතුණා. අවසානේදී එකල රජයෙන් කිව්වේ මෙතැන පවත්වාගෙන යන්න තරම් ප්‍රමාණවත් වී මේ කලාපේ නෑ කියලා. ඒ කතාව ඇත්ත නෙවෙයි. වී නැති තත්ත්වෙට මෙතැන පත් කෙරුවා. අදත් මෙතැන ගොඩනැඟිලි හොඳට තියෙනවා. ඒත් දැන් මෙතැනින් ගන්න ඕන ප්‍රයෝජනේ මොකක්ද කියන එක අපිට හරියටම කියන්න බෑ. කෘෂිකර්ම ඇමැතිතුමා වගේ කෙනෙක් ඇවිත් මේ ගැන බලන්න ඕන.”
ගොඩගන්න පුළුවන්ද ?
වී බහාලුම්වලට අත්ව ඇති සෝචනීය ඉරණමවී බහාලුම්වලට අත්ව ඇති සෝචනීය ඉරණම
මේ විනාශයත් සමඟ දැන් දශක කිහිපයක් ඉකුත්ව තිබේ. 1978 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තීන් සමඟ සියල්ල උඩු යටිකුරු විය. කාලයාගේ ඇවෑමෙන් වී අලෙවි මණ්ඩලය ද හතර ගාතේ දා වැටුණේය. මෑතකාලීනව වී අලෙවි මණ්ඩලය යම් සහතික මිලකට වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වූයේ පෞද්ගලික වෙළෙඳුන් සමඟ කිසියම් තරගකාරිත්වයක් ඇති කිරීමේ අරමුණ ඇතිවය. එපමණකින් නොනැවතී ආරක්ෂිත වී තොග පවත්වා ගනිමින් රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ භාරධුර වගකීමේ කිසියම් ප්‍රතිශතයක් ද එම ආයතනය වෙත පැවැරී තිබුණි.
එහෙත් සත්‍ය ලෙසම යම් සහතික මිලකට කිසියම් වී ප්‍රමාණයක් මිලදී ගත්තා හැරුණු විට ඉන් ඔබ්බට සේවාවක් එම ආයතනයෙන් සිදු නොවුණු බව සැඟවිය නොහැක්කකි. සමහර කන්නයකදී ගොවීන්ගෙන් මිලදී ගත් වී තොග ගබඩා තුළම හැල්මේ විනාශ වී ගියේය. ඒ අතර වී අලෙවි මණ්ඩලය ඉකුත් සමයේ විශාල මූල්‍ය පාඩුවක් ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය වාර්තාවක් මගින් පෙන්වා දී තිබිණි.
එවැනි පසුබිමක මෙරට තුළ ගොවි පවුල් ලක්ෂ 18ක් පමණ වී ගොවිතැන ආශ්‍රිතව සිය ජීවිකාව ගෙන යනු ලබයි. සමස්තයක් ලෙස මෙරට තුළ වී වගාව සඳහා මනා විභවයක් සහිත සෑම දිස්ත්‍රික්කයකින්ම පාහේ වාර්ෂිකව සැලකිය යුතු අස්වැන්නක් ජාතික අවශ්‍යතාවට එක් කරයි. අම්පාර, මඩකලපුව, පොලොන්නරුව, කුරුණෑගල, අනුරාධපුරය, බදුල්ල, මාතලේ, වව්නියාව, මන්නාරම, මොණරාගල, මහනුවර, හම්බන්තොට, මාතර, ගාල්ල ආදි දිස්ත්‍රික්ක ආශ්‍රිතව තවමත් විවිධ උපද්‍රව හමුවේ වී ගොවිතැනින් තම ජීවිකාව ගෙන යන ගොවි පවුල් ගණනින් සුළුපටු නොවේ. මේ සියලු තත්ත්ව කෙරෙහි අවධානය යොමු කරමින් යළිත් මෙරටට සහල් ආනයනය නොකරන තැනට කටයුතු යෙදෙන්නේ නම් ඒ සඳහා රාජ්‍ය අංශයේ නිසි මැදිහත් වීමක් අවැසි බව නොකිය මනාය. එවැනි වැඩපිළිවෙළකදී ගල්ගමුවේ වී ගබඩාව සහ සහල් සැකසුම් මධ්‍යස්ථානය වැනි රට පුරා ඇති එවැනි ආයතන කෙරෙහි නැවත අවධානය යොමු කිරීම නොපමාව කළ යුත්තක් බව අවසන පැවසිය හැක්කේය.
තඹුත්තේගම විශේෂ ඩබිලිවි. ප්‍රදීප්